தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය විනාශයේ අද්දර - ජනාධිපතිවරයා වෙත අවධානය යොමු කෙරේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය විනාශයේ අද්දර – ජනාධිපතිවරයා වෙත අවධානය යොමු කෙරේ!



පොලොන්නරුව දිස්ත්‍රික්කයේ, මහවැලි ගංගා නිම්නය ආශ්‍රිත පරිසර පද්ධතියට එල්ලවන අවදානම ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරමින් ‘ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය’ විසින් ලිපියක් යවා ඇත.

දේශීයව මෙන්ම විදේශීය අවධානයක් දිනා ඇති පරිසර කලාපයක්වන ජලගැලීම් නිම්න ජාතික උද්‍යානය හරහා දිවෙන මනම්පිටිය – යක්කුරේ ඉපැරණි මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියෙන් එම සුවිශේෂී පරිසරය විනාශයට ලක්වීමෙන් වළක්වන ලෙස එම ලිපියෙන් ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකර ඇත. පහත සටහන් වන්නේ ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ සභාපති සුපුන් ලහිරු ප්‍රකාශ් විසින් ජනාධිපතිවරයාට යැවූ ඒ සම්පූර්ණ ලිපියයි.

ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය වනසමින් සිදුකිරීමට යෝජිත මාර්ග සංවර්ධනයට විරෝධය පළකිරීම

ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ඉතා වැදගත් ජාතික උද්‍යානයක් වන ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය හරහා සංවර්ධනය කිරීමට යෝජිත මනම්පිටිය – යක්කුරේ ඉපැරණි මාර්ගය හේතුවෙන් ජාතික උද්‍යානයට දැඩි බලපෑමක් එල්ලවීමේ අවදානමක් මතුවී තිබීම සම්බන්ධයෙන් ඔබගේ විශේෂ අවධානය යොමුකරවීමට කැමැත්තෙමි.

මනපිටිය සිට යක්කුරේ දක්වා මහවැලි ගඟ ඔස්සේ වැටී තිබූ ඉපැරණි මාර්ගය මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයත් සමග භාවිතයෙන් ඉවත් කෙරුණු අතර එය ජලගැලුම් නිමින ජාතික උද්‍යානයට අයත් භූමි භාගයක් බවට පත්විය. ඒ වෙනුවට දැනට මනම්පිටිය, දිඹුලාගල, පැලෑටියාව, කළුකැලේ හා බඳනාගල හරහා යක්කුරේ ප්‍රදේශයට කාපට් ඇතිරූ පුළුල් මාර්ගයක් ඉදිකර ඇති අතර ජනතාව කිසිඳු අවහිරයකින් තොරව එම මාර්ගය තම එදිනෙදා කටයුතු සඳහා භාවිතා කරයි. නමුත් එසේ තිබියදී ඔබගේ රජය නියෝජනය කරන දේශපාලකයින් කිහිපදෙනෙකුගේ පටු අවශ්‍යතා සඳහා නැවතත් මෙම අත්හැර දැමූ මාර්ගය සංවර්ධනය කිරීමට උත්සාහ දැරීම ප්‍රශ්න රැසක් පැන නැගීමට හේතුවන බව අවධාරණය කරමු.

1984 වසරේ අගෝස්තු 7 වැනි දින ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය ප්‍රකාශයට පත්කෙරෙන්නේ ප්‍රධාන අරමුණු කිහිපයක් සහිතවය. ශ්‍රී ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟ මගින් නිර්මාණය කෙරෙන සිවිශේෂී පරිසර පද්ධති විශේෂයක් වන ‘විල්ලු’ පරිසර පද්ධති වලින් සමන්විත, මහවැලි ගංගාවේ පිටාර තැන්න ආරක්ෂා කිරීම එහි ප්‍රධාන අරමුණකි. තවද මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය හේතුවෙන් වාසභූමි අහිමිවූ වන අලින් ඇතුළු වනජීවීන් රැසකට වාසභූමි සැපයීමද මෙහි තවත් අරමුණුකි. හෙක්ටයාර් 17,350 ක භූමි ප්‍රමාණයකින් සමන්විත මෙම ජාතික උද්‍යානය තුල ඉතා මනස්කාන්ත භූමි දර්ශයක් සහ පරිසර පද්ධති විශේෂයක් වන ‘විල්ලු’ රැසක් පිහිටා ඇත. අලි ඇතුන් ඇතුළු විශාල සත්ව ප්‍රජාවකට එමගින්  ගොදුරුබිම් සැපයේ. ශ්‍රී ලංකාවේ වන අලින්ගෙන් සියයට තිහකට (30%) වඩා වාර්තාවෙන මහවැලි වනජීවී කලාපයේ ඉතා තීරණාත්මක වනජීවී රක්ෂිතයක් වන ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය මෙම සුවිශේෂී පරිසර පද්ධතියට පමණක් සීමාවූ සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල ශරීර ප්‍රමාණයකින් යුක්ත විල් අලින්ගේ නිවහනද වෙයි. එසේම දකුණින් පිහිටි වස්ගොමුව ජාතික උද්‍යානය සහ උතුරින් පිහිටි සෝමාවතී ජාතික උද්‍යානය එකට යා කරමින් මධ්‍යගතව පිහිටි මෙම ජාතික උද්‍යානය මහවැලි වනජීවී රක්ෂිත ජාලය අඛණ්ඩව පවත්වාගෙන යාමටත් මනා පිටිවහලක් ලබාදෙන අතර අලි ඇතුන්ගේ සෘතු සංචරනයටද ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරයි.

නමුත් එදා මෙදා තුර මෙම ජාතික උද්‍යානයේ පැවැත්මට එල්ලවූ තර්ජනවල නිමක් නොමැති අතර පසුගිය රජයේ අමනෝඥ වනජීවී සංරක්ෂණ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයට අයත් ඉඩම් වී වගාව සඳහා විවිධ පුද්ගලයින්ට ලබාදීමට උත්සාහකල ආකාරය අපට මතකය. එසේම මෙම ජාතික උද්‍යානය කලක් වැලි ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයටද දැඩිව නැතුව තිබුණේ වනජීවී නිලධාරීන් පවා කාර්යාල අඩස්සියට පත්කරමිනි. තවද ජාතික උද්‍යානයේ අඩමන්කාඩුව සහ ආච්චිවිල ප්‍රදේශවල වසර දහස් ගණනක් පැරණි කුඹුක් ගස් විශාල සංඛ්‍යාවකට කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශකිරීමට කටයුතුකර තිබූ ආකාරයද සෝචනීයය. නමුත් මේ වනවිට එම තත්ත්වය වෙනස් කරමින් අනවසර ඉඩම් අත්පත්කරගැනීම් වලට වැට බඳිමින් සහ අධිකරණ නියෝග මගින් අනවසර වගාකරුවන් ජාතික උද්‍යානයෙන් ඉවත් කරමින් ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ වනජීවී පරිපාලනය ප්‍රතිස්ථාපනය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් සිදුකරමින් සිටිති. එවැනි පසුබිමක් තුල එම සියලු සංරක්ෂණ ප්‍රයත්නයන් නිෂ්ඵල කරමින් ජාතික උද්‍යානය හරහා මහා මාර්ගයක් සංවර්ධනය කිරීමට පිඹුරුපත් සැකසීම පිළිබඳව බලවත් අප්‍රසාදය පලකරමු.

ස්වභාවික පරිසර පද්ධතියක් හරහා මාර්ගයක් ඉදිකිරීමේ සිට එය භාවිතය සඳහා යොදාගනු ලබන සම්පුර්ණ කාලසීමාව තුලම එමගින් අදාළ පරිසර පද්ධතියට විවිධ සංකීර්ණ පරිසර විද්‍යාත්මක බලපෑම් එල්ලවන බව ලොව පුරාම සිදුකර ඇති පර්යේෂණ මගින් විද්‍යාත්මකව අනාවරණයවී ඇත. වනජීවීන් රිය අනතරු වලට ලක්ව මියයාම, වනජීවී වාසස්ථාන ඛණ්ඩනය වීම, වනජීවී ගහන ඛණ්ඩනය වීම, ආගන්තුක ආක්‍රමණශීලී ජීවී විශේෂ ව්‍යාප්තිය, අනවසර මිනිස් ක්‍රියාකාරකම් ඉහළ යාම, ජලවහන ප්‍රශ්න ඇතිවීම සහ කැලිකසල ප්‍රශ්න ඇතිවීම ඉන් සමහරකි. මහවැලි ගඟ, මනම්පිටිය විල්ලුව, හඳපාන් විල්ලුව සහ බඳියා විල්ලුව ඔස්සේ වැටී ඇති මෙම යෝජිත මාර්ගය සංවර්ධනය කර පොදු ජනතාවගේ පරිහරණයට නිදහස් කිරීමෙන් යක්කුරේ දක්වා ගමන් කරන පුද්ගලයින්ට තම කාලය මදක් ඉතිරිකර ගැනීමට හැකි බව සැබෑය. නමුත් ඊට සමගාමීව ඉහත සඳහන් කල සියලුම බලපෑම් වලින් ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ පැවැත්මට බරපතල බලපෑම් සිදුවීමට එය හේතුවේ. තවද වසරකට අඩු තරමින් මාස හතරක්වත් මෙම මාර්ගය මහවැලි ගඟෙන් සහ හඳපාන් විල්ලුවෙන් පිටාර ගලන ජලයෙන් යටවී පවතින අතර එම කාලසීමාවේදී ජනතාවගේ භාවිතයට ගැනීමට හැකියාව නොලැබේ. එසේම බඳියා විල්ලුව හා හුංගමාල ඔය හරහා මාදුරුඔය ජාතික උද්‍යානයට අලි ඇතුන් ගමන් කරන සංක්‍රමණය මාර්ගය වැටී ඇති බැවින් මෙම මාර්ගයේ නිතර අලි ඇතුන් ගැවසීමෙන් මාර්ගයේ ගමන්කරන පුද්ගලයින් වන අලි පහරදීම් වලට ලක්වීමේ අවධානමක්ද පවතී. එබැවින් මහ ජනතාවට වඩාත් සුරක්ෂිත ආකාරයෙන් සහ වසර පුරාම නොවෙනස්ව භාවිතා කිරීමට හැකියාව ඇත්තේ අප ඉහත කී මනම්පිටිය, දිඹුලාගල, පැලෑටියාව, කළුකැලේ හා බඳනාගල හරහා යක්කුරේ ප්‍රදේශයටවැටී ඇති කාපට් යොදා සංවර්ධනය කර ඇති මාර්ගයයි. එබැවින් විශේෂයෙන්ම ප්‍රදේශයේ දේශපාලකයින් මෙම මාර්ග සංවර්ධනය සඳහා උනන්දුවක් දක්වන්නේ ජනතාවට සහන සැලසීමට නොව මහවැලි ගඟේ ඉහළට තවදුරටත් වැලි ජාවාරම ව්‍යාප්ත කිරීමට සහ ජාතික උද්‍යානයේ දැව සම්පත කොල්ලකෑමට බව අප අවධාරණය කරමු.

මෙම විනාශකාරී මාර්ග සංවර්ධන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රජයේ දේශපාලඥන් කිහිපදෙනෙකු පසුගියදා එහි ක්ෂේත්‍ර චාරිකාවක නිරතවී ඇති අතර ඊට සමගාමීව ජනතාව මේ සඳහා උසිගැන්වීමේ ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක වෙමින් පවතින බව අපට දැනගන්නට ලැබී ඇත. තවද ඔවුන් විසින් මෙම විනාශකාරී මාර්ග සංවර්ධන කටයුත්ත සිදුකිරීම සඳහා වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද බලපෑම් එල්ල කරමින් සිටින බව ද සඳහන් වේ. එබැවින් අප උදක්ම ඔබගෙන් ඉල්ලා සිටින්නේ මෙම විනාශකාරී මාර්ග සංවර්ධනය කටයුත්ත අත්හිටුවා ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ සංරක්ෂණ තහවුරුකර දෙන ලෙසය.

සුපුන් ළහිරු ප්‍රකාශ්

සභාපති, ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය