தமிழ்
English
Contact
Monday 8th March 2021    
ජල ගැලුම් නිම්න රක්ෂිතයේදී රාජ්‍ය ඇමති විමලවීරට විරෝධය දැක්වූ වනජීවී නිලධාරියෙකුට ස්ථාන මාරුවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජල ගැලුම් නිම්න රක්ෂිතයේදී රාජ්‍ය ඇමති විමලවීරට විරෝධය දැක්වූ වනජීවී නිලධාරියෙකුට ස්ථාන මාරුවක්



වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක විසින් පොළොන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතයේ වගා කටයුතු කිරීමට සහ ගෘහස්ථ ගවයන් රක්ෂිතය තුළට ඇතුල් කිරීමට ඉඩ ලබාදෙන ලෙසට කරන ලද බලපෑමට විරුද්ධ වූ පෙනීසිටි වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරියෙකුට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

සෝමාවතිය අඩවි ආරක්ෂක කාර්යාලයේ සේවය කළ ඩබ්ලිව්.එම්.එල්.කේ. වාසලට නැමති නිලධාරියා මින්නේරිය ජාතික උද්‍යානය වෙත මාරුකර තිබේ.

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සහ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පසුගිය දා පොළොන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතය ආසන්නයට පැමිණ ජල ගැලුම් නිම්න රක්ෂිතයට පුද්ගලයින්ට ඇතුළු වීමට ඉඩ ලබාදෙන ලෙසට ප්‍රකාශ කිරීමත් සමඟ වනජීවි නිලධාරීන් සහ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය. රක්ෂිතය හරහා මාර්ගයක් ඉදිකිරීමේ සැලසුමක්ද පවතින බව පරිසරවේදීන් පසුව අනාවරණය කර තිබුණි.

අනතුරුව ඊට එරෙහිව වනජීවී නිලධාරීන් සංකේත වර්ජනයක ද නිරතවූ අතර, පසුව සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂන දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදුකර ඇත.

එහි මූලික විමර්ශනවලට අනුව ඊට සම්බන්ධ වූ වන සත්ව අඩවි ආරක්ෂක නිලධාරීයාට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පැවසේ.

කෙසේ වෙතත් සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිළධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිද්ධියට තම සංගමය විරෝධය පළ කරන බවයි.

මේ පිළිබඳව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායකගෙන් කළ විමසීමකදී අදාළ වනජීවි නිලධාරියාගේ නිවස ආසන්නයට ස්ථාන මාරුවීම ලැබී ඇති බැවින් ඔහුට එය පහසුවක් වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසූ බව හිරු වෙබ් අඩවිය සඳහන් කර තිබේ.