தமிழ்
English
Contact
Friday 14th May 2021    
'ජාත්‍යන්තර කම්කරු දිනය'ට පෙරවදනක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘ජාත්‍යන්තර කම්කරු දිනය’ට පෙරවදනක්!



ලෝකයේ වැඩකරන ජනතාවගේ දේශපාලන සංවිධාන සහ වාමාංශික ක්‍රියාකාරින් විසින් ‘ජාත්‍යන්තර කම්කරු දිනය’, මැයි 01 වැනිදා සමරනු ලබයි.
‘මැයි දිනය’ යන ජනප්‍රිය ලෙස හඳුන්වන කම්කරු දිනය, වැදගත් වන්නේ වැඩකරන ජනයාට නිවාඩු දිනයක් හෝ පෙළපාලි හා රැස්වීම් පවත්වන වසරේ එක් දිනයක් ලෙස නොවේ. 132 වැනි වරටත් ඒ දිනය එළඹෙමින් තිබියදී ලෝක කම්කරු දිනයක් ඉතිහාසයේ නම් කිරීම එහි ආරම්භය සම්බන්ධ කරුණු හොඳින් වටහා ගත යුතු වේ.

කම්කරු දිනයේ පසුබිම – ධනවාදය බිහිවීමේ සිට….

වැඩකරන ජනතාව, විශේෂයෙන් කම්කරුවන් වශයෙන් හදුන්වන සමාජ පන්තියක් බිහිවුයේ ධනවාදී සමාජ ආර්ථික ක්‍රමයේ බිහිවීමත් සමගය. ධනපති ක්‍රමය යුරෝපයේ හා අමෙරිකාවේ වර්ධනය වන මුල් අවධියේදී කම්හල් හිමියන් කම්කරුවන් ද අර්ධ වහලුන් ලෙස සේවයේ යොදවා ගත්තේ සොච්චම් වැටුපක් ඔවුන්ට දෙමිනි. එමෙන්ම කම්කරුවන්ගේ සේවය කිරීමේ නිශ්චිත කාලසීමාවන් ද නොවීය. එක්සත් ජනපදයේ ගත් විට 17 වැනි හා 18 වැනි සියවසේ කම්කරුවකුගේ සේවා කාලය දිනකට පැය 12 ඉක්මවීය. ඇතැම්විට දිනකට පැය 16 – 18 දක්වා ඔවුන් වැඩ කළ යුතු විය. එමෙන්ම ලෝකයේ වෙනත් ධනපති රටකද තත්වය ඊට වෙනස් නොවීය. මේ නිසා කම්කරුවන්ට නිශ්චිත දෛනික සේවා කාලයක් ඉල්ලා සිටියයුතු බවට අදහසක් ඇති විය. එය කම්කරු සංවිධානවලින්ම පැන නැගුනකි. දෛනිකව අධික වෙහෙස වෙමින් වැඩ කරනවාට අමතරව ස්වාමි ධනපතියන්ගේ වධ හිංසා හා අඩන්තේට්ටම්වලට ලක්වීමට ද ඔවුන්ට සිදුවිය. දැඩි වෙහෙසකාරි බව නිසා කම්කරුවෝ නොයෙකුත් ආබාධයන්ට හා රෝගවලට භාජන වූහ. සමහරු මියගිය අතර තවත් සමහරු ආබාධිතභාවයට පත් වූහ.

කම්කරු පන්තියේ පීඩාව හා විරෝධය

1830 වසරේ පමණ ඇමෙරිකාවේ කම්කරුවන් සංවිධානය වෙමින් සිය මූලික ඉල්ලීම් ඉදිරිපත් කළ බව ඉතිහාසය සාක්ෂි දරයි. සිය දෛනික සේවා කාලය පැය දහයක් හා ආහාර විවේකය සඳහා පැය දෙකක් ලබා දෙන ලෙස සිය හාම්පුතුන් ගෙන් ඉල්ලා සිටියේ ඒ කාලයේදීය. එහෙත් මිනිසුන් තලා පෙලා වැඩ ගැනීමට පුරුදුව සිටි කම්හල් හිමියන් එම මානුෂික ඉල්ලීම ඉවත දැමුවා පමණක් නොව එවැනි ඉල්ලීම් කළ කම්කරු නායකයන්ට නොයෙකුත් වධ බන්ධනවලට ලක්වීමට සිදුවිය. නීතියේ සරණක් හෝ නැතිව හාම්පුතුන් ගේ තාඩන පීඩනවලට ලක්වූ ඇමෙරිකාවේ කම්කරුවෝ 1863 දී ප්‍රථම වරට කම්කරු සම්මේලනයක් මඟින් එකතු වී දිනක වැඩ කරන කාල පරාසය පැය 8 කට සීමා කරන ලෙස සිය කම්හල් හිමියන් ගෙන් ඉල්ලා සිටියහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් කම්කරු සම්මේලනය සමඟ සාකච්ඡා කිරීමට හාම්පුතුන් එකඟ වුවත් ඔවුන්ගේ ඉල්ලීම් ලබාදීමට කම්හල් හිමියන් අකමැති වූයේ පුරුදු පරිදි කම්කරුවන් මර්දනය කරගෙන ගෙන ගිය ආධිපත්‍යය අහිමි වීමේ බිය නිසාය.

හාම්පුතුන් සමග සාකච්ඡා වට කීපයක් පැවැත්වූව ද සිය ඉල්ලීම් ඉටුකර ගත නොහැකි වූ කම්කරුවන්ගේ ඊළඟ පියවර වූයේ ‘නයිට්ස් ඔෆ් චිකාගෝ‘ නම් කම්කරු සංවිධානය පිහිටුවා ගැනීමයි. 1878 දී ඒ සංවිධානය විසින් යළිත් වරක් වැඩ කිරීමේ කාලසීමාව පැය 8 කට සීමාකර ගැනීමේ යෝජනාව කම්කරු හිමියන්ට දන්වා සිටියහ. එහෙත් ඉල්ලීම් දිනා ගැනීමට නොහැකි විය. සාකච්ඡාවලින් සිය ඉල්ලීම් දිනාගත නොහැකි බව කම්කරුවන්ට තේරුම් ගියේ ඉල්ලීම ඉදිරිපත් කරමින් ඉදිරියට එන කම්කරුවන්ට තාඩන පීඩනවලට ලක්වන්නට සිදුවූ නිසාය. මේ නිසා ප්‍රථම වරට යම්කිසි සටන් මාර්ගයකට අවතීර්ණ වීමේ අවශ්‍යතාව කම්කරුවන්ට දැනෙන්නට විය. සටන්කාමී කම්කරු නායකයන් කීප දෙනෙකු වටා එක්රොක් වූ කම්කරුවෝ සිය ඉල්ලීම් දිනාගන්නට තර්ජනාත්මක සටන් මාර්ගය තෝරා ගත්හ. ඒ වන විය ‘නයිට්ස් ඔෆ් චිකාගෝ’ සංවිධානයට කම්කරුවන් 150,000 ක් පමණ එක්වී විශාල සංවිධානයක් බවට පත්වී තිබුණි.

චිකාගෝ නුවරට රැස්වූ කම්කරු පිරිස ලක්ෂ එකහමාරක් පමණ වූහ. නගරයේ සියලුම කම්හල්වල සේවකයෝ එකට එක්වී 1886 දී කළ මහා වැඩ වර්ජනය කර්මාන්ත හිමියන්ට එරෙහිව එල්ල කළ පළමුවන වෙඩි මුරය විය. එහිදී කම්කරුවන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට රැස්වූ පිරිස එන්න එන්නම වැඩි විය. කෙසේ හෝ කම්කරුවන්ගේ එක්සත් බව හමුවේ පැය 8 ඉල්ලීම නොදී සිටීමට කම්කරු හිමියන්ට නොහැකි විය. එහෙත් ඇතැම් කම්හල් හිමියන් මේ ඉල්ලීම ලබා දුන්නේ කැමැත්තෙන් නොවේ. මේ වැඩ වර්ජනයේ ජයග්‍රහණය නිසා උද්දාම වූ කම්කරුවෝ වඩ වඩාත් උද්‍යෝගයෙන් කම්කරු සංවිධානය වටා එක්රැස් වූහ.

හේමාකට් කම්කරු අරගලය

එහෙත් ඇතැම් කම්හල් හිමියෝ මේ තීරණයට විරෝධය පාමින් වැඩ වර්ජනය කළ කම්කරුවන්ට නොයෙක් තාඩන පීඩන එල්ල කළහ. කම්කරුවන් වැඩ වර්ජනය කළහොත් රැකියාවෙන් නෙරපන බවට තර්ජනය කළ සමහර කම්හල් හිමියෝ කම්කරුවන්ගේ විරෝධයට පාත්‍ර වූහ. මැයි 1 දා චිකාගෝ නුවර “හේ මාර්කට්” චතුරශ්‍රයට රැස්වූ කම්කරුවෝ පැය 8 වැඩ මුරය නීතිගත කරන තුරු සටන් කරන්නට තීරණය කරමින් උද්ඝෝෂණයේ නිරත වූහ. මැයි 1 වැනිදා රැස්වූ පිරිස ඇමතු සැමුවෙල් ෆිල්ඩන් නම් කම්කරු නායකයා වේගවත් කතාවක් කරමින් මෙම අරගලය විසින් මැයි 1 වැනිදා ලෝකයේම වැඩකරන ජනයාට ඓතිහාසික දිනයක් වනු ඇති බව කීය. මැයි 2 දා වන විට මෙම අරගලයට එක්වන කම්කරු සංඛ්‍යාව වැඩිවන්නට විය. මැයි 3 වැනිදා ඔගස්ට් ස්පයිස් නම් වූ කම්කරු නායකයා 65,000 ක් පමණ වූ පිරිසක් හමුවේ වේගවත් කතාවක් කරමින් සිටියේය. කම්හල් හිමියන් විසින් අල්ලස් දෙනු ලැබු පොලිස් නිලධාරීන් පිරිසක් හදිසියේ ම එතැනට කඩා වැදී කම්කරුවන්ට පහර දෙන්නට පටන් ගත්හ. කම්කරුවන් හිස්ලුලූ අත දිව යන්නට වූයෙන් දිව යන අයට පොලීසිය වෙඩි තැබීය. දිව යන කම්කරුවන්ගේ ශරීර ලෙයින් තෙත් විය. මාර්ගය ද ලෙයින් වැසී ගියේය. සිය ගණන් කම්කරුවෝ ලේ පෙරාගෙන ඇද වැටුණහ.

පොලීසිය ජයග්‍රාහීව එතැනින් ඉවත්ව යනවිට වෙඩි වැදුණු කම්කරුවෝ හතර දෙනෙක් මියගොස් සිටියහ. එහෙත් එයින් සටන අවසන් වූයේ නැත. කම්කරුවන් හා කම්හල් හිමියන් අතර සටන ආරම්භ වූයේ එතැන් සිටය. මේ මිනීමැරුම්වලින් ඇවිස්සුණු කම්කරුවෝ ඊට විරෝධතාව දැක්වීමට මැය 4 වැනිදා හේ මාර්කට් චතුරස්‍රයට රැස්වීමට සියල්ලන්ටම දැනුම් දුන්හ. ඒ අනුව පසුවදා කම්කරුවෝ බුරුතු පිටින් හේ මාර්කට් චතුරස්‍රයට රැස් වූහ. මෙය ව්‍යාපාරිකයන්ගේ ඇස්වල කටු අනින්නාක් මෙන් විය. ඔවුන් විසින් අවුස්සන ලද හා අල්ලස් වලින් සප්පායම් ලද පොලීසිය කම්කරුවන් ඒකරාශී වීම වැළැක්වීමට නොයෙක් උපක්‍රම යෙදීය. කම්කරුවන්ට ප්‍රහාර එල්ල විය. එහෙත් පොලිස් බාධක මධ්‍යයේ හේ මාර්කට් චතුරස්‍රයට දස දහස් ගණන් පිරිස් එක්රොක් වූහ. පොලිස් පහරදීම්වලට එරෙහි වූ චිකාගෝ නගරාධිපති හැරිසන් ද එහි රැඳී සිටියේය. නගරාධිපතිවරයා එහි සිටින තුරු පොලීසිය නිහඬව සිටියේය. රැලිය සාමකාමී ලෙස පැවැත්වෙමින් තිබිණ.

නගරාධිපතිවරයා එතැනින් ඉවත් වත්ම එතැනට ආ පොලිස් භටපිරිසක් කම්කරුවන්ට රැස්වීම නවත්වන ලෙස නියෝග කළහ. විරෝධතාව තව සුළු වේලාවකින් අවසන් වන බව කීවත් පොලීසිය ඉවත් වූයේ නැත. නායකයන් සමඟ පොලීසිය සාකච්ඡා කරමින් සිටියදී එක්වරම පොලීසිය දෙසට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. පොලීසිය මාරාවේශයෙන් කම්කරුවන්ට දිගට හරට වෙඩි තබන්නට පටන්ගත්තේ එවිටය. කම්කරුවෝ ද ගල්-මුල් හා අතට හසුවන දෙසින් පොලීසියට ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්හ. මේ ප්‍රහාරයෙන් පොලිස් භටයෙකු එතැනම මියගිය අතර තවත් හය දෙනෙක් පසුව මිය ගියහ. මියගිය කම්කරුවන්ගේ ගණන සිය ගණනක් විය. කම්කරු මර්ධනයට හොඳ අවස්ථාවක් ලද කම්හල් හිමියෝ පොලීසිය ලවා තව තවත් කම්කරුවන්ට ප්‍රහාර එල්ල කරවූහ.

හේමාකට් කම්කරු නායකයන්- මොවුන්ගෙන් සිවුදෙනෙක් 1887 නාවැම්බර් 11 එල්ලා මරා දමනු ලැබිනි. එක් අවකු සිය දිවි නසාගත් අතර අයකුට ජිවිතාන්තය දක්වාද අනෙකාට වසර 15කද සිරදඩුවම් නියම විය.

අරගලයට සම්බන්ධ වූ කම්කරු නායකයන් අත්අඩංගුවට ගනු ලැබුවේ කම්හල් හිමියන්ගේ ඉල්ලීම පරිදිය. ඔගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්සින්ස්, ඇඩොල්ෆ් ෆිෂර්, ජොර්ජ් එන්ගල්ස්, සැමුවෙල් ෆිල්ඩන්, ලුයිස් ලින්ග්, මයිකල් ස්ට්වැට්, ඔස්කා නිබේ යන කම්කරු නායකයෝ අත්අඩංගුවට පත්වූහ. ඔවුන්ට එරෙහිව පොලීසියට ප්‍රහාර එල්ල කිරීමේ චෝදනාව මත නඩු පවරන ලදී. මෙහිදී විත්තිකරුවන්ට ඔවුන් වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ද ලැබුණේ නැත. සැමුවෙල් ෆීල්ඩන් හා මයිකට් ස්ට්ටැච්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. ඔස්කා නිබේට වසර 15 ක සිර දඬුවමකි. මේ හැර අනික් සියලු දෙනාම එල්ලා මැරීමට නියම විය. ලුයිස් ලින්ග් එල්ලා මැරීමට පෙර බෝම්බයක් පුපුරුවා ගෙන මියගිය අතර අනෙක් සිව් දෙනා වූ ඔගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්සන්ස්, ඇඩොල්ෆ් ෆිෂර් හා ජෝර්ජ් එන්ගල්ස් හතර දෙනා 1887 නොවැම්බර් 11 දින එල්ලා මරන ලදී.

ජාත්‍යන්තර කම්කරු දිනය නම් කිරීම

1889 ප්‍රංශයේ පැවැති ලෝක සමාජවාදීන්ගේ ජාත්‍යන්තරයේ පළමු සැසිවාරයේ දී පැය අටක සේවා මුරය සඳහා අරගල කිරීමේ වරදට මරා දැමුණු අමෙරිකානු කම්කරුවන් සිහි කිරීම පිණිස සෑම වසරකම මැයි 1 දා ලෝක කම්කරු දිනය ලෙස සැමරිය යුතු යැයි තීරණය විය. මේ අනුව 1890 ඇමෙරිකාවේ, චිලී රාජ්‍යයේ හා කියුබාවේත් අතිවිශාල කම්කරු පිරිසකගේ සහභාගිත්වයෙන් මුල්ම කම්කරු දිනය සමරන ලදි. මේ අතර එක්සත් ජනපදයේ සිරගතව සිටි හේමාකට් කම්කරු නායකයන් පිළිබද යළි අවධානයක් ඇති විය. 1893 ජුනි 26 වැනිදා ඇල්වගේට් ආණ්ඩුකාරයාගේ නියමයෙන් එතෙක් සිරගතව සිටි සැමුවෙල් ෆීල්ඩන්, මයිකල් ස්ටවැට්, ඔස්කා නීබේ නිදහස් කරන ලදී. එල්ලා මරා දැමූවන් මෙන්ම බෝම්බයක් පුපුරුවාගෙන මියගිය ලින්ග් ද නිවැරැදිකරුවන් ලෙස ද ප්‍රකාශයට පත් කළේය.

මේ වන විට ලෝකයේ බොහෝ රටවල මැයි 1 වැනි දිනය නිවාඩු දී ඇත්තේ සටන්කාමී කම්කරු සමගියට ගරු කිරීමක් වශයෙනි. එහෙත් එය කම්කරුයන්ගේ අරගලවලින් ලේ හලා ජිවිත පුදා දිනාගත් ජයග්‍රහණයක් විය. බොහෝ දෙනා සිහින දකින ආකාරයට වැඩකරන ජනතාවට ධනපති පාලකයන්ගෙන් කාරුනිකත්වයෙන් අයිතිවාසිකම් හිමිවන්නේ නැත. එදා ‘හේමාකට්‘ චතුරස්‍රයේ කම්කරු ලේ ගලා ගියේය. ඔවුන් ඇද සිටි සුදු කමිස රත් පැහි විය. වැඩකරන ජනතාවගේ වර්ණය රතු පැහැ වූයේ එසේය. වැඩ කරන ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් සටන් වදින දේශපාලනයට රතු කොඩිය එක් වූයේ එසේය. ඒ නිසා මැයි 1 වැනිදා යනු එක් නිවාඩු දිනයක් හෝ සිය දේශපාලන පක්ෂයේ හයිය පෙන්වන ප්‍රචාරක දිනයක් නොවේ.
සකලවිධ පීඩාවන්ගෙන් පෙළෙන, ශ්‍රමසූරාකෑම නිසා ජීවිතය පවා අහිමිව විදවන ලෝකවාසි වැඩකරන ජනතාවට මාක්ස්වාදී දේශපාලන ව්‍යාපාර යෝජනා කරන්නේ අප පෙළන මේ ධනවාදී සමාජ ආර්ථික ක්‍රමය වෙනුවට කොමියුනිස්ට්වාදී සමාජයක් බිහිකරගැනීමට ඒකරාශි වන ලෙසය.

1848 කොමියුනිස්ට් ප්‍රකාශනය ලියමින් මාක්ස් හා එංගල්ස් යෝජනා කළේ ‘සකල දේශවාසී නිර්ධනයනි සමගි වව්!‘ යන්නය.

අද දවසේ කම්කරු දිනය

අදත් වැඩකරන ජනතාව ධනපති ක්‍රමයේ සූරාකෑම ඇතුලු සකලවිධ පීඩාවන්ට ගොදුරුව සිටී. පැය 8 වැඩ දිනයෙන් ඔවුන්ට ජීවත් විය හැකි වැටුපත් හිමි නොවේ. ඒ නිසා පැය 8 වැඩ කළ පසුව වෙනත් ආදායම් උපයන කටයුතු වල යෙදෙන්නට හෝ ජාවාරම්වල යෙදී සිය ජීවිත පරදුවට තබන්නට වැඩ කරන ජනයාට බල කරනු ලැබ තිබේ. ඔවුන්ගෙන් බොහෝ දෙනා තමන්ගේ ඇත්ත පීඩාවන් සගවාගෙන පරිභෝජනාවදී උමතුවකින් ව්‍යාජ ජීවිත ගතකරමින් සිටින බව රහසක් නොවේ. එහෙත් වැඩ කරන ජනතාව වෙනුවෙන්, හේ මාකට් චතුරශ්‍රයේ අරගලකාරී ආදර්ශය සහ ලෝක සමාජවාදී ව්‍යාපාරයේ රතු ධජය තවමත් සවා සිටින ලෝක පරිමාණ කම්කරු සංවිධාන මෙන්ම සමාජවාදය අරමුණු කරගත් දේශපාලන ව්‍යාපාර තිබේ.

අදත්, ධනපති සමාජ ආර්ථික ක්‍රමයේ ලෝක පරිමාණ සූරාකෑමට හා මර්දනයට ජනතාව ගොදුරුකරවන, නව ලිබරල් අධිරාජ්‍යවාදී වැඩපිළිවෙළ ක්‍රියාත්මකය. ලෝකවාසී වැඩකරන ජනතාව 99%ක් නම් පාලක අධිරාජ්‍යවාදී ධනපති පන්තිය 1%කි. ලෝකයේ මානව ජීවිත මෙන්ම සියලු භෞතික හා අධයාත්මික සම්පත් සිය ධනයට හා බලයට ඇති කෑදරකමින් ගිල දමන මහා පරිමාණ සමාගම් හා ඒ් පසුපස සිටින බිලියනපතියන් අප හමුවේ පෙනී සිටිනුයේ තමන් ලෝකය පෙරට ගෙනයන බවය. එහෙත්, සිය ආයෝජන ව්‍යාප්ත කිරීම හා ලාභ තරකර ගැනීම මිස, තමන් විසින් දරිද්‍රතාවයෙන් හා රෝග පීඩාවෙන් මරණයට ගොදුරු කරන ලෝකවාසී පීඩිත ජනයා සම්බන්ධ ප්‍රශ්නය ඔවුන්ට අදාළ නැත. මේ පාලක ධනපති පන්තිය විසින් සියල්ල හැසිරිවීමේ හා භුක්ති විඳීමේ අයිතිය හිමිකර ගෙන සිටී. හේමාකට් අරගලයේ සිට අද දක්වා වැඩ කරන ජනයාගේ ඇත්ත අයිතිවාසිකම් වෙනුවෙන් කළ දේශපාලන නැගිටීම් අපගේ දේශපාලන පාඩම් පොත වේ. නැගිටීම් හමුවේ සාධාරණ සිතීමක් හෝ ඉල්ලීම් සම්බන්ධ යුක්තියක්, පාලකයන් විසින් ඉටුකර නැත. පිළිතුර වූයේ මර්දනය, අවලාද, අතුරුදන් කිරීම් හා මරාදැමීම් පමණි. ඔවුන්ගේ ආධිපත්‍ය පෙරලා දැමීමේ බලය පිළිබඳ ප්‍රශ්නය විසඳාගන්නට හැකිවන්නේ ආයාචනාවෙන්, යාදින්නෙන් නොව, බලහත්කාරයෙනි. ඒ කාර්ය සපුරාගත හැක්කේ හුදකලාව නොව, සංවිධානය වීමෙනි.
ඉතින් ඒ වෙනුවෙන්, අපි තවදුරටත් වැරෙන් හඬ නගා කියමු,

‘සකල දේශවාසී නිර්ධනයනි සමගි වව්!‘