தமிழ்
English
Contact
Wednesday 17th August 2022    
ජාලිය වික්‍රමසූරිය මව්බිමට ද්‍රෝහිකම් කළ අයෙක් ! - එක්සත් ජනපද විනිසුරු කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජාලිය වික්‍රමසූරිය මව්බිමට ද්‍රෝහිකම් කළ අයෙක් ! – එක්සත් ජනපද විනිසුරු කියයි



  • වරද පිළිගෙන සමාව ඉල්ලා සිටි නිසා සිරදඬුවම අත්හිටුවයි
  • ඩොලර් 5 000ක දඩයක් – දෙවසරක පරිවාස කාලයක්

පසුගිය අප්‍රේල් මාසයේදී අභියාචනයක් ඉදිරිපත් කිරීම හේතුවෙන්, නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා රජයට වංචා කිරීම සම්බන්ධ චෝදනාව සඳහා වරදකරු වූ වොෂින්ටන් ඩීසී හි හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය, සැහැල්ලු දණ්ඩනයකට යටත් කෙරිණි.
ජූලි 20 වැනිදා, එක්සත් ජනපදයේ අගනුවර, වොෂින්ටන් ඩීසී හි දිස්ත්‍රික් උසාවියේ දී වික්‍රමසූරියට දඬුවම් නියම විය. ජාලිය වික්‍රමසූරිය විසින් වංචා කළ මුදල් ආපසු ගෙවා ඇති හේතු සලකමින් වසර දෙකක පරිවාස කාලය සහ US$ 5,000 දඩයක්, නියමකර ඇත. විනිසුරුවරිය විසින් මෙම දඬුවම නියම කරමින් කළ ප්‍රකාශය, එක්සත් ජනපදයේ මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය තුළ අවධානයට ලක් විය.
“මෙය ඩොලර් මිලියන ගණනක් නොවූවත්, එයින් නියෝජනය කෙරෙන්නේ රටේ ජනතාවට කළ බරපතල සොරකමක්. ඒ විතරක් නෙවෙයි, ලෝකයේ බලවත්ම රටේ අගනුවරදී එම ජනයාගේ අවශ්‍යතා නියෝජනය කිරීමට ඔවුන් විසින් වගකීම භාර දුන් පුද්ගලයෙකු විසින්, සිදුකර ඇත්තේ බරපතල ද්‍රෝහීකමකි.”

2005 නොවැම්බර් මස ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව, සිය ඥාතීන්ට රජයේ විශේෂ තනතුරු ලබාදීම ආරම්භ කළ අතර වර්ජිනියාවේ ආර්ලින්ටන් හි පදිංචිව සිටි ජනාධිපතිවරයාගේ ඥාති සොහොයුරු ජාලිය චිත්‍රාන් වික්‍රමසූරිය, එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කරන ලදී. 61 හැවිරිදි වික්‍රමසූරිය 2008 සිට 2014 දක්වා සේවය කළේය.
2008 වසරේ වොෂින්ටනයේ තානාපති ධුරය භාර ගත් ජාලිය වික්‍රමසූරියට වසර 5කට පසුව එනම් 2013දී තානාපති කාර්යාලය සඳහා නව ගොඩනැගිල්ලක් අවශ්‍ය විය. සිය ධුර කාලය අවසන් කිරීමට පෙරාතුව, නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා රජයෙන් ඇමෙරිකානු ඩොලර් 332,027 ක මුදලක් අපයෝජනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් වික්‍රමසූරිය චෝදනාවට ලක් සිටියේය. අධිකරණ ලේඛනවලට අනුව, 2012 අග භාගයේ සිට 2013 නොවැම්බර් දක්වා කාලය තුළ වික්‍රමසූරිය නව තානාපති කාර්යාල ගොඩනැගිල්ල මිලදී ගැනීමේදී, මිල ඩොලර් 332,027 අවභාවිත කිරීම සහ තානාපති කාර්යාලය ඉවත් කිරීමේදී දේපළ වෙළඳාම් ගනුදෙනුවේ කිසිදු අදාළත්වයක් නොමැති සමාගම් දෙකකට එම අරමුදල් හරවා යැවීම සිදුකර ඇති බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ තොරතුරු වාර්තා කරයි. 2013 ජනවාරි සිය ධූර කාලය අවසන් වන විට, වික්‍රමසූරිය විසින් මෙම ගෙවීම් මෙහෙයවා ඇති බවත් ඔහුගේ පෞද්ගලික ඊමේල් ලිපිනය මෙම ගනුදෙනුවට භාවිත කර ඇති බවත් අනාවරණය විය. පසුගිය අප්‍රේල් මාසයේදී ඔහු අරමුදල් වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණයේදී වරද පිළිගත්තේය.

මෙම ගනුදෙනුවේදී ගෙවීමක් සම්බන්ධ කළ විමසීමක් නිසා දේවල් ඉතා ඉක්මනින් හෙළිදරව් විය. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයට ඩොලර් 250,000 ක චෙක්පතක් කපා හැරීමට හිමිකම් සමාගම ලබා ගැනීමට නැවත නැවතත් කරන ලද උත්සාහයන් දෙරටේ බලධාරීන්ගේ අවධානයට ලක් වූ අතර, තානාපතිවරයා ගෙවීම් සෘජු කිරීම සඳහා ඔහුගේ පුද්ගලික විද්‍යුත් තැපෑල භාවිතා කිරීම සැක සහිත විය. පසුව 2013 වසර අවසානයේ ඔහු විසින් රජයෙන් වංචා කළ මුදලට සමාන අරමුදල් ප්‍රමාණයක් රජයේ ගිණුම් වෙත ආපසු හරවා යැවීය.
ලංකාවේදී ඔහුට නඩු පවරනු ලැබුවේ රාජපක්ෂ පවුල දේශපාලන වශයෙන් පරාජය කෙරුණු 2015 මහමැතිවරණයෙන් පසුවය.

2013 වසරේදී අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස්දහසකට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ජාලිය වික්‍රමසූරියට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ඉදිරිපත් කර තිබිණ. තානාපති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව ඔහු නිදහසේ ලංකාවට පැමිණීම හා අමෙරිකාවට යාම සිදු විය. පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ජාලිය වික්‍රමසූරිය 2016 නොවැම්බර් 17 වෙනිදා කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගන්නා ලද අතර පසුදාම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
තම ඇසේ පවතින රෝගී තත්ත්වයකට ප්‍රතිකාරයක් ලබා ගැනීම සඳහා අමෙරිකාවට යාමට අවසර දෙන මෙන් පසුව කළ ඉල්ලීම පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2017 වසරේ දී ජාලිය වික්‍රමසූරියට විදේශගත වීම සඳහා අවසර ලබා දුන්නේය.
එහෙත්, 2017නොවැම්බර් මස 17 වෙනිදා ඔහු නැවත අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට කොන්දේසියක් පනවා තිබුණ ද, ඔහු අධිකරණයේ පෙනී සිටියේ නැත. ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නැයි දන්වා මහේස්ත්‍රාත්වරිය 2018 ජනවාරි 05 වැනිදා විවෘත වරෙන්තු නිකුත් කළාය.

අමෙරිකානු පුරවැසිභාවය භාවිත කරමින් රටින් පළා ගිය ඔහු, තානාපති මුක්තිය ඉවත් කිරීමකට යටත්ව සිටියද අමෙරිකාවේදී තමන්ට නීතිය හමුවට යන්නට සිදු වේ යැයි අපේක්ෂා කළේ නැත. ගෝඨාභය රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ අත පුලුස්සා ගැනීමට උත්සාහ ගත්තද ඔහු භාවිත කළේ ‘රාජ්‍යතාන්ත්‍රික අඬුව’යි. 2019 ජනාධිපතිධුරයට පත් වීමෙන් පසුව, ඥාති සොයුරු ජාලිය වික්‍රමසූරියට තානාපති මුක්තිය අහිමි කිරීම සම්බන්ධයෙන් තානාපති කාර්යාලයට දන්වා යැවුවේ එය පසුගිය යහපාලන ආණ්ඩුව කළ දේශපාලන පළිගැනීමක් ලෙස විමර්ශනයට ලක්ව ඇති බවත් ඒ අනුව, තානාපති මුක්තිය අහොසි වී නැති බවත්ය. නමුත් අමෙරිකානු නීතිය අනුවත් ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික නීති අනුවත් තානාපති මුක්තිය ඉවත් කිරීම යනු නිශ්චිතව සිදුවන, නැවත ආපස්සට හැරවිය නොහැකි තීන්දුවකි. නැවත තානාපති මුක්තිය ලබාගන්නට නම් එම තැනැත්තා නැවත රාජ්‍යතාන්ත්‍රික නිලයකට පත් කළ යුතු විය.