தமிழ்
English
Contact
Friday 16th April 2021    
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ලංකාවට එරෙහි යෝජනාව සම්මත වෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ලංකාවට එරෙහි යෝජනාව සම්මත වෙයි



ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

යෝජනාවට පක්‍ෂව රටවල් 22ක් ඡන්දය ලබාදී ඇති අතර යෝජනාවට විරුද්ධව ලංකාව සමග රටවල් 11ක් ඡන්දය පාවිච්චි කර තිබුණි.

ඉන්දියාව සහ ජපානය ඇතුළුව රටවල් 14ක් ඡන්දය දීමෙන් වැලකී සිට තිබේ.

ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව කරුණු ඇතුළත් කරමින් එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය , මොන්ටිනීග්‍රෝ ,මැසිඩෝනියාව , මලාවි යන ඇතුළු රටවල් හයක් ඒකාබද්ධව, 46/1 නමැති මෙම යෝජනාව ඉදිරිපත් කෙරිණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් මෙවර සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබීය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී, මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැෂලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගියදා ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් ඉකුත් පෙබරවාරි 25 වැනිදා රටවල් 38ක නියෝජිතයින් සිය රටවල නිල ස්ථාවරය පැහැදිලි කර තිබේ.

එහිදී එක්සත් රාජධානිය, ප්‍රංශය, අමෙරිකා එක්සත් ජනපදය, නොර්වේ රාජ්‍යය,කැනඩාව, ස්විට්සර්ලන්තය,බෙල්ජියම,නෙදර්ලන්තය,අයර්ලන්තය, ඇතුළු රටවල් 15ක් මහ කොමසාරිස්වරියගේ වාර්තාවට පක්ෂව අදහස් පළකර තිබුණි.

ජිනීවා යෝජනා සම්මත වීමෙන් පසු ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයට පහත සඳහන් වගකීම් පැවරෙන බව සඳහන් වේ.

ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධ සාක්ෂි වගවීම ඉදිරියට ගෙන යෑමේ අරමුණින් සංරක්ෂණය හා විශ්ලේෂණය කිරීමේ වැදගත්කම හඳුනාගත යුතු අතර, මහ කොමසාරිස් කාර්යාලයේ තොරතුරු එකතු කිරීමේ හැකියාව, තොරතුරු සහ සාක්ෂි ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය කිරීම සහ ආරක්ෂා කිරීම ශක්තිමත් කිරීමට තීරණය කරයි. ශ්‍රී ලංකාවේ දළ වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම, වින්දිතයන් සහ දිවි ගලවා ගත් අය වෙනුවෙන් පෙනී සිටීම, නිසි අධිකරණ බලය සහිත සාමාජික රටවල් ඇතුළුව අදාළ අධිකරණ හා වෙනත් කටයුතුවලට සහාය වීම සඳහා අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා හැකි උපාය මාර්ග සංවර්ධනය කිරීම.”
මේ අනුව මහ කොමසාරිස්වරියගේ කාර්යාලයෙහි විශේෂ ඒකකයක් පිහිටවෙනු ඇති අතර ඊට නීතිවේදීන්ද ඇතුළත් වෙයි. මේ සඳහා ඉදිරි මාස 22 සඳහා ඩොලර් මිලියන 2.8 වැය ශිර්ෂයක් ලැබෙනු ඇත. කවර රටකදී හෝ ශ්‍රී ලංකාවේ යුද අපරාධ හෝ බරපතල මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් කවරකුට හෝ නඩු පැවරීමට අවශ්‍ය තොරතුරු මෙම ඒකකය මගින් ලබා දෙනවා ඇත.

තවද යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ නිත්‍ය විමර්ශනයක් පවත්වාගෙන යනු වස් එළැඹෙන මාස 22 ක තුල වාර්තා 3 ක් ඉදිරිපත් කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්වරියට නිර්දේශ කරයි. මේ වනාහී මෙයට පෙර නොතිබූ වර්ධනයකි. ඉන් පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිරිහෙනු ඇතැයි ලෝක ප්‍රජාව තුළ ඇති පිළිගැනීමයි.

“සංහිඳියාව හා වගවීමේ ප්‍රගතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ එහි අධීක්ෂණය සහ වාර්තාකරණය වැඩි දියුණු කරන ලෙසත්, මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසියේදී වාචික යාවත්කාලීන කිරීමක් ඉදිරිපත් කරන ලෙසත් මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටී. එහි 49 වැනි සැසියේදී ලිඛිත යාවත්කාලීන කිරීමක් සහ එහි 51 වැනි සැසියේදී වගවීම ඉදිරියට ගෙනයෑම සඳහා තවත් විකල්ප ඇතුළත් පුළුල් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටින අතර, එම වාර්තා දෙකම සංවාදයක් තුළ සාකච්ඡා කළ යුතුය.’

මේ අතර එම වාර්තාවන් මගින් විමර්ශනය කැරෙනු ඇති වගකීම් ගණනාවක් ලංකාණ්ඩුවට පැවරෙයි. ඒවා මෙසේය:

  1. කඩිනම්, සවිස්තරාත්මක හා අපක්ෂපාතී පරීක්ෂණයක් සහතික කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින අතර, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ යැයි කියනු ලබන සියලු අපරාධවලට එරෙහිව නඩු පවරන ලෙස ඉල්ලා සිටී.
  2. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලය ස්ථාපිත කර ඇති පරිදි ඔවුන්ගේ බලය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
  3. මානව හිමිකම් ආරක්ෂා කරන්නන් ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරීන් ආරක්ෂා කරන ලෙසත්, ඕනෑම ප්‍රහාරයක් විමර්ශනය කරන ලෙසත්, සිවිල් සමාජයට බාධාකිරීම්, සෝදිසි කිරීම්, අනාරක්ෂිතභාවයන් සහ පළිගැනීමේ තර්ජනයෙන් තොරව ක්‍රියාත්මක විය හැකි ආරක්ෂිත හා සක්‍රීය පරිසරයක් සහතික කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
  4. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කරන ලෙසත්, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම පිළිබඳ ඕනෑම ව්‍යවස්ථාවක් රජයේ ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීති බැඳීම්වලට අනුකූල වන බවට සහතික කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
  5. සියලුම ආගමික ප්‍රජාවලට ඔවුන්ගේ ආගම ප්‍රකාශ කිරීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීමෙන් ආගමට හෝ විශ්වාසයට හා බහුවිධතාවට නිදහස ලබාදෙන ලෙසත්, විවෘතව හා සමාජයට සමාන පදනමක් මත දායක වන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
  6. ඔවුන්ගේ ඉල්ලීම්වලට විධිමත් ලෙස ප්‍රතිචාර දැක්වීම ඇතුළුව මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ ක්‍රියා පටිපාටි සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය දිරිමත් කිරීමට අපේක්ෂා කරයි.