Posted on 01.23.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) 2009 වසරේ අවසන් වූ යුද්ධය තුළ මානව හිමිකම් අපරාධ සිදුව ඇති බවට නැගෙන චෝදනා පිළිබඳ කටයුතු කිරීමේ අරමුණින් කමිටුවක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගෙන ඇත.
එළඹෙන මාර්තු මසදී ජිනිවා මානව හිමිකම් සමුළුව පැවැත්වීමට නියමිත අතර ආණ්ඩුව විසින් ඒහිදී මතුවන චෝදනා සම්බන්ධ පූර්ව අවබෝධයකින් මෙම කොමිසම පත් කළාදැයි අනුමාන කළ හැකිය. ජනවාරි 20 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනයක් මගින් ස්ථාපිත කර ඇති මෙම ත්‍රිපුද්ගල විමර්ශන කොමිෂන් සභාව විසින් මෙරට සිදුව ඇති බව පැවසෙන මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව සොයාබලා ඒ සම්බන්ධයෙන් කටයුතු කළයුතු ආකාරය නිර්දේශ කිරීම අපේක්ෂිත බව ප්‍රකාශකර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ. එච්. එම්. නවාස්ගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරිය. කෙසේවෙතත් මෙවැනි කොමිෂන් සභා යුද්ධයේදී අගතියට පත් පාර්ශ්වවලට යුක්තිය ඉටු කිරීමේ පෙනුමක් ඇති නමුත්, ඇත්ත වශයෙන්ම මෙරට දේශපාලනයේ කල්මැරීමේ උපක්‍රම බවට පත්ව තිබෙන බව දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත. අනෙක් අතට මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල රැස්වීම හේතුවෙන් මෙවැනි කොමිසමක් පත්කළ බව පවසා ඇඟබේරාගැනීමේ අරමුණක් වත්මන් ආණ්ඩුවට ඇති බවද ඇතැම් දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහස වේ.
මින් පෙර මහින්ද රාජපක්ෂ පාලනයේ සිට වරින්වර ජීනීවා මානව හිමිකම් සමුළුවට මුහුණ දීමේ අරමුණ ඇති පිහිටුවන ලද උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ වාර්තාව, දරුස්මාන් වාර්තාව සහ පරණගම කොමිසමේ වාර්තාව මගින් ඉදිරිපත් කර ඇති නිර්දේශ කිසිවක් ආණ්ඩු පක්ෂ විසින් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර නැත. ඒම කොමිෂන් සභාවලට වැයකළ මුදල් හා කාලය පවා අපතේ ගිය බවක් හැඟන අන්දමට යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලිය පමා වී ඇත.