தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ජිප්සීස් නායක සුනිල් පෙරේරා අභාවයට පත් වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජිප්සීස් නායක සුනිල් පෙරේරා අභාවයට පත් වේ!



මෙරට ‘පොප්’ සංගීත රැල්ලේ පුරෝගාමියකු මෙන්ම කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ නව ප්‍රවේශයකට දායකත්වයක් දුන්, ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත විය.

බම්බලපිටියේ ශාන්ත පීතර විදුහලේ ශිෂ්‍යයකු වූ ඔහු කුඩාකාලයේ සිටම සංගීතයට ඇලුම් කළ අයෙකි. ජනප්‍රිය ගායකයකු, වාදකයකු, සංගීතඥයකු මෙන්ම ගීත රචකයකු ද වූ සුනිල් පෙරේරා ජනප්‍රිය කලා ධාරාවෙන් සමාජ විවේචක භූමිකාවක යෙදී සිටියෙකි. සිය පියා සමග 1968 ආරම්භ කළ ‘ජිප්සීස්’ සංගීත කණ්ඩායමට වයස අවුරුදු 11 දී පමණ සම්බන්ධ වූ සුනිල් පෙරේරා පසුව පියල් පෙරේරා ඇතුළු තම සොහොයුරන් හා ඥාති සොහොයුරන් එක් කරගනිමින් මෙරට ජනප්‍රියම සංගීත කණ්ඩායමක් බවට පත් කිරීමට සමත් විය.

1970 දසකය අවසානයේ බිහි වූ නවලිබරල් වෙළඳපොළ ආර්ථිකයට සරිලන වානිජ ගීත රැල්ලක් බිහි කරමින් වේග රිද්ම ගීත නිර්මාණය කිරීමේදී ජනප්‍රියත්වය කරා යා හැකි සියුම් මිනිස් ආශාවන් ස්පර්ශ කිරීමට ඔහු සමත් විය. ජිප්සීස් කණ්ඩායමේ මුල්ම ස්වතන්ත්‍ර නිර්මාණ වූ‍යේ ‘ළිඳ ළඟ සංගමය, අම්මා අම්මා‘ යන ගීතයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම නොනවතින ගීතාවලියක කැසට්පටය ‘ජොලිය’ නමින් 1981දී නිර්මාණය කළේ ඔහුගේ මූලිකත්වයෙනි. සුනිල් පෙරේරාගේ ජිප්සීස් කණ්ඩායම විසින් නිර්මාණය කරන ලදුව බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වූ ගීත රාශියකි. ඒ අතර ‘තොරන් බඳින්නට රබන් වයන්නට සුබ නැකතක් ආවා, කුරුමිට්ටෝ, දැන දැන වැරදි කරනවා, ලුණු දෙයි, ඕයේ ඔජායේ, තාත්තා, සිඤ්ඤෝරේ’ වැනි ගී දක්නට ලැබේ. ‘කුරුමිට්ටෝ‘ වැනි ගීත කිහිපයක් විදේශ තනු යොදා ගෙන ඇතත් ගීත බොහෝ ගණනක තනු ස්වයං නිර්මාණ වේ.

ඔහුගේ ගමන්මග තුළ ජනප්‍රිය සංගීත ප්‍රසංගවල සිට සම්මත සදාචාර සීමාවන් අභිබවමින් ‘ස්ටැග් නයිට්’ බඳු රහසිගත කාම ප්‍රසංග දක්වා පරාසයකට විහිදුණි.

ඩැඩී සංගීත කණ්ඩායමේ නිර්මාතෘ, ජනප්‍රිය ගායක ගයාන් පෙරේරා ඇතුළු දරුවන් සිවු දෙනකුගේ පියෙකුවන ඔහු විවාහ වී සිටියේ ගීතා පෙරේරා සමග ය.

68 හැවිරිදි ඔහු කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිටියද දින කිහිපයකට පෙර සුවය ලබා නිවසට ගොස් සිටියදී ඇතිවූ හදිසි රෝග තත්වයක් හේතුවෙන් ඊයේ (5) දිනයේදී යළිත් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටියදී අභාවයට පත් විය.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව ඥාතීන් පවසයි.

(සේයා රුව – දයාන් විතාරණ)