தமிழ்
English
Contact
Monday 22nd April 2019    
ජීවිතයේ කැඩපත් පිළිබිඹුවක් ලෙස ‘ගිහින් එන්න කානිවල්’ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජීවිතයේ කැඩපත් පිළිබිඹුවක් ලෙස ‘ගිහින් එන්න කානිවල්’



නිර්මාණකරුවන් විසින් බිහිකරන කලා නිර්මාණ අප පෙර නොඇසූ සිදුවීම් මත නිර්මිත ඒවා නොවන නමුත් ඒවා අප වෙත ගෙන එන කලාත්මක ආකාරය විසින් අපව ආනන්දයට, අමන්දානන්දයට පත් කරයි. එසේම කලා නිර්මාණයක් ඇසුරු කිරීමෙන් අප ලබන සංතුෂ්ටිය හෝ කම්පනය එකී සිදුවීම්වලට අපට ඇති ඥාතීත්වය, සමීපතාව අනුව වෙනස් විය හැකිය. මේ සමීපකම හුදු මිනිස් සංවේදනයක් නොවේ. එක් අතකින් කලාව, නිර්මාණාත්මක කාර්යයන් මිනිසාගේ පැවැත්මේම කොටසකි. කලා නිර්මාණ ඇසුර, ඒවා ඇසුරින් ජීවිතාවබෝධය ලැබීම නැවත කලාත්මක සංවේදිතාවක් ජනනය කරන මාවතකි. මේ පූර්විකාව සමග අප පිවිසෙන්නේ සුමුදු නිරාගි සෙනෙවිරත්න විසින් ලියනු ලැබ පසුගිය සැප්තැම්බරයේ සාහිත්‍ය සම්මාන ද ලැබූ කෙටිකතා සංග‍්‍රහය පිළිබඳ සටහන් කරන්නටය. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේදීත් පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන සම්මාන උලෙළේදීත් ‘ගිහින් එන්න කානිවල්’ කෘතියට හොඳම ස්වතන්ත‍්‍ර කෙටිකතා සංග‍්‍රහයට හිමි සම්මාන පිරිනමන ලදී.
එම හේතුව විසින් සාහිත්‍ය සමාජයේ අවධානයට පාත‍්‍ර වූ නමුත් ‘ගිහින් එන්න කානිවල්’ අළලා මේ සටහන ලියන්නේ එකී කෙටිකතා එකතුවේ එන කෙටිකතා කිහිපයක සමාජ සංස්කෘතික අදාළත්වය සමකාලීන කලාකෘති සම්බන්ධ අප ගෙන යන දීර්ඝකාලීන සංවාද මාලාවට එක් කරගැනීම ප‍්‍රයෝජනවත් නිසාය.

‘සිලි සිලි – සිරි සිරි’ නමැති පළමුවැනි කෙටිකතාව, අප අද ගෙවන ජීවිතවලට බොහෝ සේ පීඩා ගෙන දෙන නවලිබරල් ධනවාදයේ විනාශකාරිත්වය සංකේතයක් ලෙස මීතොටමුල්ල ඛේදවාචකයේ කතාවකින් ආරම්භ වෙයි.
එය, 1978 දී ‘විවෘත ආර්ථිකය’ නමින් හඳුන්වා දෙන ලද නව ලිබරල් ප‍්‍රතිසංස්කරණ තුළ ගැමි ජනජීවිතය මුහුණ දුන් සංස්කෘතික අභියෝග තේමා කරගත් කතා පුවතකි. එතෙක් රාජ්‍ය ධනවාදය විසින් සීමා කර තිබුණු බොහෝ අංශ, පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් සහ වේගවත් ජවයකින් වෙනස් වන්නට විය. වෙනෙකක් තබා ගමේත් නගරයේත් මිනිස් ජීවිතයේ විවිධ අවස්ථාවන්ට පවා මේ වේගය කඩා වැදුණි.

සිලි සිලි මල්ල, ෂොපින් බෑග් වැනි නම්වලින් හදුන්වන පාරිභෝගික භාණ්ඩය කේන්ද්‍ර කරගෙන දිවෙන කතාවේ චරිත වන්නියේ ගැමියන්ය. එහෙත් ඔවුන් මෙතෙක් පවත්වාගෙන ආ ජීවන රටාව නව ආර්ථික පිළිවෙතට අනුව වෙනස්කර ගන්නා ආකාරය හා එහි විපරීතතා ඔවුන්ටම පෙරළා බලපාන ආකාරය කෙටිකතාවේ චිත‍්‍රණය කරයි. නිදසුනක් ලෙස වන්නියෙ වැඩ වාඩියට එන කම්කරුවන් විසින් ‘කඩිනම්’ සංවර්ධන ක‍්‍රියාදාමය හා එහිදී පාරිසරික හානි සිදුවන ආකාරය පිළිබද ඉඟි කරයි. ඒ අතරම වන්නියේ දැරියක පාසල අත්හැර කම්කරුවකු සමග හාදවී ගමෙන් යාම විසින් නිරූපණය කරන්නේ එකී නව වෙනස්කම් ගමේ ජීවිතය උඩු යටිකුරු කරවන ආකාරයයි. සිලි සිලි මල්ල ඇසුරින් ගැමියන් අතර ඇතිවන කුතුහලය, විමතිය මුසු ආකර්ෂණය පොදුවේ සමාජයක් ලෙස නවලිබරල් ප‍්‍රතිසංස්කරණ කෙරෙහි ආකර්ෂණය වූ ලාංකීය සමාජයේ අනාගත දැක්මක් නොමැති මුග්ධත්වය සංකේතවත් කරයි.

කතාවේ කේන්ද්‍රීය චරිත ලෙස තෙන්නකෝන් යුවළ එකී නව සමාජ සබඳතා වාහකයන් ලෙස පෙනී සිටී. මධ්‍යම පාන්තික ප‍්‍රභවයක් ඇති ගුරු යුවළක් වුවද ඔවුන්ට පවා එළඹෙන සමාජ ආර්ථික ප‍්‍රතිසංස්කරණ විනිවිද දැකීමේ අන්තර්ඥානයක් නොමැත. නගරයෙන් ගම වෙත යන රාජ්‍ය නිලධාරින් හා වෙනත් පුද්ගලයන් ගම වෙනස් කිරීමේ කාරකයන් බව සත්‍යයකි. ගුරුවරු කාලාන්තරයක් තිස්සේ නගරයෙන් ග‍්‍රාමීය පාසල් වෙත ගියහ. රාජ්‍යයේ අධ්‍යාපනික ශික්ෂණය හරහා ගැමි ජීවිතය ප‍්‍රබුද්ධත්වයට ගෙන ඒමේ කාර්යභාරය පැවරුණේ ඔවුන්ටය. නමුත් 70 දශකයෙන් පසුව අධ්‍යාපනයෙන් හඳුන්වාදෙන ප‍්‍රබුද්ධත්වය වෙනුවට සමාජයම වෙලා ගන්නා වාණිජවාදී රැුල්ල ඔස්සේ නවලිබරල් ආර්ථිකයේ පණිවුඩකරුවන් ලෙස සිය භූමිකාව පිහිටුවීමට ඔවුන්ට සිදුවේ.

මෙම කෙටිකතා සංග‍්‍රහයේ තේමාව සහිත ප‍්‍රබන්ධය වන ‘ගිහින් එන්න කානිවල්’ පිළිබිඹු කරන්නේ සිංහල බෞද්ධ කතිකාවේ මුදුන් මුලක් ලෙස සැලකෙන ‘දොන් ඬේවිඞ් හේවාවිතාරණ’ නොහොත් අනගාරික ධර්මපාල ගෙන ආ ජාතිකවාදී අදහස් පද්ධතිය සහ ඒ මත ජාතිකවාදී දෘෂ්ටියක් උසුලාගෙන යන වර්තමාන මැදපාන්තික සමාජ පැවැත්ම අතර ඇති විසඳිය නොහැකි පරතරයයි. මේ සඳහා ලේඛිකාව උත්ප‍්‍රාසවත් ලෙස භාවිතයට ගෙන තිබෙන්නේ අනගාරික ධර්මපාලගේ නිවස මිලදී ගෙන මේ වනවිට එහි පවත්වාගෙන යන ‘කානිවල්’ අයිස් ක‍්‍රීම් ව්‍යාපාරයයි.

කතාව ආරම්භක අවස්ථාවේම සිංහල බෞද්ධ ජාතිකවාදයේ රාජ්‍ය නියෝජිතයා ලෙස කිරුළු පළන් බණ්ඩාරනායකගේ පිළිමය, නවලිබරල් ධනවාදයේ ප‍්‍රතිඵලයක් ලෙස කොළඹ අහස උසට නැෙ`ගන දැවැන්ත ගොඩනැගිලි අතර කුඩා රූපයක් බවට සටහන් කරයි. අනගාරික ධර්මපාල ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වෙන සමස්ත ලංකා කථික තරගයේදී ධර්මපාලගේ චරිතය ඇසුරින් කතාවක් කරන්නට සූදානම් වන දරුවා සැබැවින්ම ජීවත්වන්නේ ඔහු ගෙන ආ පසුගාමී චින්තනයට ඉදිරියෙනි. ඔහු කටපාඩම් කරන සියල්ල ඔහුටම අමතක වේ. ව්‍යාපාරික ප‍්‍රභවයකින් සිය ජීවන පැවැත්ම සාක්ෂාත් කරගත් ධර්මපාල ස්වකීය වර්ගයා වෙනුවෙන් නිෂ්පාදනය කළ චින්තනය පවත්වා ගෙන යාම පිණිස ඊට සපුරාම පටහැනි, දෙබිඞ්ඩන් ලෙස සැළකිය හැකි, පරිභෝජනවාදී සාටෝපකාරී ජීවන පැවැත්මක් සහිත පන්තියක් සහාය කරගෙන තිබීමද සරදම් සහගතය. මාර්ටින් වික‍්‍රමසිංහ සාහිත්‍ය කතිකාවට නැංවූ එකී සිංහල බෞද්ධ සංස්කෘතික වටිනාකම් පවා හාස්‍යජනක ලෙස ඔවුන් සිය ‘ව්‍යාපාරික සැලසුම්’ සදහා උපයෝගි කරගන්නා ආකාරය ලේඛිකාව සටහන් කරයි.

විශේෂයෙන්ම මුස්ලිම් ප‍්‍රජාව සම්බන්ධව ධර්මපාල ගෙන ගිය සතුරු අදහස් පද්ධතිය අද දක්වාම සිංහල බෞද්ධ ජාතිකවාදී දේශපාලනයේ අනුග‍්‍රාහකයන්වන ව්‍යාපාරිකයන්, එනම් අපේ කාලයේ හේවාවිතාරණලා විසින් උපයෝගි කරගනී. මේ වනවිට සිංහල බෞද්ධ අන්තවාදය පෝෂණය කරමින් ව්‍යාපාරික ගැටුම් පවත්වාගෙන යමින් දේශපාලන ආධිපත්‍යයක් පිහිටුවන්නට උත්සාහ කළද ධර්මපාල බිහි කළ එකී ජාතිකවාදී කතිකාවේ ඇගයුම් පද්ධති පවා නව ලිබරල් ධනවාදය විසින් ගිල දමමින් තිබෙන ආකාරය කෙටිකතාවේ ගලා එන සංවාද තුළ ගැබ් වේ. මධ්‍යම පාන්තික නාගරික චරිත යොදාගෙන ධර්මපාල පිළිබඳ ප‍්‍රවාදයක් ඔවුන් නඩත්තු කරන්නට උත්සාහ කළද එය නිෂ්පලය. ධර්මපාලගේ නිවස, ඔහු විසින් ගර්හාවට ලක් කළ මුස්ලිම් ව්‍යාපාර ලෝකයේ සාමාජිකයකු අත්පත් කරගෙන ඇති ආකාරය ලේඛිකාව ‘කානිවල්’ කතාවෙන් නිරූපණය කරන්නේ සිංහල බෞද්ධ කතිකාවට ගැඹුරු උපහාසයකින් ප‍්‍රතිචාර දක්වමිනි.
මෙම කෙටිකතා එකතුවේ එන ‘මිදුණා මිදුණා! මනාව මිදුණා’ ප‍්‍රබන්ධය විසින් අප ජීවත්වන සමාජයේ ආගමික සංස්ථා විසින් පවත්වාගෙන යන තවත් කෘර පැතිකඩක් නිරාවරණය කරයි. නවලිබරල් සමාජ ආර්ථික පැවැත්මේ ප‍්‍රතිඵලයක් ලෙස පැන නගින ජනප‍්‍රිය බුද්ධාගම විසින් මනුෂ්‍ය සදාචාරය වෙනුවට ව්‍යාජ හා පරිභෝජන ආගමක් තුළ මිනිසා සිරගත කිරීම සහ එහි ඛේදජනක අත්දැකීම් මෙහෙණියකගේ මරණයෙන් කූටප‍්‍රාප්තියට නංවයි. එම කතාව පෙළ ගැස්වීමේදී වෙනස් ආකෘතියක් භාවිත කරමින් තේමාත්මක හරය කුළුගැන්වීමට ලේඛිකාව සමත් වේ. අප නිතර අසන දකින ජනප‍්‍රිය බෞද්ධ සිද්ධස්ථානයකට දානමය පිංකමකට සූදානම්වන පවුලක් අසල්වැසි ආරාමයේ වාසය කරන මෙහෙණියකගේ ජීවිතයෙන් කොතරම් දුරස්ථද යන්න සටහන් කරමින් කතාව ගලා යන අතර ගමේ මිනිසුන් පමණක් නොව ගමේ පන්සලේ නායක භික්ෂුව පවා ආගමේ කියැවෙන ඊනියා සදාචාරය වෙනුවට කට්ටිවාදී සංස්ථාපිතයක් හා ආධිපත්‍යයක් වෙනුවෙන් පෙනී සිටී.

ස්ත‍්‍රියක නිසාම පීඩාවට පත්ව සිටින මෙහෙණිය ආගමික විමුක්තිය පතා චීවරය දරා සිටියද එය ව්‍යාජයක් බව වටහාගන්නා අවස්ථාවේ සිය දිවි තොරකර ගැනීමෙන් ස්ත‍්‍රියට හිමිකර දී ඇති ඛේදවාචකය අවසන් නැති බව පෙන්වයි. ආගම ඇදහීම ‘සංවිධානාත්මක මෙහෙයුමක්’ ලෙස ඉටුකරන ගම්වාසින්ට සත්‍ය ජීවිතය හා බැඳුණු සදාචාරයක් මානුෂිකත්වයක් පිළිබඳ විශ්වාසයක් නැත. අරමුණක් ලෙසම ඔවුන්ට ඇත්තේ යම්කිසි ජනප‍්‍රිය රැුල්ලක් ඔස්සේ ආගම විසින් ජීවිතයට එක් කරන හරසුන් පැවැත්මක් ආරක්ෂා කිරීමය. එහි වෙනසක් සිදු කරන්නට මෙහෙණියගේ මරණය විසින් පවා දැනුමක් සම්පාදනය නොකරණ තරම් ව්‍යාජ විඥානයක ගම්වාසීන් ගිලී සිටින බව කෙටිකතාවේ අවසානය වනවිට පැහැදිලිව සටහන් වේ.
‘අග්නි පේ‍්‍රත වස්තුව’ නමැති කතාවෙන්ද ස්පර්ශ කරන්නේ ආගමික විශ්වාසයන් ජන ජීවිතයේ එක් එක් කාල වකවානුව තුළ ඇගයීම් මිනුම්දඩුවලට සාපේක්ෂව ස්ථාපිතවන හා ජිවන පැවැත්ම සම්බන්ධ කොන්දේසි නිසාම නැවත බිඳී යන ආකාරය පිළිබඳවය. දේව ප‍්‍රතිමාවක් ඇසුරෙන් කතාව ආරම්භ වන නමුත් ගමේ චරිත කිහිපයක් විසින් එම ප‍්‍රතිමාව පිළිබඳ පුරාවෘත්තය ගෙන හැර පෑමත් ‘පච්ච සෝමේ’ නමැති නොසැලකිල්ලට ලක් වූ ගම්වැසියකුගේ ඉරණමත් ඇසුරින් කතාව ගලා යයි. ආගම විසින් ශික්ෂණයක් වෙනුවට මිනිස් පැවැත්ම මත ව්‍යාජ තැවරුමක් ඇති කරන බවද එයින් මිනිස් ජීවිතයට කිසිදු සැනසීමක් ජනිත නොකරන බවද කෙටිකතාව ගෙන එන අදහසය.
මෙම කෙටිකතා අතර තවත් අපූරු කතාවක් ලෙස සැලකිය හැක්කේ ‘කළු පෙට්ටිය’ නමින් ඇති මිනිස් සබඳතා සහ ලිංගික සබඳතා අතර ගැටුම යම් තරමකට නිර්මාණාත්මක ලෙස සාකච්ඡුාවට ලක්කරන කතාවයි. රාජ්‍ය සේවකයකු ලෙස ගාල්ල ප‍්‍රදේශයෙන් නුවරඑළියේ කච්චේරියේ සේවයට යන නිලධාරියකුවන කුරුකුලසූරිය සිය ජීවිතයේ කාන්සිය ගෙවා දමන්නේ ස්ත‍්‍රී ඇසුර යහමින් සිදුකරමින් බව කතාවේ කියැවෙන සිදුවීම් ඇසුරින් හෙළිදරව් වේ. මාසයකට දෙවරක් නිවස කරා යන නමුත් ඔහු සිය සේවා ස්ථානයේ මෙන්ම සේවය ලබා ගන්නට එන ස්ත‍්‍රීන් අතුරින් ලිංගික සංතෘප්තිය සලසා ගනී. ඊට අමතරව මත්පැන් බීම පුරුද්දක් බවට පත්ව ඇති නිසා ඔහු අනතුරකට ලක්ව ගිලන් ජීවිතයක් කරන්නේ කොළඹ මහ රෝහලේ කළ සැත්කමකින් පසුවය.

එතැන් සිට සිය ජීවිතය ආවර්ජනය කරමින් සහ වාට්ටුවේ සිදුවීම් ඇසුරින් කුරුකුලසූරියගේ චරිතය අප වෙත කියාපාන්නේ රජයේ නිලධාරියකු වන ඔහු සාමාන්‍ය මනුෂ්‍යයකුගේ දැකිය හැකි ප‍්‍රතිවිරෝධතා රැුසක එකතුවක් බවය. එසේම එකී ප‍්‍රතිවිරෝධතා ඔහුට පමණක් ආවේණික ඒවා නොව අප ජීවත්වන සමාජයේ මිනිසුන් තුළ ඇති පීඩාවට සම්බන්ධ තත්වයක් බව පැහැදිලිය. එක් එක් ජීවිතවල එකතුවන කුණු කන්දල් සියල්ල එකවර පුලූස්සා දැමිය හැකි නම් ජිවිතය යළි අලූතින් ආරම්භ කළ හැකි වෙතැයි ඇතැම්හු විශ්වාස කරති. එහෙත් කුරුකුලසූරිය ‘කළුපෙට්ටිය’ ලෙසින් හඳුන්වා තම රහස් ඇති ලොකරයේ සියල්ල පුලූස්සා දැමීමට සුබ‍්‍රමනියම්ට නියෝග කළත් ඒවා තවදුරටත් යටපත් කළ නොහැකි මිනිස් පැවැත්මේ ස්වභාවයකි. අප ජීවත්වන සමාජයේ කොන්දේසි විසින් අප වෙත ගෙන එන එකී මිනිස් අගතීන් වෙනස් කිරීමේ අභිප‍්‍රායට වඩා ඒවා මත පැවතීමේ ලොල් බව බලවත්ය.

මෙම කෙටිකතා අතර ඇති ‘රාමු දෙකක කතාව’ විසින්ද ලේඛිකාව අවධානයට ලක් කරන්නේ සිංහලවාදී ජාතිකවාදී මතය සතු ව්‍යාජත්වයයි. ‘පුරන් අප්පු’ වෙනුවෙන් තැනු සිහිවටනයක් සහ ගවේශණාත්මක පුවත්පත්කලාවේදියකු ලබන අත්දැකීමක් පදනම් කරගෙන ඇය මායාමය ප‍්‍රබන්ධයක් ගොඩන`ගයි. එහෙත් මිත්‍යා කතාවක් පිළිබද විශ්වාසය ඔස්සේ යන්නට නොව ඇය පාඨකයා පොළඹවන්නේ සත්‍ය හා මිත්‍යාව අතර ඇති අපූරු ගැළපීමය. මුස්ලිම් විරෝධී සිංහල බෞද්ධයාට මෙහිදී ඇය නැවත වරක් සරදම් කරයි. මුස්ලිම් වේවා වෙනත් ජන ප‍්‍රජාවන් පිළිබඳ කාලාන්තරයක් ගොඩනගන අධිපති කතිකාවන් විසින් දේශපාලන පල නෙලා ගන්නේ පාලකයන්ය. එහෙත් එම ස්ථාවර කරනු ලබන පටු මිණුම් දඩු පුපුරුවා හැරීම එක් අතකින් දේශපාලන කාර්යයකි. එසේම කලාකරුවා සිය සමාජ ඥානය ඇසුරින් පිවිසිය යුතු කලාපයක් ලෙස සමාජ අවබෝධය පුළුල් කිරීමේ ව්‍යායාමය පිළිබඳ සුමුදු නිරාගී ලේඛිකාව දක්වන අරමුණු සහගත එළඹුම ප‍්‍රශස්තය.

මේ සමගම ඇයගේ කෙටිකතා පෙළ අවසන් කරන ‘පෙතියා’ කතාව සතු වෙනස් ආකෘතිය ද අවධානයට ලක් වේ. නිර්මාණකරුවා ගතානුගතික නිර්මාණ උපක‍්‍රම වෙනුවට අලූත් එළඹුම් හරහා සිය කාර්යය සපුරාලන්නට අභ්‍යාස කළ යුතු බවට කදිම නිදසුනක් එහි ඇත. එහිදී අප මතු කරන්නේ ප‍්‍රකාශනයේ ආකෘතිය විසින් දක්වන අපූරු බව පමණක් නොවේ. ප‍්‍රාදේශීය වැවක වාසය කරන මත්ස්‍යයකුගේ දෘෂ්ටිකෝණය ගෙන වැව ආශ‍්‍රිත මිනිස් ජීවිත දෙස සානුකම්පිත බැල්මක් හෙළයි. එසේම ආගන්තුක මැදපාන්තික පවුලකින් උපදවන සංකේතික ප‍්‍රබලතාද උපයෝගි කරගෙන ඇය මධ්‍යම පාන්තිකයන් පවත්වාගෙන යන පුහු සාටෝපයන් විසින් ඔවුන්ම ව්‍යාජ ජීවිතයකට කොටු වී ඇති ආකාරය පෙන්වයි. පෙතියා වැවේ වාසය කළ නිදහස් ජීවිතය නාගරික නිවසේ සිමෙන්ති පොකුණකට සිරකිරීමෙන් අවසන්වන ආකාරයටම මධ්‍යම පාන්තික පවුල් ජීවිතයේ කොටු පවුරට සිරවීමෙන් එම නිවැසියන් විඳින පීඩාවද ලේඛිකාව විසින් අනාවරණය කරයි.

මෙම කෙටිකතා කිහිපය විමසා බැලීමේදී විවිධ ප‍්‍රදේශ, විවිධ සමාජ තල සහිත අත්දැකීම් රාශිකරණය කරමින් ලේඛිකාව සිය නිර්මාණාත්මක පලදාව නෙලාගෙන ඇති බවක් පෙනී යයි. විශ්ව විද්‍යාල ආචාර්යවරියක ලෙස නිසැකවම ඇයට සමීප මධ්‍යම පාන්තික ජීවිතයේ සීමාවන් හා ඇය ජීවිතය තුළ අත්පත් කරගත් හා සාහිත්‍ය පරිශීලනයෙන් ගෙන ආ කලාත්මක ආභාසයන් කෙටිකතා පෙළෙහි ගැබ්ව ඇති බව පෙනේ. මෙම කෙටිකතා කියැවීමේදී හුදු නිර්මාණ පෙළක්, ජීවිත අත්දැකීම්වල පැතිකඩක් ලෙස හුවා දක්වනවාට වඩා වත්මන් සමාජ ජීවිතය හා එහි මිනිස් චර්යාවන්, සිතුම් පැතුම්, සබඳතා පිළිබිඹුවන කැඩපතක පිළිබිඹු ලෙස සැළකිල්ලට ගත යුතු බව අපේ යෝජනාවකි. එහිදී මාක්ස්වාදී සාහිත්‍යයේ අප නිතර උපුටා දක්වන අදහසක්ද සමීප කරගැනීම වඩා පුලූල් මානයකින් කෙටිකතා පෙළ වටහා ගැනීමට උපකාරි වනු ඇත.

”තම පැවැත්ම සමාජයීයව නිෂ්පාදනය කරගැනීමේදී මිනිස්සු අනිවාර්යයෙන්ම නිශ්චිත සබදතාවන්ට ඇතුළු වෙති. මෙම සබදතා, මිනිසුන්ගේ කැමැත්තට පරිබාහිර වන අතර නාමිකව දැක්වුව හොත්, නිෂ්පාදනයේදී ඔවුන් උපයෝගි කරගන්නා ද්‍රව්‍යමය බලවේගවල වර්ධනයේ දෙන ලද අදියරකට උචිත වන්නා වූ නිෂ්පාදන සබඳතා වෙයි. නිෂ්පාදනයෙහි මෙම සබඳතා සමස්තයෙන් සමාජයේ ආර්ථික ව්‍යුහය සමන්විත වෙයි. එම ආර්ථික ව්‍යුහය සැබෑ පදනම වන අතර එය මත නීතිමය හා දේශපාලනික උපරිව්‍යුහයක් ගොඩ නැංවෙයි. මෙම උපරිව්‍යුහයට සමාජ විඥාණයේ නිශ්චිත රූපාකාර අනුරූප වන්නේය. ද්‍රව්‍යමය ජීවිතය නිෂ්පාදනය කෙරෙන විධිය විසින් සමාජයීය, දේශපාලනික හා බුද්ධිමය ජීවිතයෙහි සාමාන්‍ය සන්තතිය සැකසෙයි. මිනිසුන්ගේ විඥානය විසින් ඔවුන්ගේ පැවැත්ම නිර්ණය නොකෙරේ. සමාජ පැවැත්ම විසින් ඔවුන් සතු විඥානය නිර්ණය කරනු ලැබේ.”
(කාල් මාක්ස් – ‘දේශපාලන ආර්ථිකය පිළිබඳ විවේචනයට දායකවීමක්’ කෘතියේ පෙරවදන)