Posted on 05.30.2020 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
ඩොලර් 20ක හොර නෝට්ටුවක් භාවිත කිරීමේ වරදට අත්අඩංගුවට ගත් කලු අමෙරිකානුවකු වධ බන්ධනවලට ලක්ව මිය යාමෙන් පසු අමෙරිකා ඒක්සත් ජනපදයේ ඇවිල ගිය විරෝධතා උත්සන්න වී ඇත.
ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමැති 46 හැවිරිදි මෙම පුද්ගලයා පසුගිය සඳුඳා (25)මිනියාපොලිස්හි පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් තිබිණි.
ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් රිය අසළ මාර්ගයේ බිම දමා ඔහුගේ ගෙල දණහිසෙන් තෙරපන පොලිස් භටයකුගේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. ඒහිදී ෆ්ලොයිඩ්, ‘මට හුස්ම ගන්න බෑ’ කියමින් කෙඳිරිාන ආකාරය අසන්නට ලැබේ. පොලිසිය වර්ගවාදී ආකාරයට කලු අමෙරිකානුවන්ට සැලකීමේදී සුලු වැරදිකරුවන්ට පවා මෙවැනි අමානුෂික වධ දීම හා වෙඩි තැබීම අමෙරිකාවේදී නිතර සිදුවන තත්වයකි. පොලිස් මර්දනයට විරෝධය පළකරමින් නිව්යෝර්ක්, ලොස් ඇන්ජලීස්, චිකාගෝ, ඩෙන්වර්, ෆීනික්ස් සහ මෙම්ෆිස් ඇතුළු ඇමරිකාවේ ප්‍රධාන නගර කිහිපයකම ජනතාව වීදී බැස විරෝධතා පැවැත්විණ. කෙන්ටකි ප්‍රාන්තයේ, බ්රෝනා ටේලර් ඝාතනය ඇතුළු පසුගිය කාලය පුරා සිදුවූ කළු ඇමරිකානුවන්ගේ ඝාතනය සම්බන්ධව ජනතාවගේ කෝපය එල්ල වී තිබේ.
ඇමරිකාවේ මිනෙසෝටා ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන මිනියාපොලිස් නගරයේදී තුන්වන දිනටත් පැවති විරෝධතා අතරතුර විරෝධතාකරුවන් පොලිස් ස්ථානයට ගිනි තබා ඇතැයි වාර්තා වේ.
අත්අඩංගුවේ පසුවූ නිරායුධ පුද්ගලයාගේ මරණයට සම්බන්ධ පොලිස් නිලධාරීන් සිව්දෙනකුට මිනීමැරුම් චෝදනා එල්ල කරන ලෙස මියගිය ජෝර්ජ්ගේ පවුලේ අය ඉල්ලා ඇත. මිනියාපොලිස්හි විරෝධතාකරුවන් විසිරුවාහැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කළේය. එහිදී සිදුවූ අනතුරු වලින් හත්දෙනකුට තුවාල සිදුවී ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.