Posted on 01.11.2021 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත් පෙළ with 0 Comments
හිටපු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය කිරී සම්බන්ධ චෝදනා ලැබ සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට ඒරෙහිව තවදුරටත් නීතිමය කටයුතු කිරීමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
මඩකලපුව මහාධිකරණයට නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධ කරුනු දැක්වීම අද(11) සිදුකළ බව වාර්තා වේ.
2005 දෙසැම්බර් 25 වන දින මඩකලපුව ශාන්ත මේරි දේවස්ථානයේ නත්තල් දේව මෙහෙය සඳහා සහභාගි වෙමින් සිටියදී දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරාරාජසිංගම් ඝාතනයට ලක් වූ අතර ඔහුගේ බිරිඳ ඇතුළු 8 දෙනකු තුවාල ලබා තිබුණි.
මේ සම්බන්ධ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගෙන ගිය විමර්ශන සළකා බලමින් අධි චෝදනා ඉදිරිපත් කිරීමේ වගකීම තිබුණේ නීතිපති දෙපාර්තමේන්තුවටය.
තමිල් මක්කල් විඩුතලයි පුලිහල් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන පිල්ලයාන්, ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධ චෝදනාවලට අත්අඩංගුවට ගැණුනේ 2015 රනිල්-මෛත්‍රි පාලනය විසිනි. එම ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම පිණිස පොලිසියට කැඳවන ලද ටීඑම්වීපී පක්ෂයේ හිටපු ජාතික සංවිධායක ප්‍රදීප් මාස්ටර් හෙවත් එඩ්වින් සිල්වා, ක්‍රිශ්නානන්දරාජා සහ ගජන් මාමා හෙවත් රංගසාමි කනගනායගම් 2015 දි අත්අඩංගුවට ගෙන රඳවා තබන ලදී.
සැකකරුවන් ප්‍රශ්න කිරීමේදී හෙළි කර ගත් තොරතුරු මත, පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය විසින් මඩකලපුවේ පිහිටි ඔහුගේ නිවසට ගියද එම අවස්ථාවේදී මගහැර ගිය ඔහු පසුව නීතිඥයකු මාර්ගයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී තිබුණි. වත්මන් ආණ්ඩුව ජයග්‍රහණය කළ පසුව නොවැම්බර් 24 වැනිදා පිල්ලයාන් මඩකලපුවේ මහාධිකරණ විශේෂ විනිසුරු ඩී. සූසයිදාසන් විසින් ඇප මත මුදා හරින ලදී.
ඔහු සමග පරරාජසිංහම් ඝාතනයේ සැකකරුවන් වන හිටපු පළාත් සභා මන්ත්‍රී ඒඩ්වින් සිල්වා හෙවත් ‘ප්‍රදීප් මාස්ටර්’, ක්රිෂ්ණනන්ද රාජා , කනකනායගම් හෙවත් ‘ගජන් මාමා’ සහ හිටපු හමුදා ඔත්තුකරුකු වන එම්.කලීල් සහ හිටපු හමුදා සෙබළ මධූසිංහ හෙවත් විනෝද් යන අයද මඩකලපුව මහාධිකරණය විසින් නිදහස් කරණ ලදී.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයකු වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්, විනයාගමුර්ති මුරලිදරන් හෙවත් ‘කරුණා අම්මාන්’ සමග 2004 අප්‍රේල් මාසයේදී එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් ඉවත් වී මහින්ද රාජපක්ෂ පාලනය විසින් ගෙන ගිය යුද්ධයේ සහායකයන් බවට පත් වූහ. පසුව, හිටපු ජනාධිපතිවරයා විසින් පිල්ලෙයාන්, නැගෙනහිර පළාතේ ප්‍රධාන ඇමතිවරයා ලෙස පත්කරන ලදී.