தமிழ்
English
Contact
Friday 14th May 2021    
ට්‍රම්‍ප් දෝෂාභියෝගය: අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රචණ්ඩ හෙට දවසක බිය පළ වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ට්‍රම්‍ප් දෝෂාභියෝගය: අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රචණ්ඩ හෙට දවසක බිය පළ වේ!



අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග යෝජනාව ජයග්‍රහණය කිරීමත් සමග එරට ඉතිහාසයේ දෝෂාභියෝග දෙකකට මුහුණ දීමට සිදු වූ ජනාධිපතිවරයා ලෙස ඔහු ඉතිහාසයට එක් වේ.

45 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් ගෙන ආ පළමුවැනි දෝෂාභියෝගයට මුහුණ දුන්නේ 2019 දෙසැම්බර් 18 වැනිදාය. එහිදී ඔහුට විරුද්ධ චෝදනාව වූයේ බලය අයුතු ලෙස භාවිත කිරීම හා ව්‍යවස්ථාදායක (කොංග්‍රසයේ) කාර්යයන්ට බාධා පැමිණවීමය. 2020 පෙබරවාරි 5 වැනිදා සෙනෙට් සභාව එම චෝදනා සම්බන්ධ තීන්දුව ප්‍රකාශ කරමින් ජනාධිපති ට්‍රම්ප් නිදහස් කළේ තියුණු ඡන්ද පරතරයකිනි.

දෙවැනි වරට ට්‍රම්ප් දෝෂාභියෝගයකට මුහුණ දෙන්නේ 2020 නොවැම්බර් 3 වැනිදා පැවති ඒක්සත් ජනපද මැතිවරණයේ ප්‍රතිඵලය පිළිනොගනිමින් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. ජනවාරි 6 වැනිදා සිය ආධාරකරුවන් සන්නද්ධ නැගිටීමකට මෙහෙයවීම හා එමගින් අමෙරිකා එක්සත් ජනපදය අනාරක්ෂිත තත්වයට ඇද දැමීම සම්බන්ධයෙන් වූ එම දෝෂාභියෝගය ජනවාරි 11 වැනිදා ව්‍යවස්ථාදායකයේ පහළ මන්ත්‍රි මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී. එහිදී රිපබ්ලිකන් පක්ෂයේ 10 දෙනකුගේද සහාය ගෙන 232-197 වශයෙන් දෝෂාභියෝගය සම්මත කෙරිණි. කෙසේවුවද එම දෝෂාභියෝගයේ චෝදනා විභාග කිරීමේ කාර්ය සඳහා දීර්ඝ කාලයක් ගතවන අතර එවැනි ක්‍රියාදාමයකින් වරදකරු කිරීමට සෙනෙට් සභාවේ 2/3 ඡන්දයක් අවශ්‍ය වේ.

ජනාධිපති ජෝ බයිඩන්ගේ ධුරකාලය පුරා ඇදී යා හැකි එවැනි විභාග කිරීමක් නිසා එක්සත් ජනපදය තවදුරටත් අරාජික ප්‍රචණ්ඩ පසුබිමක් වෙත ඇද දමනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති. ට්‍රම්ප් අනුගාමිකයන් හා ට්‍රම්ප් විරෝධීන් ලෙස ඒක්සත් ජනපද ජනතාව බෙදී වෙන්වීම සම්බන්ධවද අවධානය යොමුකළ යුතු බව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහසයි. ධුර කාලය අවසන් කළ ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් විභාග කිරීමේ අවශ්‍යතාව ප්‍රශ්න කරමින් ඔහු නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂය විසින්ද මේ තර්කය ගෙන ආවත් චෝදනා නැගීමෙන් පමණක් යුක්තිය ඉටු නොවන බව ඩිමොක්‍රටික් පක්ෂයේ අදහසයි. චෝදනාවලට වරදකරු වුවහොත් ට්‍රම්ප්ට සිරදඬුවම් මෙන්ම නැවත රජයේ කිසිදු වගකීමක් දැරිය නොහැකි තහනමක් ආදි වශයෙන් දණ්ඩන නියම කළ හැකිය.

මේ අතර ජනවාරි 20 දින එක්සත් ජනපදයේ ජයග්‍රාහී 46 වැනි ජනාධිපතිවරයා ධුරයේ වැඩ භාරගැනීමට සියලු කටයුතු සූදානම්කර ඇත. එ අතරම ට්‍රම්‍ප්ගේ ආධාරකරුවන් සන්නද්ධ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ප්‍රතිචාර දක්වනු ඇති බවට ඔත්තු සේවා අනතුරු අඟවා තිබේ. මේ වනවිට එරට සියලු ප්‍රධාන රාජ්‍ය ආයතන හා ප්‍රසිද්ධ ස්ථාන සන්නද්ධ ආරක්ෂකයන් යොදවා ඇති අතර සමස්තයක් ලෙස එක්සත් ජනපදයම යුද්ධයකට සූදානම් තත්වයකට ඇද වැටී ඇත.