தமிழ்
English
Contact
Friday 22nd November 2019    
තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන හැටි කවුරුවත් ප්‍රයෝගිකව කියලා නැහැ - කුමාර් ගුණරත්නම් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන හැටි කවුරුවත් ප්‍රයෝගිකව කියලා නැහැ – කුමාර් ගුණරත්නම්



ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශන ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න ගැන ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඒ තුළ අන්තර්ගත නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පවසයි. ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මුද්‍රිත වැඩපිළිවෙලයි ඔවුන් ක්‍රියාත්මක කරන දෙයි අතර වෙනස එසේම තිබියදීම වුවත් එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආකාරය ගැන ප්‍රයෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති බවයි. එසේම තම පක්ෂයේ ප්‍රතිපත්ති හරහා යෝජනා කරන්නේ ධනය සාමාන්‍ය ජනයාට බෙදා දෙන සරදියෙල් ක්‍රමයක් නොවන බවත් රට සංවර්ධනය කිරීමට බලාපොරත්තු වන්නේ විශාල සමාගම්, ධන කුවේරයන් ගොඩගසාගෙන සිටින ධනය ජනසතු කර එය නිෂ්පාදනයට එකතු කර එතැනින් උත්පාදනය කරන දෙයින් බවද කුමාර් ගුණරත්නම් මෙහිදී පැවසීය.

එසේම හරයෙන් සහ ගුණාත්මක වශයෙන් ගත් කල එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය, පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශන තුනම එක හා සමාන බව ද කුමාර් ගුණරත්නම් පැවසීය.

ඔහු පලකරන ලද සම්පුරණ අදහස පහත දැක්වේ

“දැනට ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙලා තියෙන අපේක්ෂකයන් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරලා තියෙනවා . එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන පෙරමුණ රටේ පාලන බලය හොබවපු කණ්ඩායම්. ඔවුන්ගේ ප්‍රතිපත්ති රට තුළ ක්‍රියාත්මක වුනේ කොහොමද කියන එක ගැන ජනතාවට අවබෝධයක් තියෙනවා. මේ ආණ්ඩුව 2015 ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම, මර්දන අනපනත් ගේන්න උත්සාහ කරපු ආකාරය ගැන අවබෝධයක් තියෙනවා. ඒවගේම මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථිකය හැසිරෙව්වේ කොහොමද කියන එක ගැන අවබෝධයක් තියෙනවා. ඔවුන් ඉදිරිපත් කරන මුද්‍රිත වැඩපිළිවෙලයි ඔවුන් ක්‍රියාත්මක කරන දෙයි අතර තියෙන වෙනස අපි අත්දැකලා තියෙනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ මිට පෙර ආණ්ඩු බලය හසුරවලා නැති පදනමෙන් ඉදිරිපත් වෙන්නේ. මේ ප්‍රතිපත්තිවල තියෙන ප්‍රශ්නේ වෙන එකක්. ඒවගේම මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක ගැන ප්‍රායෝගික වැඩපිළිවෙලක් නැහැ. අපේ රට ත්‍රිලියන 13ක් ණයයි. ඒ මුදල ගෙවන්නේ කොහොමද කියලා කතාවක් නැහැ. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණේ වැඩපිළිවෙල තුළ සෞඛ්‍යට, අධ්‍යාපනයට, ප්‍රවාහනයට මුදල් හොයාගන්න ක්‍රමවේදයක් නැහැ. හරයෙන් සහ ගුණාත්මක වශයෙන් ගත්තම මේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුනම එකයි.

අපේ වැඩපිළිවෙල ඔක්තෝමබර් 13ඉදිරිපත් කරා. අපේ ප්‍රතිපත්ති තුළ ගත්තොත් පාලකයෝ ගත්ත ණය කන්ද ගෙවන්න අපි ලෑස්ති නැහැ. මේ ණයවලින් රටේ ජනතාවගේ සුබ සිද්ධිය ඉටුවෙලා නැහැ. අපි මේ රට සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙන්නේ විශාල සමාගම්, ධන කුවේරයන් ගොඩගසාගෙන ඉන්න ධනයෙන්. ධන කුවේරයන්ගේ ධනය සාමාන්‍ය පොදු ජනතාවට බෙදා දෙන සරදියෙල් ක්‍රමයක් නෙමෙයි අපි යෝජනා කරන්නේ. මේ තියෙන ධනය රටේ ජන සහභාගී ආර්ථිකයක් ගොඩනගන්න පවිච්චි කරනවා. මාධ්‍ය පරිමාණ, සුළු පරිමාණ කර්මාන්ත සියල්ල ජනසතු කරනවා කියලා ඒකෙන් කියවෙන්නෙ නැහැ. අසාධාරණ ලෙස ගොඩ ගසා තියෙන මූල්‍ය සමාගම්, බැංකු ඇතුළු මහා පරිමාණ සමාගම්වල ධනය ජනසතු කර නිෂ්පාදනයට එකතු කරලා එතැනින් උත්පාදනය කරන දෙයින් තමයි රටේ ප්‍රශ්නය විසඳන්නේ. මේ කියන කාරණය ඍජුව නොකියා අපිට සුරංගනා ලෝකයක් මවන්න බැහැ. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලිකව ගොඩනැගිලා තියෙන මහා ධනස්කන්ධයට අත තියන්නෙ නැහැ. ඔවුන් අධිරාජ්‍යවාදය ගැන වචනයක් සඳහන් කරන්නේ නැහැ. චීනය ඇමරිකාව වගේ ආර්ථික බලවතුන් එක්ක ගැටෙන්නේ නැතිව ස්වාධීන ආර්ථිකයක් ගොඩනගන්න බැහැ. අපි මේකට මුහුණ දෙන්න බලාපොරත්තු වෙන්නේ අපේ රටේ මිලියන 21ක ජනතාවත් එක්ක. සාධාරණ වෙළඳ ප්‍රතිපත්තියක් මත පදනම් වෙලා අපිට ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. දැනට තිබුණු ආණ්ඩු වගේම ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කරලා තියෙන ආකාරයට අසාධාරණ කොන්දේසි යටතේ වෙළඳ ප්‍රතිපත්ති පවත්වාගෙන යාමත් අපි ප්‍රතික්ෂේප කරනවා.”