தமிழ்
English
Contact
Friday 27th May 2022    
තමනුත් නොදන්නා ගෝලීය විපරීතයකින් බැටකන දැදුරු ඔය අසබඩ වැසියෝ ... | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තමනුත් නොදන්නා ගෝලීය විපරීතයකින් බැටකන දැදුරු ඔය අසබඩ වැසියෝ …



සුපුන් ළහිරු ප්‍රකාශ්, දීර්ඝකාලයක් ලංකාවේ පුවත්පත් මාධ්‍ය තුළින් පාරිසරික සංරක්ෂණයේ වැදගත්කම, වනජීවි සංරක්ෂණය මෙන්ම මිනිසා සහ පරිසරය අතර තිරසාර සහජීවනයක් වෙනුවෙන් පෙනී සිටින්නෙකි.
ඔහු මෙම ලිපියෙන් කාලගුණ විපත් හා පාරිසරික පැවැත්ම පිළිබඳ අපගේ අවධානය යොමු කරයි.


This reporting work was funded by the Earth Journalism Network’s Environmental Reporting in Sri Lanka Story Grants – 2021.

දැදුරු ඔය ශ්‍රී ලංකාවේ සයවැනි විශාලතම ජල පෝෂක ප්‍රදේශය හිමි ගංගාවයි. එහි විශාලත්වය වර්ග කිලෝමීටර් 2,623කි. මධ්‍යම පළාතේ නැගෙනහිර මායිමෙන් ආරම්භ වන දැදුරුඔය මහනුවර, මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක පසුකර මහා ජල කඳක්ව වැඩී කිලෝමීටර් 115 ක දුරක් ගෙවා පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් සයුර සිප ගනියි. තම ගමන් මගේ හමුවන ගම් – නියංගම් වල ජනයාගේ දුක්ක දෝමනස්සයන් තමන්ට හැකි ආකාරයෙන් අකාමකා දැමීමට දැදුරු ඔය මගින් ඉටුවන මෙහෙය අපිරිමිතය. නමුත් ඉඳ හිට ඒ දැදුරු ඔයම තමන් එකතු කරගත් දුක් කඳ දෙගොඩ තලා යන්නට ඉඩ හරින්නේ පහළ ජලාධාර ප්‍රදේශයේ ජන ජීවිත කඳුළු සයුරේ ගිල්වමිනි. දැදුරු ඔය අසබඩ පහළ මිටියාවතේ අටලෝ දහමින් සැලි සැලී ජීවත්වෙන සිය දහස් ගණනක් මිනිසුන්ට ගංවතුර විමතියට කරුණක් නොව, තම ජීවිතයේම කොටසකි. නමුත් අභාග්‍ය නම් අතීතයේ ඉඳ හිට දෙගොඩ තලා ගිය දැදුරු ඔය ඒ ගම්මුන්ද නොදන්නා මොකද්දෝ විපරීතයක් හේතුවෙන් මේ වැට විට නිතර නිතර රුදුරු වෙමින් ජනයා පීඩාවට පත්කිරීමය.

එස්.ඒ.එම්. කීර්තිරත්න

සාමවිනිසුරු එස්.ඒ.එම්. කීර්තිරත්න (70) මහතා දැදුරු ඔය අසබට මහවිලත්තව, ලක්ෂ්මිවත්තේ පදිංචි වෙළඳ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ මතකයේ හැටියට 1957 වසරේ ගැලූ මහා ගංවතුරේ සිට මේ දක්වා අතීතයේ ගංවතුර ගැලූ වාර ගණන එන්න එන්නම වැඩි වෙමින් පවතී. මේ වන විට වරක් ගංවතුර ගලා බැස ගිය පසු මිනිසුන් තම ගේදොර සෝදා පිරිසිඳු කරගෙන නැවත සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කිරීමට සූදානම් වන විටම නැවතත් නොදැනුවත්වම පැමිණෙන ගංවතුරේ ගොදුරක් බවට පත්වීමට ඔවුනට සිදුවේ. එසේ අවස්ථා ගණනකදී ගංවතුර ගැලීම හේතුවෙන් ඔවුන්ට නැවත යතා තත්වයට පත්වීම සඳහා වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. තම ගොවිතැන් සහ අනෙකුත් ජීවනෝපාය පවත්වා ගැනීමට අපහසු වීමෙන් ඔවුන් දැඩි අසරණතාවයට පත්වේ.

කීර්තිරත්න මහතා වැඩි දුරටත් පවසන්නේ අතීතයේ තමන් අවට පරිසරය ගංවතුර ඇතිවීම පිළිබඳව තමන්ට අනාවැකි කීවද වෙනස්වන පරිසරය විසින් එම අනාවැකිද ගොළුකර ඇති බවයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු ඇරීම පිළිබඳව ජනතාව දැනුම්වත් කලද ප්‍රාදේශීය වශයෙන් සිදුවන ජලගැලීම් වල විෂමතා අනාවැකි වලට ග්‍රහණය කරගැනීම පහසු කටයුත්තක් නොවේ.

ආර්.එම්. එරන්ද සංජීව

වෘත්තීයෙන් රියදුරෙකු වන ආර්.එම්. එරන්ද සංජීව (43) මහතා කරඹලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. “මම අවුරුදු 40ක් විතර මේ ගමේ පදිංචියි. අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ගංවතුර.  2012 ට කළින් අවුරුදු දෙක තුනකට සැරයක් තමයි මේ පැත්තට ගංවතුර ආවේ. ඒ ගංවතුර වටේට තියෙන පහත්බිම්, ඇළමාර්ග වලින් ගලාගෙන ගියාට අපට හානියක් වුණේ නැහැ. ඒ නිසා අපි හිටියේ අපේ ඉඩම් උසයි කියන මතයේ. නමුත් දැන් අවුරුද්ද ගානේ මෙහෙට දැදුරු ඔය ගලනවා. අපේ ඉඩමුත් යට වෙනවා. ගිය අවුරුද්දේ (2021) එකම මාසේ දෙපාරකට දැදුරු ඔය ගැලුවා. ඉස්සර දැදුරු ඔයෙන් පිට දැම්මහම වතුර මේ පැත්තට එන්න පැය පහළොවක් විස්සක් ගත වෙනවා. දැන් එහෙම නැතුව ක්ෂණිකව මේ පැත්ත යට වෙනවා. එතකොට අපිට ගෙවල්වල බඩුමුට්ටු අස්කරගෙන ආරක්ෂාව තියෙන තැනකට යන්න කල් මදි වෙනවා. ඒ වතුරෙන් කුඹුරු ගොවිතැන් වලට හානි වෙනවා. මෙහෙ විශේෂයෙන් පලා වර්ග වගා කරනවා. ඒ එන වතුරට මුගුණුවැන්න පාත්ති වල මුලේ ඉඳන්ම ගලෝගෙන යනවා.”

සරිබ් අබුල් හසන් සිත්ති රසීනා

සරිබ් අබුල් හසන් සිත්ති රසීනා (53) දැදුරු ඔය ග්‍රාමයේ පදිංචි සමාජ සේවිකාවකි. දැදුරු ඔය මෝයට ඉතා ආසන්නව පිහිටි ඔවුන්ගේ ගම්මානයට වසරකට වරක් ගංවතුර ගැලීම සාමාන්‍ය තත්ත්වයකි. නමුත් ඇයට අනුව ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ පමණක් ඔවුන්ට වාර තුනකදී දැදුරු ඔය රුදුරු වීමෙන් පීඩාවට පත්වීමට සිදුවිය. ඇය වැඩි දුරටත් පවසන්නේ අතීතයේ ඔවුන් ගංවතුර ගලන කාලසීමාවන් පිළිබඳව අවබෝදයක් සහිතව පෙර සුදානමින් සිටි බවය. නමුත් මේ වන විට වර්ෂාපතන රටාවේ සිදුවී ඇති වෙනස්කම් හේතුවෙන් ගංවතුර ගලන ආකාරයේද වෙනස්කම් ඔවුන්ට අත්දකින්නට ලැබී ඇති අතර එහි ප්‍රතිපලයක් ලෙස අනපේක්ෂිත ගංවතුර ආපදාවන්ට ඔවුන්ට මුහුණදීමට සිදුව තිබේ.

කඹුරාදෙණියේ ඥණතිස්ස හිමි

මේ සම්බන්ධයෙන් සිප්පිකලාන, ශ්‍රී වජිර ඥණාරාමයේ විහාරාධිපති කඹුරාදෙණියේ ඥණතිස්ස හිමියන්ද (56) අප සමග අදහස් දැක්වීය.

“මේ ප්‍රදේශයේ පරිසරයේ උෂ්ණත්වය වේගයෙන් ඉහළ යමින් පවතිනවා, වර්ෂාව අපිළිවෙලයි. ගංවතුර තර්ජන වලට නිතර නිතර ලක් වෙනවා. දරාගත නොහැකි උෂ්ණත්වයක් පවතිනවා. ඒ නිසා හුස්ම ගන්නත් අපහසුයි. වනාන්තර විනාශය වගේම මේ ප්‍රදේශයේ පොල් ඉඩම් කට්ටි කර විකිණීමත් මීට හේතුවක්. මේ ප්‍රශ්නය මුළු ලංකාවටම බලපානවා. වනාන්තර විනාශකළ පුද්ගලයින්ට උල තියනවා කියලා බලයට පත්වුණු ආණ්ඩුවත් වනාන්තර විනාශ කරනවා. වන සංරක්ෂණ නිලධාරීන් නිහඬයි. බලවතුන් තමන්ගේ බලය යොදාගනිමින් වනාන්තර විනාශ කරනවා. දැන් සමහර මාධ්‍යවලත් වනාන්තර කපනවා පෙන්වන්නේ නැහැ.”

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය එස්. බී. වීරකෝන් මහතා ඇතුළු විද්‍යාඥයින් පිරිසක් විසින් සංගෘහිත Integrated Water Resources analysis of the Deduru Oya Left Bank considering traditional and modern systems විද්‍යාත්මක පත්‍රිකාවට අනුව දැදුරු ඔය  නිම්නයේ වර්ෂාපතනය සැලකිය යුතු කාලීන හා අවකාශීය උච්චාවචනයක් පෙන්නුම් කරයි. වාර්ෂික වර්ෂාපතන පරාසය ඉහළ ජලාධාර ප්‍රදේශයේ මිලිමීටර් 2600 සිට පහළ ජලාධාර ප්‍රදේශයේ මිලිමීටර් 1100 දක්වා වෙනස් වේ. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1600ක් පමණ වන අතර වියළි මාසයකදී මිලිමීටර් 50 සිට තෙත් මාසයකදී මිලිමීටර් 280 දක්වා පරාසයක පවතී. වාර්ෂික වර්ෂාපතනයෙන් 50% පමණ අන්තර් මෝසම් මාසවලදී (මාර්තු, අප්‍රේල්, ඔක්තෝබර් සහ නොවැම්බර්) ලැබෙන අතර, නිරිතදිග මෝසම් මාසවලදී (මැයි සිට සැප්තැම්බර් දක්වා) 35%ක් පමණද, ඉතිරි 15% ඊසානදිග මෝසම් මාසවලදී (දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා) ලැබේ. දැදුරු ඔය මගින් වාර්ෂිකව මුහුදට මුදාහරින ජලය ප්‍රමාණය ඝන මීටර් මිලියන 1600ක් පමණ වේ.

දැදුරුඔය ද්‍රෝණියේ සිතියම, ගංවතුර අවධානම් ප්‍රදේශ එහි තැඹිලි පැහැයෙන් සටහන්කර ඇත. නිල් පැහැයෙන් දැක්වෙන්නේ දැදුරුඔය ජලාශයයි.

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයට අනුව දැදුරුඔය හරස්කර ඉදිකෙරුණු ජලාශය මගින් මේ වන විට ඉඟිනිමිටිය සහ මාගල්ල ජලාශ වලට අමතරව වාරියපොල, කොටවෙහෙර, කොබෙයිගනේ සහ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කුඩා වැව් 300කට පමණ දියවර සැපයේ. එමගින් හෙක්ටයාර් 30,000කට අධික ගොවිබිම් ප්‍රමාණයක් යල-මහ දෙකන්නයෙහිම වගා කිරීමට මග පෑදේ. මීට අමතරව දැදුරුඔය පානීය ජල ව්‍යාපෘතිය මගින් පවුල් 3000කට පානීය ජල ප්‍රතිලාභ හිමිවේ. එමගින් ගංවතුර පාලනයටද යම්කිසි කාර්යභාරයක් සිදුවේ. නමුත් දැදුරුඔය පහළ ජලාධාර ප්‍රදේශයේ පිහිටි ගම්මාන වල ජීවත්වන ජනතාවට පෙර නොවූවිරූ ආකාරයේ ගංවතුර තර්ජනවලට මුහුණදීමට සිදුවීම පාලනය කිරීම සඳහා එය කොතරම් පොහොසත්ද යන්න ගැටළු සහගතය.

එසේම ගම්මුන්ට අනුව අතීතයේ ඉඳ හිට ඔතාරේ දැමූ (ගංවතුර ගැලීමට මෙම ප්‍රදේශයේ භාවිතාවන ප්‍රාදේශීය ව්‍යවහාරයකි) දැදුරුඔය මේ වන විට වැඩි වාර ගණනක් එසේ සිදු කරන්නට, පෙර ගංවතුර අවදානමට මුහුණ නොදුන් ප්‍රදේශ වලට එම අවධානම ව්‍යාප්ත වන්නට, වර්ෂාපතන රටාව වෙනස්වී ගංවතුර ගැලීමේ ස්වරූපය වෙනස් වන්නට කුමක් හෝ විශාල විපරීතයක් බලපා ඇති බව නම් පැහැදිළිය.

දේශගුණ විපර්යාස හේතුවෙන් එල්ලවන බලපෑම් නිසා මෙම මිහිතලය මත ජීවත්වීම  1970 දශකයට වඩා පස් ගුණයකින් අවධානම් සහගතවී ඇති බව වාර්තාවක් එළි දක්වමින් ලෝක කාලගුණ සංවිධානය (World Meteorological Organization) ප්‍රකාශ කරන්නේ මෙවැනි පසුබිමකය. 1970 දශකයේ ගංවතුර, නියඟ, කුණාටු හා ලැව්ගිනි වැනි විපත් 743ක් මගින් පෘථිවියේ ජනතාවට බලපෑම් එල්ලවී ඇති අතර විසිඑක්වැනි සියවසේ මුල් දශකය වනවිට එම විනාශයන් ප්‍රමාණය 3496ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම සංවිධානය අනාවරණය කරයි. ඒ සඳහා දේශගුණ විපර්යාසය සෘජුව වග කිව යුතු බව ඔවුන් තහවුරු කර තිබේ.

එක් එක් දශකය තුල සිදුවූ විවිධ වර්ගයේ අපදා සංඛ්‍යාවන් (යතුර: තද නිල් = ගංවතුර, ලා නිල් = තෙත් ස්කන්ධ ප්‍රවාහ, කොළ = කුණාටු, කහ = නියඟය, රතු = අධික උෂ්ණත්වය, තැඹිලි = ලැව්ගිනි මූලාශ්‍රය: ලෝක කාලගුණ සංවිධානය)

ගංවතුර, නියං, නාය යාම්, කුණාටු වැනි විපත් වලින් ශ්‍රී ලංකාවේ අපටත් මේ වනවිට නිරන්තරයෙන් අමිහිරි අත්දැකීම් වලට මුහුණදීමට සිදුවන බව නොරහසකි. දැදුරුඔය අසබඩ වැසියන්ටද මේ වන විට මුහුණදීමට සිදුවන අමිහිරි අත්දැකීම් වලට හේතුවී ඇති ඒ ගෝලීය විපරීතය අන් කිසිවක් නොව දේශගුණ විපර්යාසයමය. දේශගුණ විපර්යාසය හේතුවෙන් පරිසර උෂ්ණත්වය ඉහළ යාම නිසා වායු ගෝලයට වාෂ්පීකරණය වන ජලය ප්‍රමාණය ඉහළ යන අතර එමගින් බරපතල කුණාටු හා සුළිසුලං ඇති වන බව ලෝක කාලගුණ සංවිධානය පෙන්වා දෙයි. වායුගෝලයේ හා සාගර මතුපිට උෂ්ණත්වය ඉහළ යාම මගින් සුළං වේගය වැඩිවීම නිවර්තන සුළි කුණාටු වල විනාශකාරී බලය ඉහළ යාමට හේතුවී ඇති බවට මේ වන විට සාක්ෂි ලැබී තිබේ. සුළිසුලං හා චණ්ඩමාරුත මගින් ලොව පුරා විවිධ රටවලට විශාල ආර්ථික බලපෑම් එල්ලකර ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයට පවා බරපතලම ආර්ථික බලපෑම් එල්ලකරන ලද ස්වභාවික විපත් පහම සුළිසුලං බව කිවහොත් බොහෝ දෙනෙකු විමතියට පත්වීමටද පිළිවන. දැදුරුඔය දෑලේ එම ගෝලීය විපර්යාසය නිරූපණය වන්නේ ගංවතුර උවදුර උත්සන්නවීමක් ලෙසය. 

ගංවතුර, නියං, නාය යාම්, කුණාටු වැනි විපත් වලින් ශ්‍රී ලංකාවේ අපටත් මේ වනවිට නිරන්තරයෙන් අමිහිරි අත්දැකීම් වලට මුහුණදීමට සිදුවන බව නොරහසකි. දැදුරුඔය අසබඩ වැසියන්ටද මේ වන විට මුහුණදීමට සිදුවන අමිහිරි අත්දැකීම් වලට හේතුවී ඇති ඒ ගෝලීය විපරීතය අන් කිසිවක් නොව දේශගුණ විපර්යාසයමය. දේශගුණ විපර්යාසය හේතුවෙන් පරිසර උෂ්ණත්වය ඉහළ යාම නිසා වායු ගෝලයට වාෂ්පීකරණය වන ජලය ප්‍රමාණය ඉහළ යන අතර එමගින් බරපතල කුණාටු හා සුළිසුලං ඇති වන බව ලෝක කාලගුණ සංවිධානය පෙන්වා දෙයි. වායුගෝලයේ හා සාගර මතුපිට උෂ්ණත්වය ඉහළ යාම මගින් සුළං වේගය වැඩිවීම නිවර්තන සුළි කුණාටු වල විනාශකාරී බලය ඉහළ යාමට හේතුවී ඇති බවට මේ වන විට සාක්ෂි ලැබී තිබේ. සුළිසුලං හා චණ්ඩමාරුත මගින් ලොව පුරා විවිධ රටවලට විශාල ආර්ථික බලපෑම් එල්ලකර ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයට පවා බරපතලම ආර්ථික බලපෑම් එල්ලකරන ලද ස්වභාවික විපත් පහම සුළිසුලං බව කිවහොත් බොහෝ දෙනෙකු විමතියට පත්වීමටද පිළිවන. දැදුරුඔය දෑලේ එම ගෝලීය විපර්යාසය නිරූපණය වන්නේ ගංවතුර උවදුර උත්සන්නවීමක් ලෙසය. 

නමුත් අවාසනාවට කරුණ නම් තමන්ගේ ජන ජීවිතයට මෙතරම් බලපෑම් කරන දේශගුණ විපර්යාසය පිළිබඳව මෙරට වැසියෝ අඩු අවබෝධයක් ඇත්තන් වීමය. දැදුරුඔය අසබඩ හලාවත සහ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ගම්මාන දහයක පදිංචිකරුවන් 146 දෙනෙකුගේ අහඹු නියැදියකින් ලබාගත් දත්ත අනුව  ඔවුන්ගෙන් සියයට හැත්තෑ හතයි දශම හතරක් (77.4%) දේශගුණ විපර්යාසය යන වචනය අසා තිබේ. නමුත් තමන්ට දේශගුණ විපර්යාසය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් තිබේයැයි සිතා සිටියේ මුළු නියැදියෙන් සියයට පනස්හතරයි දශම අටක් (54.8%) පමණි. තවද දේශගුණ විපර්යාසය යන්න තමන්ගේ වචනයෙන් විස්තර කරන්නට හැකියාව තිබුණේ සමස්ත නියැදියෙන් සියයට දෙකකට (2%) පමණි.

දේශගුණ විපර්යාසය පිළිබඳ දැනුම සමීක්ෂණය (නියැදිය=146)

කුඩා නිවර්තන කලාපීය දූපත් රාජ්‍යක් ලෙස සහ දේශගුණික අවදානම් දර්ශකයේ ඉහළ ස්ථානයක සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම් වලට නිරන්තරයෙන් ගොදුරු වෙමින් පවතින බව පරිසර අමාත්‍යාංශයේ දේශගුණ විපර්යාස ලේකම් කාර්යාලය මගින් සකස්කර ඇති ‘ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාසය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’ මගින්ද අවධාරණය කරයි. දේශගුණික විපර්යාස අවම කිරීම, අනුහුරුවීම සහ අලාභ හා හානි පූර්ණය පිළිබඳව පොදු ජනතාවට හොඳ දැනුමක් නැත. දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව වැනි වඩාත් තාක්ෂණික කරුණු ගැන කිසිසේත්ම අදහසක් නොමැති බව පැහැදිලි ය. ඊට හේතුව සිංහල සහ දමිළ බසින් සන්නිවේදන කරන මෙරට සාතිශය බහුතරයක් ජනතාවගේ දේශගුණ සාක්ෂරතාවය ඉතා පහළ මට්ටමක පැවතීමය. දේශගුණික විපර්යාස පිළිබඳව දැන ගැනීමට සිංහල සහ දමිළ භාෂාවන්ගෙන් සන්නිවේදනය කරන පොදු ජනතාවට ඇත්තේ ඉතා සීමිත අවස්ථාවන් ය. දේශගුණික දැනුම බොහෝ දුරට ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් වන අතර සිංහල භාෂාවෙන් විශ්වාසදායක හා යාවත්කාලීන දේශගුණික තොරතුරු නොමැති වීම හෝ සීමිත ප්‍රවේශයක් තිබීම ගැටළුවකි. ශ්‍රී ලංකාවේ දේශගුණික සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා භාෂාව ප්‍රභල බාධාවකි. ඇතැම් ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය පවා ‘දේශගුණ විපර්යාසය’ යන වදන වෙනුවට ‘කාලගුණ විපර්යාසය’ යන වදන භාවිතා කරනු ලියුම්කරු ඕනෑ තරම් අසා දැක තිබේ. නමුත් එකී ‘කාලගුණ විපර්යාසය’ යන වදනට කිසිඳු අරුතක් ඇත්තේ නැත.

හේමන්ත විතානගේ

පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා ප්‍රකාශ කළේ “ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ප්‍රධාන ගංගා එකසිය තුනම මේ වනවිට දේශගුණ විපර්යාසයට නොයෙකුත් ආකාරයෙන් මුහුණදීලා තිබෙනවා. දැදුරුඔය නිම්නයේ මේ වන විට ගංවතුර ප්‍රශ්නය ඉහළ යාමටත් එක් හේතුවක් විදිහට දේශගුණ විපර්යාසය ඉතා පැහැදිලිව සඳහන් කරන්න පුළුවන්. දැදුරුඔය වගේම දිවයිනේ විවිධ ස්ථාන වල ජනතාව විමසූ විට ඔවුන් පිළිගන්නවා දේශගුණයේ යම්කසි  වෙනස්වීමක් සිදුවී ඇති බව. වර්ෂාව ප්‍රමධවීම, වියළි කාලගුණ තත්වයන් වැඩි වීම, සර්පයන් සහ මදුරුවන් වැනි සතුන් පෙර වාර්තා නොවූ ප්‍රදේශ වල වාර්තාවීම ඔවුන් නිරීක්ෂණය කර ඇති එවැනි වෙනස්කම. නමුත් මේ සියල්ල ලොව පුරා සිදුවන දේශගුණ විපර්යාසයේ බලපෑම් කියන දේශගුණ සාක්ෂරතාවය ඔවුන්ට ඇත්තේ නැහැ”

නමුත් එකී ජනතාව තුල දේශගුණ විපර්යාසය කෙරෙහි ඇති දැනුම සහ ආකල්ප ඉහළ නැංවීමට අප කටයුතු කළයුතුව ඇත. මේ වන විට අගනුවරට පමණක් සීමාවී ඇති දේශගුණ ක්‍රියාකාරීත්වය දැදුරුඔය අසබඩ මෙන්ම දිවයින පුරා පැතිරුණු එවැනි ගම් නියංගම් පුරා විහිදී යන්නේ එවිටය. දේශගුණ විපර්යාසයේ අඳුරු බලපෑම් වලින් මිදීමට අවශ්‍ය හරිතාගාර වායු විමෝචන කප්පාදු ඉල්ලා ජනතාව අරගල කරනුයේ එවිටය. තමන්ගේ ජීවන රටාවන් දේශගුණ විපර්යාසයේ බලපෑම් වලින් ආරක්ෂා කිරීමට අවශ්‍ය අනුහුරුවීම් ඉල්ලා හඬ නගනුයේ එවිටය. ජනතාව සෘජුව අත්විඳිමින් සිටින නමුත් ඇසට නොපෙනෙන මේ මහා විපත ඔවුන්ගේ ඇස් මානයෙන් සඟවා තැබීමට, ජනතාව දැනුමින් අන්ධ කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින්නේ එබැවිණි. එය ශ්‍රී ලංකාවට පමණක් නොව, එවැනි සදාකාලිකව සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවලට පොදු ධර්මතාවයක් ලෙස ලියුම්කරු සිතමි. ඒ කඩතුරාවන් ඉවත්කර දමා විවෘත දෑසින් මේ ගෝලීය අභියෝගය දකින්නටත්, ඊට එරෙහිව කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීමටත් ජනතාව දක්වන උනන්දුව මේ මිහිතලයේ ජීවී ප්‍රජාවන්ගේ අනාගත යහපැවැත්ම තීරණය කරනු ඇති බව අවසන් වශයෙන් ලියා තබනු කැමැත්තෙමි.

සුපුන් ළහිරු ප්‍රකාශ්