தமிழ்
English
Contact
Friday 22nd November 2019    
තමිල්නාඩු වලේ වැටී සිටි දරුවා මිය යයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තමිල්නාඩු වලේ වැටී සිටි දරුවා මිය යයි!



ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ගැඹුරු වළක සිරව සිටි දෙහැවිරිදි සුජිත් විල්සන් දරුවා ජීවිතක්ෂයට පත් වූ බව ඉන්දීය මාධ්‍ය  වාර්තා කරයි.
රාත්‍රි සහන සේවකයන්ගේ මහත් වෑයමකින් ළිඳෙන් ගොඩගත් දරුවාගේ සිරුර තමිල්නාඩුහි මනප්පාරෙයි රජයේ රෝහලට ගෙනගොස් ඇත.
තමිල්නාඩු ආදායම් පරිපාලන කොමසාරිස් ජේ. රාධක්‍රිෂ්ණන් අද(29) අලුයම මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ දරුවා නිරුප්‍රදිතව ගොඩට ගැනීම සඳහා ගනු ලැබූ සියලු ප්‍රයත්නයන් අසාර්ථකවූ බවයි. දරුවා වැටී සිටි ළිඳෙන් ඊයේ රාත්‍රී දුර්ගන්ධය දැනුනු බවත් එයින්පසු දරුවා මියගොස් ඇති බව තීරණය කළ බවත් හෙතෙම වැඩිදුරටත් පවසා ඇත. දරුවාගේ සිරුර බෙහෙවින් දිරාපත්වූ තත්ත්වයක පවතින බවත් ඡායාරූප පසුව නිකුත් කරන බවත් ඔහු පවසයි. 
තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුචිරප්පල්ලි ආසන්නයේ පිහිටි මෙම පටු ළිඳේ අඩි 70ක් පමණ ගැඹුරේ සුජිත් විල්සන් නැමැති දරුවා සිරවී සිටියේ ය.
ඉන්දියාවේ 300ක පමණ මුදවාගැනීමේ කණ්ඩායමක් පැය 80කට වැඩි කාලයක් තිස්සේ දරුවා ගලවා ගැනීම සඳහා ප්‍රයත්න දැරූහ.
පසුගිය සිකුරාදා(25) පස්වරුවේ එම ළිඳ පිහිටි ස්ථානය ආසන්නයේ තවත් දරුවන් කිහිපදෙනකු සමග ක්‍රීඩා කරමින් සිටි සුජිත් දරුවා ළිඳට වැටී තිබූ අතර ඒ මොහොතේ සිට ක්‍රියාත්මක වූ ජීවිතාරක්ෂක කණ්ඩායම් දරුවා බේරා ගැනීමට අසීරු උත්සාහයක නිරත විය.
සඳුදා (28) රාත්‍රී නවය පමණ වනවිට සමාන්තර සිදුරේ අඩි 63ක් පමණ යටට හාරා තිබිණි.
කැණීම සඳහා අධිබලැති විදුම් යන්ත්‍ර යොදාගනු ලැබිනි.

ඔහු ඉකුත් සිකුරාදා සවස 5.30 ට පමණ වගාවට අවශ්‍ය ජලය සපයා ගැනීම සඳහා හාරන ලද මෙමවලට වැටුනේ සිය මිතුරන් සමග සෙල්ලම් කරමින් සිටියදීයි. පළමුව අඩි 26 ක පමණ ගැඹුරක සිරව සිටි සුජිත්, කඹයක් යොදාගනිමින් එළියට ගැනීමට දැරූ ප්‍රයත්න අතරතුර අඩි 70 ක් පමණ ගැඹුරට වැටුණි. දරුවා මුදාගැනීමට විශාල මෙහෙයුමක් අරඹන විට ඔහු එම වලෙහි අඩි 88 ක පමණ ගැඹුරක සිරව සිටි බවට වාර්තා පළ විය.

ඉන්දීය බලධාරීන් සඳහන් කළේ, වල තුළ සිරව සිටියදී මියගිය දරුවාගේ සිරුරෙන් දුඟඳ හැමීම හමුවේ ඔහු මියගොස් ඇතැයි තහවුරු කරගත් බවයි. දරුවාගේ සිරුර හමුවීමෙන් පසු ඔහු මුදාගැනීමට වෙනත් වලක් හෑරීමේ ප්‍රයත්න නතර කළ බව ද ඉන්දීය බලධාරීන් සඳහන් කළහ.

මේ වනවිට මුදාගැනීමේ මෙහෙයුම් අරඹා පැය 82 ක් ඉක්මගොස් තිබූ අතර දරුවා මුදාගැනීමට තවත් පැය 12 ක කාලයක් ගතවනු ඇතැයි ඉන්දීය බලධාරීන් පවසා තිබිණි. දරුවා සිරව සිටි වල පිහිටි භූමිය පාෂාණමය භූමියක් වීම හමුවේ කැණීම් කටයුතු ඉතා දුෂ්කර වූ බවත්, දරුවාගේ ජීවිතයට හානි නොවන පරිදි කැණීම් කල යුතු බැවින් එම කාර්යය සෙමින් සිදුකරන බවත් ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර තිබිණි. ඔවුන් අපේක්ෂා කලේ අඩි 98 ක වලක් හෑරීමෙන් පසු, දරුවා වැටී සිටි වලට සමාන්තර උමඟක් හෑරීමෙන් දරුවා මුදාගැනීමටයි. දරුවාට ස්වසනය කිරීම සඳහා ඔක්සිජන් ලබාදුන් බව ද ඉන්දීය බලධාරීන් පැවසීය.

කෙසේ වෙතත් ඉන්දීය ජාතික ආපදා මුදාගැනීමේ බලකාය කැඳවීමට දරුවා මුදාගැනීමේ මෙහෙයුම් අරඹා පැය 9 ක් ගත වූ බවට මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජය ක්‍රියා කළ ආකාරයට විවේචන එල්ලවේ.

වගාජලය ලබාගැනීම සඳහා කණින ලද මෙවැනි ළිඳක් සිඳී ගිය පසු ගොවීන් එම ළිඳ අත්හැර දමන අතර යළි ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් එම ළිඳට දැමූ පී.වී.සී නළය ද ඉවතට ගනු ලබිණි. මෙවැනි වලවල් වසා දැමීමේ උපදෙස් මාලාවක් මෙතෙක් නිකුත් කර නැති අතර ගොවීන් සිතන්නේ වැඩිහිටියන් පමණක් සිටින වගා බිම්වල ඇති මෙවැනි ළිංවලින් ජීවිත හානි සිදුවීමේ අවදානමක් නැති බවයි. ජලය ලබා ගැනීමේ අරමුණින් හාරන ලද එවැනි ගැඹුර සහිත වලවල් දහස් ගණනක් ඉන්දියාවේ පවතින අතර ඒවාට වැටීමෙන් වාර්ෂිකව දරුවන් විශාල සංඛ්‍යාවක් මියයන බව සඳහන් ය. බලධාරීන් ඒ සම්බන්ධයෙන් අවදානය යොමු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස සුජිත් විල්සන් නම් දෙහැවිරිදි මේ දරුවාට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය.