தமிழ்
English
Contact
Friday 14th August 2020    
තම ඡායාරූප මැතිවරණ ප්‍රචාරණයට යොදා නොගන්නා ලෙස ජනාධිපතිගෙන් උපදෙස් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තම ඡායාරූප මැතිවරණ ප්‍රචාරණයට යොදා නොගන්නා ලෙස ජනාධිපතිගෙන් උපදෙස්



එළඹෙන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් තම ප්‍රචාරක ව්‍යාපාරය සිදුකිරීමේදී තමන්ගේ ඡායාරූප භාවිතා නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ආරක්ෂක අංශ, රාජ්‍ය සේවය, සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවය කරන කිසිදු රාජ්‍ය නිලධාරියෙකු දේශපාලන කටයුතුවල නිරත නොවිය යුතු යැයි ද ජනාධිපතිවරයා තවදුරටත් උපදෙස් දී ඇති බව පැවසේ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සියළුම ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් හා පළාත් ලේකම්වරුන්, සංස්ථා ප්‍රධානීන්, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් සහ අනෙකුත් අංශ ප්‍රධානීන් වෙත ඊයේ යවන ලද ලිපියක සඳහන් කර ඇත්තේ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් ජනාධිපතිවරයාගේ, හමුදා නිලධාරීන්ගේ සහ රජයේ නිලධාරීන්ගේ ඡායාරූප භාවිතා කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

මැතිවරණ ව්‍යාපාරයේ දී ජනාධිපතිවරයාගේ ඡායාරූපය භාවිතා නොකරන ලෙසත්, රජයේ නිලධාරීන්ට දේශපාලන කටයුතුවල නිරත වීමෙන් වැළකී සිටින ලෙසත් අදාළ පාර්ශව වෙත උපදෙස් දෙන ලෙස ජනාධිපතිවරයා සිය ලේකම්වරයාට දන්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පිටපතක් සමඟ ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් වෙත ලිපියක් යවමින් ජනාධිපති ලේකම්වරයා සියළුම රජයේ නිලධාරීන් මෙම නියෝග දැඩි ලෙස පිළිපැදීමට වගබලා ගන්නා ලෙස උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා සිය බලතල මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් භාවිතා කරමින් සිටින්නේ මැතිවරණ දිනය තීන්දු කිරීමේ ක්‍රියාවලියේ සිටයි. කොරෝනා පැතිරෙමින් තිබූ මොහොතේ නාම යෝජනා ලබදෙන තුරු රට තුළ ඇඳිරි නීතිය දැමීම කල් දමන ලදී. එසේම ජනතාව ගැන කිසිදු හැඟීමකින් තොරව දේශපාලන වාසි උදෙසා කොරෝනා වසංගතය මොහොතේ මැතිවරණ තැබීමට සූදානම් විය. එය අකුලා ගැනීමට සිදුවූවේ ජනතා විරෝධය හේතුවෙනි. ඊට අමතරව තොන්ඩමන්ගේ මළ ගෙදර අවස්ථාවේ කිසිදු හිරිකිතයකින් තොරව දින ගණනාවක් තම පක්ෂ ව්‍යාපෘතියට ප්‍රචාරණයක් ලබාදෙන ලදී. තම ජනපති බලතල යොදාගත් අවස්ථා සඳහා උදාහරණ සිය ගණනක් සඳහන් කළ හැක. මහින්ද රාජපක්ෂ ජනාධිපති වී සිටි සමයේද ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කරමින් මැතිවරණ වේදිකාවල ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් කතා පැවැත්වූ ආකාරය ජනතාවට අමතක නැත.