தமிழ்
English
Contact
Friday 14th May 2021    
තරඟ විභාග අහෝසි කර සම්මුඛ් පරීක්ෂණ හරහා විදුහල්පති පුරප්පාඩු පිරවීමේ තීරණයට ගුරු සංගම්වල විරෝධය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තරඟ විභාග අහෝසි කර සම්මුඛ් පරීක්ෂණ හරහා විදුහල්පති පුරප්පාඩු පිරවීමේ තීරණයට ගුරු සංගම්වල විරෝධය



විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමට පැවැත්වු තරග විභාග ක්‍රමය අහෝසි කරමින් ඒ වෙනුවට සම්මුඛ පරීක්ෂණ ක්‍රමයක් හරහා විදුහල්පතිවරුන් තෝරාගැනීමට ඇමති මණ්ඩල අනුමැතිය ලබාදීමේ අරමුණ තරග විභාගවලින් තේරී පත්වීමට අසමත් වූ සුදුසුකම් රහිත වැඩබලන දේශපාලන ගැත්තන් විදුහල්පති සේවයට පත් කිරීම බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසා තිබේ.

එසේම ජාතික මට්ටමේ විභාග පැවැත්වීමට හැකියාව තිබියදී විදුහල්පතිවරු 4600 ක් තෝරාගැනීමට අදාළව එක් දිනක පමණක් පැවැත්වෙන තරග විභාගයක් පැවැත්වීමට වසරකට වැඩි කාලයක් ගත වනවාය යන්න ආණ්ඩුවේ කෛරාටික බව ඉතා හොඳින් ප්‍රදර්ශනය කෙරෙන ප්‍රකාශයක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දෙයි.

කෝවිඩ් 19 වසංගත තත්වයට මුවා වී සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පසුගිය වසරවල පැවති විදුහල්පති සේවයේ තරග විභාගවලින් තේරී පත්වීමට අසමත් වූ සුදුසුකම් රහිත වැඩබලන දේශපාලන ගැත්තන් විදුහල්පති සේවයට පත් කිරීමට කටයුතු කිරීම ආණ්ඩුවේ හෙළුව ප්‍රදර්ශනය කරන පිළිකුල් සහගත ක්‍රියාවක් බව ද ජෝශප් ස්ටාලින් පවසා තිබේ.

මෙම කැබිනට් තීරණය මගින් සේවා ව්‍යවස්ථාවේ මෙම වගන්තියෙහි සඳහන් ක්‍රමවේදය පවා මුළුමනින්ම උල්ලංඝණය වන බව පෙන්වා දෙන ජෝසප් ස්ටාලින් අවධාරණය කරන්නේ, දිවයිනේ පවතින 10,174 ක් වන පාසල්වලින් අඩකට ආසන්න ප්‍රමාණයකට 4600 ක් පමණ විදුහල්පතිවරු මේ ආකාරයෙන් අනීතිකව පත්කිරීම අධ්‍යාපන පද්ධතිය තවදුරටත් පරිහානියකට පත් කිරීමක් බවයි.

දැනට දීර්ඝ කාලයක් තිස්සේ විදුහල්පති තනතුරුවල වැඩබලන සහ රාජකාරි ආවරණය කරන නිලධාරීන්ට අවස්ථාව ලබාදීමට මෙම තීරණය ගන්නා ලද බව උක්ත කැබිනට් තීරණයේ සඳහන් වුවත් විදුහල්පති සේවයේ තරගය විභාගයක් අවසන් වරට පවත්වන ලද්දේ 2019 වසරේ දී බැවින් විදුහල්පති සේවයේ දීර්ඝ කාලයක් වැඩ බැලූ ගුරු සේවයේ නිලධාරීන්ට විභාගයට පෙනී සිට විදුහල්පති සේවයට ඇතුළත් වීමට ප්‍රමාණවත් අවස්ථාවක් තිබුණු බවද ලංකා ගුරු සංගමය පවසා ඇත.

එසේම මේ වන විට වැඩබලන විදුහල්පතිවරු ලෙස කටයුතු කරන්නේ විවිධ දේශපාලන හිතවත්කම් මත විදුහල්පති තනතුරුවල වැඩබලීමට පත්වීම් ලබා සිටින ගුරු සේවයේ නිලධාරීන් බව ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් වැඩිදුරටත් පවසා ඇත.