Posted on 09.12.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කර ත්‍රස්තවාදය වැළක්වීමේ නව පනතකට අදාල නව කෙටුම්පත විදේශ ඇමති තිලක් මාරපන විසින් ඊයේ (11) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේ විජයදාස රාජපක්ෂ සහ පාඨලී චම්පික යන ඇමතිවරු එයට විරෝධය දක්වා තිබේ.
දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කර ත්‍රස්තවාදය වැළක්වීමේ නව පනතක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ඇමතිවරුන් දෙදෙනාගේ අදහස වී ඇත්තේ නව පනතට අත්‍යවශ්‍යම කරුණු කිහිපයක් ඇතුළත්ව නොමැති බවයි.
ඒ අනුව මිනිමරුමකට මරණ දඬුවම දීම දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වුවද අලුතින් හඳුන්වා දෙන ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ එය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස සඳහන් වී ඇතැයි නව කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමින් විජයදාස රාජපක්ෂ පෙන්වා දී තිබේ. බෙදුම්වාදය දඬුවම් ලැබිය යුතු වරදක් ලෙස පනතට ඇතුළත් වී නැති බව සඳහන් කර ඇති ඔහු එය බරපතල අඩුපාඩුවක් ලෙසද පෙන්වා දී ඇත .
මේ අතර ත්රස්තවාදයට සම්බන්ධ අයෙකු කරන පාපොච්චාරණයක් සාක්ෂියක් ලෙස ගෙන නඩු කටයුතු පැවරිය නොහැකි බව ත්‍රස්තවාදය වැළක්වීමේ නව පනතේ සඳහන් වීම පිළිබඳවද විජයදාස රාජපක්ෂ සඳහන් කර ඇත.
එසේම ත්‍රස්තවාදය වැළක්වීමේ නව පනත ක්‍රියාත්මක කිරීමට පොලීසිය බාර ඇමතිවරයා යටතට පත්කිරීම වැරදි බවත් එය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කාරණයක් බැවින් පනත ක්‍රියාත්මක වීම ආරක්ෂක අමාත්‍යංශය බාර ජනාධිපතිවරයා යටතට පත්කළ යුතු බවද ඔහු පවසා තිබේ.
නව පනත සංශෝධනය කිහිපයකට යටත්ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ.
මෙම පනතට මංගල සමරවීර පක්ෂව අදහස් දක්වා ඇති අතර ජනාධිපතිවරයා විජයදාස රාජපක්ෂ සඳහන් කළ කරුණු සමඟ එකඟ වී ඇතැයි ද වාර්තා වේ.