Posted on 12.02.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ස්විස් තානාපති නිලධාරිනිය පැහැර ගැනීම සම්බන්ධ සිද්ධිය වෙනුවෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් සාක්ෂි හා තොරතුරු පැහැර ගැනීම සිදු වූ බව කියන දිනයේ අදාළ නිලධාරිනියගේ ගමන් බිමන් යනාදි විස්තර ඒ තොරතුරු අතර පරස්පරතාවක් තිබෙන බව ද විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
සිදුවීම ඇසින් දුටුවන් සහ සී.සී.ටීවී දර්ශන, දුරකතන විස්තර යනාදි තාක්ෂණික තොරතුරු සැලකිල්ලට ගැනීමේදී අදාළ පරස්පරතාව පැන නැගී තිබෙන බව ද එහි දැක්වේ.
එසේම එම නිවේදනයේ දැක්වෙන ආකාරයට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ (1) පස්වරුවේ ස්විස් තානාපතිවරයා සහ ඔහුගේ දෙවැනියා මුණ ගැසී එලෙස කරුණු දන්වා තිබේ.
පැහැර ගැනීමට ලක්වූ බව කියන නිලධාරිනිය සාක්ෂි ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන්නැයි නිලධාරීන් ඉල්ලා සිටියද තානාපති කාර්යාලය එසේ නොකළ බවත් එම නිසා නොවැම්බර් 29 වැනිදා තානාපති කාර්යාලය පොලිසියට ලබාදුන් තොරතුරු අනුව විමර්ශනයක් සිදු නොකළ බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
විමර්ශන කරන නිලධාරීන් ස්විස් තානාපති කාර්යාලයට දුන් ප්‍රතික්ෂේප කළ නොහැකි හා ස්ථීර සාක්ෂි අනුව සහ පැහැර ගැනීමක් යයි කියැවෙන සිදුවීම සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු දැනගැනීම සඳහා අදාළ නිලධාරිනියගෙන් සාක්ෂි ලබාගත යුතුව තිබෙන බව ද එමෙන්ම තවදුරටත් විමර්ශන කළ යුතුව තිබෙන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.
පැහැර ගැනීමේ සිදුවීමේදී තානාපති කාර්යාලයේ නිලධාරිනියට තුවාල සිදුව ඇතැයි කියන හෙයින් ඇය මෙරට අධිකරණ වෛද්‍ය නිලධාරියකුට ඉදිරිපත් කර වෛද්‍ය පරීක්ෂණයක් කළ යුතු යැයි පවසන විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම පැහැර ගැනීමේ සිදුවීම සම්බන්ධව පළවන තොරතුරු තහවුරු කිරීම සඳහා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පූර්ණ සහයෝගය ඉල්ලා ඇතැයි ද සඳහන්කර ඇත.