Posted on 02.22.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ගම්මන්පිල ඇමතිවරයා කියන ආකාරයෙන් ත්‍රිකුණාමල තෙල් ටැංකි ලංකාවට ලබාගැනීම කෙසේවෙතත් ත්‍රිකුණාමල වරාය ආශ්රිත තෙල් ගබඩා සංකීරණයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් හරහා ත්‍රිකුණාමල වරායත් මෙරටට අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති පෙන්වා දෙයි.
ඛනිජ තෙල් වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සඳහන් කර ඇති පරිදි මෙම නව ව්‍යාපෘතිය ඛණිජ තෙල් සංස්ථාව, වරාය අධිකාරිය සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම යන සමාගම් 3ක් ඒකාබද්ධව සිදුකිරීමට නියමිත ව්‍යාපෘතියකි. ඛනිජ තෙල් වෘත්තීය සමිති ප්‍රශ්න කර සිටින්නේ මෙය කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා වී අනුමැතිය ලබාගත් ව්‍යාපෘතියක්ද යන්නයි.
ඊයේ (21) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ආනන්ද පාලිත වැඩිදුරටත් පවසුවේ,
“බලන්න මොකක්ද මේ කියන්නෙ සභාපති විජේසිංහ ? ත්‍රිකුණාමල වරාය භූමියට අයිති අක්කර 500න් 100ක් පළවෙනි අදියර වශයෙන් අරගෙන ටැංකි 24ක් ඉදිකරලා අදියර 3කින් බිලියන 10.2ක් වියදම් කරලා SPPM එකකුත් දානවාලු. SPPM, ඒ කියන්නෙ බෝයාවක් අවම වශයෙන් ඩොලර් මිලියන 10ක්වත් වෙනවා. ඒකකුත් දාලා ටැංකි 24කුත් හදලා ගොඩනැඟිලිත් හදලා මුහුදට ලයින් එක්කුත් දානවාලු බිලියන 10න්. “
මෙම චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසා ඇත්තේ ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව තෙල් ගබඩා සංකීර්ණයක් ලෙස සංවර්ධනය කර එය සවුත් ඒෂියන් පෙට්‍රෝලියම් හබ් එකක් කිරීමට බලාපොරොත්තු වෙන බවයි.
සභාපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ,
“දැනට මුල් අදියරේ කටයුතු හැටියට අපි ඉඩම් හඳුනාගෙන තිබෙනවා, සංවර්ධන සැලැස්මක් හදලා තියෙනවා, ශක්‍යතා අධ්‍යනය තමයි දැන් ආරම්භ කරලා තියෙන්නෙ. ඒක මාස 3කින් අවසන් වෙයි. ව්‍යාපෘතියේ මුල් අදියර විදියට අපි වරායත් එක්ක එකඟතාවක් හදාගෙන තියෙනවා අක්කර 100කින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන්න” යනුවෙනි.
පසුගියදා ප්‍රසිද්ධ රැස්වීමකට එක්වෙමින් උදය ගම්මන්පිළ පවසා තිබුණේ ඉන්දියාවට ලබාදී ඇති තෙල් ටැංකි නොබෝ දිනකින්ම ලංකාව සතුවන බවයි.