தமிழ்
English
Contact
Friday 6th December 2019    
තෝරාගත් කණ්ඩායම් ඉලක්ක කරගෙන බිය වැද්දීම් සිදුවුණා - පොදු රාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තෝරාගත් කණ්ඩායම් ඉලක්ක කරගෙන බිය වැද්දීම් සිදුවුණා – පොදු රාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම



ජනාධිපතිවරණ ඡන්ද විමසීම සාමකාමීව, විශ්වාසනීයව සහ ක්‍රමවත්ව පැවතියා වුවද ඇතැම් කණ්ඩායම් බියටත් තැති ගැන්වීමටත් ලක්වූ බව පොදු රාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානී ප්‍රොස්පර් බානී පවසයි.

පොදු රාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම නොවැම්බර් 10 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි අතර එතැන් පටන් ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ නිරීක්ෂණ කටයුතුවල නිරත විය.

එම නිරීක්ෂණ ඇතුළත් ඔවුන්ගේ මූලික වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේබව පවසා තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායමේ සම්පූර්ණ වාර්තාව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරයාට, ශ්‍රී ලංකා රජයට, මෙරට දේශපාලන පක්ෂවලට, මැතිවරණ කොමිෂන් සභාවට සහ මහජනතාවට ලබාදීමට නියමිතය.

මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා මෙසේ ද කීය.

         “මැතිවරණයට පෙරත් මැතිවරණයට පසුත් සාමකාමී පරිසරයක් පැවැති බව කිව යුතුයි. එහෙත් ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් අපට වාර්තා වුණා. විශේෂයෙන්ම ඡන්ද විමසීම දිනයේදී මුස්ලිම් වැසියන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථ පෙළකට ප්‍රහාර එල්ල වී තිබුණා. අපි එම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිනවා. විශේෂයෙන්ම, විශේෂිත කණ්ඩායම් තෝරාගත් කණ්ඩායම් ඉලක්ක කරගනිමින් කරන බිය ගැන්වීම් සහ ප්‍රචණ්ඩත්වය අපි දැඩි ලෙස හෙළා දකිනවා.

මැතිවරණයට පෙර වාර්ගික සහ ආගමික නොසන්සුන්තා දක්නට ලැබුණා. ඇතැම් කණ්ඩායම් බියටත් තැතිගැනීමටත් ලක්ව තිබූ බව අපට දැනගන්නට ලැබුණා.

එකමුතුකම, දේශපාලනය තුළ ගෞරවය සහ ඉවසීම තහවුරු කිරීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගෙන්, දේශපාලනඥයන්ගෙන් සහ ප්‍රජාවලින් අපි දැඩි ඉල්ලීමක් කරනවා.

පෞද්ගලික මාධ්‍යවලින් වගේම සමාජ මාධ්‍යවලින් වෛරී ප්‍රකාශ සිදු කෙරුණා සහ ඒවා තුළින් වෛරී ප්‍රකාශවලට ප්‍රසිද්ධියක් ලබා දුන්නා. මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වූ පැය 48ක නිහඬ කාලයේදීද මැතිවරණ ප්‍රචාරණ ක්‍රියා සිදු කෙරුණා.

මැතිවරණ කොමිෂන් සභාවට මාධ්‍ය උපමාන නිකුත් කරමින් රාජ්‍ය මාධ්‍ය නියාමනය කිරීමට හැකි වුවත් පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් එසේ කළ නොහැකි බව අපේ අවධානයට ලක්වුණා. ඒ නිසා මීළඟ මැතිවරණයේදී නෛතික රාමුවක් තුළින් රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ස්වාධීන නියාමනයකට ලක් කළ යුතු යැයි අපි නිර්දේශ කරනවා.

ශ්‍රී ලංකාවේ දේශපාලන තුළ කාන්තා සහභාගීත්වය ඉතාම අඩු වීම අනෙක් කරුණයි. ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35 දෙනකු සිටියා. ඒ අතර සිටියේ එක් කාන්තාවක් පමණයි. පළාත් පාලන මට්ටම සඳහා සියයට 25ක කෝටාව හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා. ජාතික මට්ටමේදීද කාන්තා සහභාගීත්වය වැඩි කිරීමට පියවර ගන්නැයි අපි නිර්දේශ කරනවා”.