தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
දඩයමට හසුවන වර්තමානයකට පැමිණි ‘දඩයක්කාරයා‘ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දඩයමට හසුවන වර්තමානයකට පැමිණි ‘දඩයක්කාරයා‘



පසුගිය දිනවල සීමිත සිනමාහල් කිහිපයක ප්‍රදර්ශනය වූ ‘සංසාරේ දඩයක්කාරයා’ චිත‍්‍රපටය පිළිබද රසික සහෘද සංවාදයක් කොළඹ මරදානේ සමාජ සාමයික කේන්ද්‍රයේදී පැවැත්විනි. එහිදී පුබුදු ජයගොඩ විසින් කළ අදහස් දැක්වීම පදනම්කරගනිමින් ‘වම‘ පුවත්පතේ රළ අතිරේකයට සපයා තිබුණු ලිපියක් මෙහි පළ කරමු.

ප‍්‍රසන්න ජයකොඩිගේ ‘සංසාරේ දඩයක්කාරයා’ චිත‍්‍රපටය සීමිත සිනමාහල් ප‍්‍රමාණයක තිරගත වී ප‍්‍රමාණවත් පේ‍්‍රක්ෂක අවධානයෙන් තොරව ගැලවී ගියේය. ඒ නිසාම එය ප‍්‍රමාණවත් කලාත්මක හා දේශපාලන කියැවීමකින් තොරව ජනතාවගෙන් ඈත් කරනු ලැබූ නිර්මාණයකි. සිනමා කර්මාන්තයේ නියැලෙන සහ සිනමා රසික ජනයා අතර නිතරම කියැවෙන ‘ලංකාවේ සිනමාවේ අර්බුදය’ ඇසුරින් එය පහසුවෙන් හඳුනාගත හැකිය. නමුත් එය එසේ තිබියදීම නිහඬතාවයෙන් යටපත් කිරීමේ ඉරණමට ගොදුරු කරවන ලද සහ නාගරික සහෘද පුංජයකට සීමා වූ කෘතිය පිළිබඳ සිනමා රසික සංවාදය දේශපාලනික තලයකට ඔසවා තැබිය යුතුව තිබේ. ඒ නිසා පේ‍්‍රක්ෂක ජනයා අතුරින් මෙන්ම පොදු ජනයාගේ සාමුහික හා හුදෙකලා ජීවන අරගලයෙන් ඈත් කරනු ලබන කලා රසවින්දනය අරමුණුකර ගෙන ඒ සිනමා කෘතිය කියවා බැලීම මේ සටහනේ අරමුණය.
සයිමන් නවගත්තේගමගේ ‘දඩයක්කාරයාගේ කතාව’ කෘතිය කියැවීමෙන් ලැබූ උත්තේජනයකින් ප‍්‍රසන්න ජයකොඩි මෙම චිත‍්‍රපටය කළ බව පැහැදිලිවන කාරණයකි. ඔහු මේ කෘතියේ ගෙන එන කතා පුවත සයිමන්ගේ දඩයක්කාරයාගේ කතාව, සංසාරණ්‍යයේ දඩයක්කාරයා, සංසාරණ්‍යයේ උරුමක්කාරයා හෝ සංසාරණ්‍ය අසබඩ යන කෘති කිසිවකින් ප‍්‍රකාශ නොවන එහෙත් එම කෘතිවල අන්තර්ගත භූමිකා අනුසාරයෙන් ගොඩනැගූවකි.
මේ සිනමා කෘතිය සයිමන් නවගත්තේගමගේ දඩයක්කාරයාගේ කතාව නවකතාව එලෙසම කැමරාවට හසුකර ගැනීමක් නොවේ. සැබැවින්ම මේ චිත‍්‍රපටය යනු සයිමන් නවගත්තේගමගේ
කෘතිය කියවූ විට ප‍්‍රසන්න ජයකොඩිට ඇතිවූ යම් උත්තේජනයක සහ ඔහු ලක්වූ බුද්ධි කලම්බනයක ප‍්‍රකාශනයකි. එමෙන්ම මෙම ලිපියද ‘සංසාරයේ දඩයක්කාරයා’ චිත‍්‍රපටය පිළිබඳ සිනමා විචාරයක්ම නොව එය නැරඹූ අපට ඒ ඇසුරින් ජනිත වූ අභ්‍යන්තර ප‍්‍රශ්න කිරීමක ප‍්‍රතිඵලයකි.
චිත‍්‍රපටය නැරඹීමෙන් පේ‍්‍රක්ෂකයා, සිනමා රසිකයා තුළ උද්දීපනයවන භාවයන් සීමිත වුවද ඒ හරහා ජනනයවන හා අවුලූවන අධ්‍යාත්මයන් හරහා අනාවරණය කරගන්නා බුද්ධිමය කලාපයන් කිහිපයකි. මෙම සිනමාපටයේ සාධකවලින්ම ඒ සම්බන්ධ සහාද සාච්ඡුාවක් විවර කරගන්නට හැකියාව තිබේ. ප‍්‍රධාන භූමිකා කිහිපයක් සිනමා කෘතියේ හඳුනාගත හැකිය. සිනමාපටයේ නිරූපිත චරිත ගණනාවක් අතර සිනමාකරුවාගේ ඇසින් පේ‍්‍රක්ෂකයා වෙත උලූප්පා දක්වනු ලබන දඩයක්කාරයා, භික්ෂුව සහ ගෝමරී යන චරිත තුන සහ ඊට අමතරව කොටියා විසින්ද භූමිකාවක් නිරූපණය වේ.
භික්ෂුව විසින් දේශනාකරනු ලබන දැඩි විනය පිළිවෙත් පද්ධතියක් ගැමියන් මත මුදාහරිනු ලබන නමුත් භික්ෂුව විසින් එම විනය පිළිවෙත් ආරක්ෂා නොකරන දෙබිඩි චරිතයක් රඟ දක්වමින් සිටී. සතුන් මරන පාපය නියෝජනය කරන දඩයක්කාරයා පිළිබද අවඥාවක්, අපවාදාත්මක දැක්මක් ප‍්‍රකාශ කරන භික්ෂුව දඩමස් දානය පිණිස ගන්නා බව කතාවේ එක්තරා අවස්ථාවක අනාවරණය වේ. ගැහැණියක් දඩයක්කාරයාගෙන්
දඩමස් ඉල්ලා සිටින්නේ දානය පිණිස මස් අවශ්‍ය බව දක්වමින්. අනෙක් අවස්ථාවක පන්සලට එන යන ගැමියන් එයින් පසුබස්වන සාධකයක් ලෙස කොටියා මෙම සිනමා කෘතියේ එක්තරා භූමිකාවක් නිරූපණය කරයි. කොටියා නිසා පන්සලට එන ගැමියන් එසේ නොඑන තැනකට පත්වීමට අවදානමක් ඇති බව සළකනු ලබන්නේ භික්ෂුව විසිනි. ඒ නිසාම කොටියාගෙන්
අනතුරක් සිදුවුවහොත් එවැනි ප‍්‍රවණතාවක් ඇති වීම සම්බන්ධයෙන් භික්ෂුව සැළකිළිමත් වේ. එහිදී භික්ෂුව විසින් කොටියා මරා දමන ලෙස දඩයක්කාරයා වෙත නොකියා කියන්නේ ඒ නිසාය. මේ දෙබිඩි බව ප‍්‍රශ්න කරන්නේ දඩයක්කාරයා විසිනි.
‘එතකොට හාමුදුරුවො මට කියන්නෙ කොටියා මරන්න කියලද?’ යනුවෙන් දඩයක්කාරයා කෙළින්ම භික්ෂුවගෙන් විමසා සිටින්නේ ගැමියන් විසින් එවැනි ප‍්‍රශ්න කිරීමකින් තොරව තමන් මත පටවන පිළිවෙතට එකගවන පසුබිමකය. එසේ වුවද වෙසක් පෝය දිනයේ ‘ධර්මාසනයේ’ හිඳිමින් දඩයක්කාරයාගේ වෙඩි හඬකට ප‍්‍රතිචාර දක්වන භික්ෂුව කියන්නේ ‘අර පව්කාරයා මේ වෙසක් පෝය දවසේත් පව් කරන’ බවය.
විශේෂයෙන් ගෝමරීගේ භූමිකාව සහ භික්ෂුවගේ භූමිකාව විසින් ගොඩනගන ප‍්‍රතිවිරෝධතාව පේ‍්‍රක්ෂකයාගේ සුලභ සමාජ අත්දැකීම් ඇසුරින් බුද්ධිමය සංවාදයක් බිහිකරයි. භික්ෂුව සුපුරුදු ලෙස සංසාරේ අනිත්‍ය බව ගැන බෞද්ධ ඉගැන්වීම පුනරුච්චාරණය කරමින් පස්පව්වලින් වැළකී ‘සසර කෙටිකරගන්නා ක‍්‍රමවේදය’ දේශනා කරයි. ලෞකිකත්වයට ඇලීමෙන් සහ පව්කාර ක‍්‍රියාවෙන් වැළකීමෙන් එය කළ යුතු බව ප‍්‍රකාශ කරන භික්ෂුවගේ අධ්‍යාත්මය සහ පැවැත්ම එම දහමෙන් වියුක්ත බව අනාවරණය කරන එක් අවස්ථාවක් ලෙස කොටියා මරා දැමීමට පොළඹවන සංවාදය තිබේ. එසේම කොටියාගේ ප‍්‍රහාරයෙන් මරණයට පත්ව සතුන් කෑමෙන් විකෘතව ගිය ගෝමරීගේ ප‍්‍රාණය නිරුද්ධව සිරුර හමුවේ භික්ෂුව දක්වන හැසිරීමෙන් ප‍්‍රකාශවන්නේ කුමක්ද? භික්ෂුව තිගැස්මකින් හා බියපත්වීමෙන් නිරූපණය වන්නේ ලෞකිකත්වය කෙරෙහි වූ ආශක්ත බව මිස තමන් දේශණා කරන අනිත්‍ය හෝ සසර දුක උපේක්ෂාවෙන් භාරගන්නා සිල්වත් භූමිකාවක් නිරූපණය නොවේ. එහෙත් ගෝමරීගේ ප‍්‍රාණය නිරුද්ධව විකෘතව ගිය සිරුර, දඩයක්කාරයාගේ ජීවන දර්ශනය නිරූපණය කිරීමේ අවස්ථාවකි. ඔහු ඇගේ සිරුර දරුවාට පෙන්වීමට තින්දු කරන්නේත් එය පෙන්වමින් දරුවාට කරන පැහැදිලි කිරීමෙන් කියැවෙන්නේත් වෙනස් කතාවකි. එය, හුදු අධ්‍යාත්මික පාරිශුද්ධත්වයම දේශනාකරන එහෙත් එය ජීවනාදර්ශයක් නොව රැුවටිල්ලක් බවට පත්කරගත් භික්ෂුවගේ හෝ ඒ දහම අනුව කටයුතු කරන්නට තැත්කරන පොදු ගැමියාගේ ජිවිතයේ ව්‍යාජ බවින් පිටස්තරය. එසේවුවද දඩයක්කාරයා ගෝමරීගේ ජීවන දහම දෙසද බාහිරින් සිට බලා සිටින, උපේක්ෂා සහගත අධ්‍යාත්මයක් නියෝජනය කරයි. මිනිස් ජීවිතයක අවසානයේ සිරුර ගෞරවණීය ලෙස මිහිදන් කිරීමෙන් පමණක් මනුෂ්‍යත්වය තීන්දු නොකරන බව දඩයක්කාරයා නොකියා කියන්නේ පේ‍්‍රක්ෂාගාරයටය. එහෙත් ඒ සිරුර, විවිධ ප‍්‍රාණීන්ගේ පැවැත්මට අවශ්‍ය මූලාශ‍්‍රයක්ව වනයේ තිබෙනු දැකීම දඩයක්කාරයාගේ අභිලාශයයි. එය ගැමි ජනයාගේ ජීවන සංස්කෘතියට පරිබාහිර අදහස් ලෙසද ගත නොහැකිය. නිසැකවම, කලක් ආකර්ෂණීය ස්ත‍්‍රී රූපයක්ව පැවති ප‍්‍රාණය නිරුද්ධ සිරුර දෙස හෙළන අව්‍යාජ බැල්ම, එය භික්ෂුව නියෝජනය කරන ව්‍යාජ සසර බියට ප‍්‍රතිපක්ෂ බව පමණක් අවධාරණය වේ. දඩයක්කාරයා එහිදී මෙම සිනමා කෘතියේ මුඛ්‍ය ප‍්‍රකාශනයක් ලෙස නැගී සිටී.
අනෙක් අතට, භික්ෂුව දේශනා කරන ආගමික ශික්ෂණය යටතේ ජීවත්වන ගැමියන් අතරම ජීවත්වන ගෝමරී නියෝජනය කරන්නේ සාම්ප‍්‍රදායික ශික්ෂණයට එරෙහිවන නමුත් ලෞකිකත්වයේ දැක්ම පමණක් පදනම් කරගත් ජීවනාදර්ශයකි. එය භික්ෂුව විසින් පනවන ආගමික පිළිවෙත් පද්ධතිය හමුවේ ගසනු ලබන කැරැුල්ලකි. සම්මත ගැමි ජීවිතය පුපුරුවා දමන අධ්‍යාශයකින් යුතුව භික්ෂුවගේ ධර්ම දේශණය අවස්ථාවේද එය මගහැර කැලෑ වදින ඇය භික්ෂුව නියෝජනය කරන කුහක මිනිස් පැවැත්මට අභියෝගයක් වන අතරම ලිංගික වශයෙන් යම් විකෘතිකර තත්වයක් නිරූපණය කරයි. මානුෂීය ලිංගික සංතෘප්තිය නිරූපණය කිරීමකට වඩා ඇය සුරතාන්තයට පත්වීමේ දීර්ඝ රතිකෙළිය සැසඳිය හැක්කේ විකෘති කාම රංග නිරූපණයකටය. ජීවිතය යනු ලෞකිකත්වය විඳීම ලෙසත් පැවැත්ම යනු එයම පමණක් බවටත් ගෙන එනු ලබන කතිකාවේ රැුඩිකල් ප‍්‍රකාශනයක් වන ඇය එක්තරා ආකාරයකින් නවලිබරල් මිනිස් සමාජයේ සංකේත රූපයකි. ඒ නිසාම ඇයත් ඇගේ සහකරුවාත් කොටියාගේ ගොදුරක් බවට පත්වීම ඔවුන් නියෝජනය කළ ජීවන පරමාදර්ශ සහ එයින් වියුක්ත පැවැත්ම යන සියල්ල සමගින් වර්තමාන මිනිස් ජීවිතයේ ඛේදය පිළිබඳ ප‍්‍රකාශනයකි. මේ ආකාරයෙන් සිනමාකරුවා පේ‍්‍රක්ෂාගාරය වෙත දමා ගසන ප‍්‍රශ්නයක් තිබේ. එනම්, ‘ගතානුගතික ශික්ෂණයේ දැඩි මතධාරී එහෙත් කුහක පැවැත්මද නැත්නම් නිදහස්කාමී වගකීම් විරහිත පැවැත්මද එසේත් නැත්නම්, එයින් පරිබාහිර ජීවිතයක් නොමැතිද?’ යන්නයි.
දඩයක්කාරයා එක්තරා රූස්ස ගහක් අසළ හිඳින දර්ශනයෙන් හා එකී ගසින් නිරූපිත මිනිස් රූපවලට සමාන ලිංගිකමය හැඩතල සහිත ස්වභාවයත් එහි මූල මණ්ඩලය කරා යද්දී දිරාපත්වන ස්වභාවයක් නිරූපණය වීමත් සංකේතාත්මකය. එම රූස්ස ගස අසළදී නවලිබරල් නාගරිකත්වය ඉගි කරමින් සිනමා කෘතියේ සංගීතමය නාද මාලාවට එක්වන රථවාහනවල, යන්ත්‍රෝපකරණවල හා සයිරන් නලා හඬ ඇතුලූ ඝෝෂාකාරී ශබ්ද මාලාවක් ඇසේ. සිනමාකරුවා, වනගත සමාජයක ගැමියන් හරහා කියවාගත් කතා පුවත තුළ සිටින පේ‍්‍රක්ෂකයා, එකී සංකේතාත්මක අදහසින්ම වර්තමාන ලෝකය කරා රැුගෙන එයි.
මේ හා සමාන්තරව පරිසරය පිළිබඳ පවතින දැක්ම පිළිබද විචාරාත්මක ආමන්ත‍්‍රණයක් සිනමා කෘතියේ අන්තර්ගතය. එක් පැත්තකින් වනය හා වනයේ ගස් වැල් පිළිබඳවත් වනසතුන් පිළිබඳවත් පරිභෝජන දෘෂ්ටිකෝණයෙන් හෙළන බැල්මත් අනෙක් පැත්තෙන් වනයේ රූස්ස ගස් දුටු විට ‘අනේ! මේ ගස්‘ කියා වැළඳගන්නා, වන අලින් කෙරෙහි මිස මිනිසුන් කෙරෙහි නූපදින ආදරයක් සහිතව හෙළන පරිසරවාදී බැල්මත් ඇත. ඒ දෙකෙන්ම වියුක්තව වෙනස් මානයක් පරිසරය හා මිනිසා සම්බන්ධව උපදවා ගන්නට නොහැකිද? එක්කෝ පරිසරයේ සියල්ල මිනිසාගේ පරිභෝජනයට වශයෙන් සළකන විනාශය කරා ගමනකටත් නැත්නම් ‘පරිසරය පමණක් ආරක්ෂා කළ යුතුය, පරිසරය හා මිනිසා විනාශය කරා ගෙනයන ගමන අදාළ නැත’ වැනි දැක්මකටත් අප ගොදුරු වේ. බොහෝ විට නවලිබරල් ධනවාදය මෙහි පළමුවැනි පාර්ශ්වය නියෝජනය කරන අතර එයට එරෙහි බොහෝ පරිසරවේදීන් සංරක්ෂකයන් හා පරිසර රසකාමීන් නියෝජනය කරන්නේ දෙවැන්නය. මිනිසාගේ පැවැත්ම හා පාරිසරික පැවැත්ම එකිනෙකින් වෙන් කළ නොහැකි සමස්තයක ප‍්‍රතිඵලයක් ලෙස වටහා ගන්නා වෙනත් මාර්ගයක් ඇති බව දඩයක්කාරයාගේ අදහස් නියෝජනය කරයි.
වන අලින් දඩයම් කරන ඇත්දළ, අලිකෙඳි හා එවැනි සියල්ල වෙනුවෙන් අලින් මරණ, වනය හා පරිසරය පරිභොජනයට ගන්නා ධනවාදය විනාශකාරීය. වනය වෙනත් ආකාරයකින් අර්චන වස්තුවක් ලෙස සළකන පරිසරපේ‍්‍රමීන්ගේ පරිසරවාදයෙන් ගැලවීමක් නැත. මන්ද යත් ධනවාදය විසින් විනාශකරන වනාන්තර පද්ධති නිසා ගම්වදින වන අලින් ග‍්‍රාමීය ගොවි ජනතාවට සිදුකරන විනාශය ඔවුන්ගේ පැවැත්මම අවදානමට ලක්කර ඇත. ගොවි ජනතාවට අලින් මරා දැමීමේ විශේෂ අරමුණක් නැති නමුත් ජීවත්වීමේ තර්ජනයක් ලෙස ඔවුන්ට වන අලින්ට ආදරය කිරීමක් අදාළ නැත. ඒ නිසා ගොවි ජනයාගේ ජීවිත අවදානම නොසළකා හරින, පරිසරපේ‍්‍රමීන්ගේ ආන්තික පරිසරවාදයෙන් මානව සමාජයට යහපතක් නැත. ඒ වෙනුවට මානව පැවැත්ම හා වනයේ හා පරිසරයේ පැවැත්ම වෙන් කළ නොහැකි සමස්තයක කොටස් ලෙස හෙළන දයාර්ද්‍ර බැල්මක් දඩයක්කාරයා වෙතින් දිස්වේ. ‘සංසාරේ දඩයක්කාරයා’ සිනමා කෘතියේ නිරූපිත දඩයක්කාරයාද පොදු ප‍්‍රතිවිරෝධතා පද්ධතියෙන් වියුක්ත නැත. එක් පැත්තකින් මාංශ අනුභව නොකරන හේ මිනිසුන්ගේ ඉල්ලීම් නිසා සතුන් දඩයම් කරයි. දඩයක්කාරයාගේ පිළිවෙත් පද්ධතියක්ද ගැමි සමාජ සංස්කාතියේම නියෝජනයක් ලෙස සිනමා කෘතියේ නිරූපණය වේ. එනම්, ලාබාල සතුන්, ගැබ්බර සතුන්, කුසගින්න නිවා ගන්නා හෝ පිපාසිතව දිය පානයකරන සතුන්, නින්දේ පසුවන සතුන්, රෝගාතුරව සිටින හෝ සංසර්ගයේ යෙදෙන සතුන් ඉලක්කකර නොගන්නා දඩයම පිළිබඳ විනය ශික්ෂාවයි. මනුෂ්‍යත්වය පිළිබඳ පැරණි සමාජයෙන් උකහා ගන්නා එම ශික්ෂණය දරා ගෙන එහෙත් එම සමාජයේ කුහකකමෙන් ගැලවීගත් ජීවනාදර්ශයක් පිළිබිඹු කරන දඩයක්කාරයා, ගෝමරීගෙන්සංකේතගත කරන කේවල අරමුණු සහිත පැවැත්ම පරමාදර්ශ කරගත් ඊනියා නිදහස් ජීවිතය හා එහි ඛේදාන්තය වෙතද පරිණත දෘෂ්ටියක් හෙළයි.
මේ නිසා ‘සංසාරේ දඩයක්කාරයා’ සිනමා කෘතිය ඇසුරින් අපව උත්තේජනය කරන, අපව කළඹවා අවුලූවාලන අවස්ථා මොනවාදැයි අවසන් වශයෙන් සටහන් කළ යුතුව ඇත. තමන් විසින් දේශනා කරන ධර්මයේ නොපවතින භික්ෂුව හරහා සාම්ප‍්‍රදායික හික්ෂුන්ගේ, සමාජ පැවැත්මේ දෙබිඩිකම නිරූපණය කරමින් එය රසික ජනයා අවුලූවාලයි. එසේම, භික්ෂුවගේ බණ අසමින්ම එයට පරිබාහිර ලෞකික උත්තේජනයකින් ලිංගික හැගීමකින් පෙළෙන ගෝමරීගේ උද්වේගකර ජීවිතය හා ඛේදජනක මරණය විසින් පේ‍්‍රක්ෂාගාරය අවුලූවාලයි. ගතානුගතික සදාචාරය විසින් යටපත් කරනු ලැබූ ලිංගික ආශාවන් සහිත කුහක බලහත්කාරී ලෝකයද එසේත් නැතිනම් එයට එරෙහිව ලිංගික නිදහස, පුද්ගලත්වය පරමාදර්ශ කරගත් නිදහස්කාමී නව පැවැත්මක්ද යන ප‍්‍රශ්නයට අපි නිරන්තරව මුහුණ දෙමින් සිටිමු. ඒ සමගම මේ දෙනු ලබන ජිවන කොන්දේසි යටතේ උපදින ප‍්‍රතිපක්ෂයන් වෙනුවට වෙනත් පැවැත්මක් නැතිද යන ප‍්‍රශ්නය අප හමුවේ පැන නගී. එහිදී දඩයක්කාරයාගේ භූමිකාව ඇසුරින් වෙනත් මානයක් කරා යන්නට එනම්, දී ඇති ජීවන කොන්දේසි එළෙසින්ම භාර නොගෙන එයට එරෙහිව ක‍්‍රියාකාරීවන, පොදු යහපත අරමුණුකරගත් විප්ලවීය ජීවනාදර්ශයක් පිළිබඳ කල්පනා කරන්නට අපව පොළඹවයි. අපට සමාජය විසින් සහ දෘෂ්ටිවාදය විසින් දී ඇති ප‍්‍රතිපක්ෂයන් වෙනුවට ‘තුන්වන මාවතක්’ වෙත යොමු වීමට දඩයක්කාරයා අපට උත්තේජනයක් සපයයි. දඩයක්කාරයා එම විකල්පයේ පරිපූර්ණ ප‍්‍රකාශනය නොවනමුත් අපට එවැන්නක් පරිකල්පනය කිරීමට ආරම්හක ලක්ෂ්‍යයක් දඩයක්කාරයා සම්පාදනය කරන බව නම් පැහැදිලිය.