தமிழ்
English
Contact
Tuesday 27th October 2020    
දයානන්දට පොලිසිය පරාදයි - මාර්ග නීති දඩකෙළියේ තවත් කතාවක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දයානන්දට පොලිසිය පරාදයි – මාර්ග නීති දඩකෙළියේ තවත් කතාවක්!



මාර්ග නීති උල්ලංඝනය කළ බවට ව්‍යාජ චෝදනා ඉදිරිපත්කර ගම්පොල පොලිසියේ රථවාහන අංශයෙන් ඉල්ලා සිටි දඩ මුදලක් නොගෙවා අධිකරණයට යාම තෝරාගත් අයකු අධිකරණය විසින්, නිදහස්කර ඇත.

මාර්ග නීති භාවිතකර පොලිසිය විසින් ආණ්ඩුවට ආදායම් උපයා දී කොමිස් ගැසීමේ ජාවාරම ගැන නොදන්නා කෙනෙක් නැති තරම්ය. ඉංජිනේරුවකු වන නිමල් දයානන්ද, 2017 මැයි 2 වැනිදා ගම්පොල පොලිසියේ රථවාහන අංශ නිලධාරියකු ඉල්ලා සිටි රු. 500 දඩය ගෙවීම ප්‍රතික්ෂේප කරමින් තමන් නිර්දෝෂී බව කියන්නට අධිකරණය හමුවට ගියේය.

ගම්පොළ සිට මහනුවර දෙසට A 5 මාර්ගයේ ගමන් කරමින් සිටියදී ගෙලිඔය ආසන්නයේදී වෙනත් වාහනයක් පසුකර යාමේදී ඔහුගේ වාහනය නැවතූ රථවාහ අංශ නිලධාරියා, පදික මාරුවකදී එම පියවර ගැනීම සම්බන්ධව ඔහුට චෝදනා නගා ඇත. මාර්ගයේ කඩ ඉරි සහිත මාර්ග සලකුණු තිබීම නිසා ඉදිරියෙන් ගිය වාහනය පසුකර යාමට තීරණය කළ නමුත් පදික මාරුවක් ඒහි ඇත්දැයි කිසිදු අනතුරු සංඥාවක් නොතිබීම ගැන කරුණු ක්වමින් දයානන්ද කරුණු දක්වා ඇත. පදික මාරුවක් ඉදිරියෙන් පවතිද්දී තනි සුදු ඉරක් පැවතිය යුතු වුවත් තිබී ඇත්තේ කඩ ඉරක් බව පෙන්වා දෙමින් නිමල් දයානන්ද එම මාර්ග සංඥා වරද ගැන පොලිස් නිලධාරියාගෙන් ප්‍රශ්න කිරීමේදී පොලිස් නිලධාරියා පවසා ඇත්තේ එය මාර්ග සංවර්ධන අධිකාරියේ වරදක් බවය. ආසන්න ප්‍රදේශයක පදිංචිකරුවකු ලෙස මාර්ග සංඥා තිබෙන ආකාරය මතක තබා ගන්නා ලෙස පවසමින් පොලිස් රථවාහන නිලධාරියා ඔහුට දඩ කොළයක්ද ලබාදී තිබේ.

මේ අසාධාරණ දඩැසීම සම්බන්ධව පැමිණිල්ලක් ගම්පොළ පොලිස් අධිකාරී කාර්යාලයට සිදුකළ අවස්ථාවේ මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන් නිසා දඩ මුදල ගෙවීමට අවශ්‍ය නොවන බවද පොලීසිය විසින් පවසා ඇත.

එහෙත් අවසානයේ සිදුව ඇත්තේ ඉදිරියෙන් පැමිණෙන වාහනවලට බාධා වෙන පරිදි වාහනය පැදවීම සහ දඩ මුදල නොගෙවීම යන ව්‍යාජ චෝදනා යටතේ දයානන්දට නඩු පැවරීමට පොලිසිය කටයුතු කිරීමය. කෙසේවෙතත් එම නඩුව මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගකරන අවස්ථාවේදී ඡායාරූප සාක්ෂි සහිතව කරුණු දක්වමින් එම ස්ථානයේ කඩ ඉරක් පැවති බව නිමල් දයානන්ද අනාවරණයකර ඇති අතර පොලිසිය විසින් අසාධාරණ චෝදනා ඉදිරිපත්කරන බව දක්වමින් චෝදනාවලට තමන් නිවැරදිකරු බව අවධාරණයකර තිබේ. වසර ගණනාවක් ඇදී ගිය නඩුවේ තීන්දුව ජූලි 1 වැනිදා තබාදුන් මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය විසින්, පොලිසියේ චෝදනා සම්බන්ධයෙන් නිවැරදි බවට නිමල් දයානන්ද දැක්වූ කරුණු පිළිගෙන ඔහු නිදහස්කර ඇත.

මේ අතරතුර එම ස්ථානයේ මාර්ග සංඥා නිවැරදි කිරීමටද නිමල් දයානන්ද විසින් ප්‍රාදේශීය පරිපාලන අංශවලට සහ මාර්ග සංවර්ධන අධිකාරියට කළ දැනුම්දීම නිසා එම මාර්ග සංඥා නිවැරදිව සකස්කර තිබේ.

පොලිසියේ අසාධාරණ චෝදනා හේතුවෙන් නිරන්තර හිරිහැරයට ලක්වන සාමාන්‍ය ජනතාව, අවස්ථාවෙන් ගැලවීමට දඩමුදල ගෙවා යනු ඇති නමුත් මෙසේ එය අභියෝගයට ලක්කර යුක්තිය වෙනුවෙන් අරගලයට ඒවන අවස්ථා අඩුය. විශේෂයෙන්ම සුලු වැරදිවලට අසාධාරණ ලෙස චෝදනා නගා අල්ලස් ගැනීමට දරණ උත්සාහයන්ද එසේත් නැතහොත් පලිගැනීමේ අරමුණු සඳහා විවිධ දූෂිත අරමුණු සමග ඒක්ව අහිංසකයන් සිරගත කරන අවස්ථා රාශියකි. යම් යම් අවස්ථාවල පුද්ගලයන්ගෙන් පලිගැනීමට මත්ද්‍රව්‍ය හෝ ගිනි අවි චෝදනා නගා පලිගැනීම් සඳහා පොලිසිය කටයුතුකරන අවස්ථාද නිරන්තර අසන්නට ලැබේ.

එවැනි පසුබිමක නිමල් දයානන්ද විසින් අයුක්තිය හමුවේ බිඳ නොවැටී සටන්වැදීම තෝරාගෙන ඇත. ඔහු සමාජ අසාධාරණය රජකරන සමාජයක යහපත් ලොවක් වෙනුවෙන් වැඩකරන මිනිසකු ලෙස ආදර්ශයකි.