Posted on 02.02.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සිංහරාජ වනයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස සැළකිය හැකි දහයියාගල අලි මංකඩට අයත් වන භූමිය වනසා දැමීම පරිසරවේදීන්ගේ හා සමාජ ක්‍රියාකාරින්ගේ විරෝධයට හේතු වී ඇත.
මේ අන්දමට වරින්වර සිංහරාජ වනයේ විනාශයන් සඳහා ගත් උත්සාහයන් සම්බන්ධ විවිධ ජනමාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීමටද පරිසරවේදීන් හා පරිසර මාධ්‍යවේදීන් ප්රයත්න දරා ඇත.
විවිධ පටු වාසි වෙනුවෙන් හා දේශපාලන හිතවත්කම් පදනම් කර ගනිමින් නීති විරෝධී ආකාරයෙන් මෙම ප්‍රදේශය අත්පත්කර ගැනීමට උත්සාහ දැරූ අවස්ථා ඉතිහාසයේද ඇති බව පරිසරවේදී සුපුන් ලහිරු ප්‍රකාශ පවසයි.
ඔහු පවසන ආකාරයට දහයියාගල අලි මංකඩට අයත් ඉඩම් දේශපාලන හිතවත්කම් සහිත පුද්ගලයින් විසින් නීති විරෝධී ආකාරයෙන් අත්පත්කර ගැනීමට උත්සාහ දැරුනේ අද ඊයේ සිට නොවේ. විශේෂයෙන් 2008 එවකට රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, පළාත් සභා මන්ත්‍රීවරයෙකු, සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ උසිගැන්වීම මත උඩවලව ජාතික උද්‍යානය මායිමේ විදුලි වැටක් ඉදිකර මෙම දහයියාගල අභයභූමියේ ඉඩම් නීතිවිරෝධී ලෙස අත්පත්කර ගැනීමට පිරිසක් උත්සාහගත් නමුත් ප්‍රදේශයේ ජනතාව, වනජීවී සංරක්ෂණ නිලධාරීන් සහ පරිසර ක්‍රියාකාරීන්ගේ මැදිහත්වීමෙන් එම උත්සාහය ව්‍යර්ථ කිරීමට හැකිවිය.
එසේම මෙම නීති විරෝධී ක්‍රියාවට එරෙහිව වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය, ශ්‍රී ලංකා පාරිසරික පදනම, හා වනපෙත් හා රක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීමේ පදනම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකල පෙත්සමක තීන්දුව ලබාදෙමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කලේ දහයියාගල අභයභූමිය සුරැකෙන අයුරින් හා අලි ඇතුන්ට බෝගහපට්ටියට ගමන්කළ හැකි අයුරින් අභයභූමි මායිමෙන් විදුලි වැට ඉදිකරන ලෙසය. එහි අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ 2010 ඔක්තෝබර් 4 දින ය. එම තීන්දුව ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් උත්සාහ දැරූ අවස්ථාවේද නැවතත් ඉහත කී දේශපාලකයන්ගේ හෙන්චයියන් විසින් ඊට විරෝධය දක්වමින් කලහකාරී ලෙස හැසිරුනි. නමුත් කෙසේ හෝ එම සියළු උත්සාහයන්ද පිටු දකිමින් අභයභූමිය ආරක්ෂාවන පරිදි විදුලි වැට ඉදිකර මෙම වටිනා පරිසර පද්ධතිය සුරක්ෂිත කරගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි විය.
එයින් වසර ගණනාවකට යලිත් වරක් ජනතාව රවටමින් දහයියාගල අභයභූමිය තමන්ගේ ඡන්ද පදනම රැකගැනීම සඳහා අසරණ මිනිසුන් අලි මංකඩක හෝ පදිංචි කරවන්නට සූදානම් බව සුපුන් ළහිරු ඒ සටහනින් පවසා ඇත. අලිමංකඩක පදිංචි වීමෙන් ඒ ආකාරයෙන් ඉඩම් හිමිකරගැනීමෙන් සිදුවන්නේ අලි ඇතුන්ට හානියක් මෙන්ම අලිමංකඩ මධයයේ පදිංචිවන පවුල්වලටද අනතුරක් බව පරිසරවේදීන් ගණනාවක් අනතුරු අගවා ඇත.