Posted on 12.29.2020 by Chandana Sirimalwatte in විශේෂාංග with 0 Comments
කොරෝනා වසංගතය සම්බන්ධයෙන් නිසි ප්‍රතිකාරයක් නිර්දේශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට නොහැකිව තිබියදී මේ වනවිටත් ලොව පුරා එන්නත් උන්මාදයක් පැතිර යමින් තිබේ. මිලියන ගණන් ජනයා ප්‍රතිකාරයක් අපේක්ෂාවෙන් මරණ බියෙන් සිටියදී, දැවැන්ත ඖෂධ සමාගම් වසංගතයෙන් ලාභ උපදවන මැරතන් තරගයක යෙදී සිටී. සාමාන්‍යයෙන් එන්නත් මිනිස් සිරුරට නිර්දේශ කිරීමට වසර ගණනක් පර්යේෂණ කළ යුතු වුවත් කොරෝනා වසංගතය විසින් ඇතිකර තිබෙන භීතිකාව නිසා එවැනි කාලයක් නොගෙනම එන්නත් භාවිතයට ගැනීමට ඇතැම් රටවල් පියවර ගෙන ඇත.
පහත සටහන් වන්නේ විස්කම් විජේවර්ධන විසින් ලෝකයේ ජනප්‍රිය වෙමින් තිබෙන කොරෝනා එන්නත් සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කළ අදහස් රැගත් ලිපියකි.(උපුටාගැනීමේදී කර්තෘ අයිතිය සුරකින්න)
පහුගිය දොහක අපේ යාලුවෙක් මගෙන් අහනවා “කොයි එක ගහගත්තොත් හොඳයිද?”
කෝවිඩ්-19 සඳහා දැනට හඳුන්වා දී ඇති වැක්සීන් (එන්නත්) ගැන මට තියෙන්නේ අල්ප වූ දැනුමක්. ඒත් මේ ගැන යමක් කිව්වොත් හොඳ කියලා හිතනවා. මීට කලින් එන්නතක් ශරීරයට ඇතුළු වුණාම මොකද වෙන්නේ කියලා ලිව්වා.
https://m.facebook.com/story.php?story_fbid=10158937184144015&id=654479014
සාමාන්‍යයෙන් එන්නතකින් අපි බලාපොරොත්තු වෙන්නෙ රෝග හදන ‘විෂබීජය’ අපේ ඇඟට ඇතුළු වුණාට පසුව සටන් කරලා පළවාහැරීම. (ප්‍රතිශක්තිකරණය). අප මේ කියන විෂබීජය කෝවිඩ්-19 වගේ වෛරස වෙන්න පුලුවන්, එහෙම නැත්නම් ක්ෂයරෝගය හදන බැක්ටීරියාව වෙන්න පුලුවන්. ඒත් මූලික අරමුණ තමා ඒ විෂබීජය සහසුද්දෙන් අඳුනාගැනීම. ඒ නිසා එක් එක් රෝගයට වෙනස් එන්නත් ඕන වෙන්නෙ.
ඉතින් කොහොමද විෂබීජය අඳුරාගන්නේ.. ඕනෑම ජීවීයෙක් හැදිලා තියෙන්නේ ප්‍රෝටීන වලින්. ඒත් ඉතින් එක එක විෂබීජයට ආවේණික ප්‍රෝටීන් තියෙනවා …හරියට යුද්ධ, නාවික හෝ ගුවන් හමුදාවේ යුනිපෝම් වගේ. ඔය ප්රෝටීන්වලත් තියෙනවා කුඩා කොටස්. ඒවාට අපි කියන්නේ epitopes කියලා. කපිතාන් කෙනෙක් නම් තරු තුනක් තියෙනවා වගේ ටක්කෙටම අඳුනාගන්න පුලුවන් සලකුණු වගේ. ඉතින් වැක්සීන් එකකත් තියෙන්ට ඕනෑ අන්න ඒ යුද්ධ හමුදාවේ යුනිපෝම් එකේ තරු තුන වගේ කොටසක්. ඒක අපේ ඇඟට ඇතුළු වුණාම අපේ ඇඟේ හැදෙනවා ඒ තරු තුනට විරුද්ධ ප්‍රතිශක්තිකරණයක්. එතකොට කවදාහරි කෝවිඩ්-19 කපිතාන් වෛරසය එනකොට එයාගෙන් බේරෙන්ට පුලුවන්.
මේ සටහන ඉදිරියට යන්න පෙරාතුව ප්‍රොටීන් ඇඟ ඇතුලේ හැදෙන්නේ කොහොමද කියලා කිව්වොත් හොඳයි. සෛලයක මැද තියෙනවානේ න්‍යෂ්ටිය. ඒක ඇතුලේ තියෙනවා DNA අණු. මේ DNA තමා අපි කව්ද කියලා තීරණය කරන ලක්ෂණ සහිත දත්ත ගබඩාව. DNA විසින් තමන්ගෙ සමහර කොටස් වල පිටපතක් න්‍යෂ්ටියේ සිට සෛල දේහය තුළට මුදා හරිනවා. ඒවාට කියන්නේ mRNA (messenger RNA) කියලා. එයාලා හරියට පණිවිඩකාරයෝ වගේ. එයාලා සෛලය තුළ තියෙන ප්ලාස්මාවට ගිහිල්ලා එතන තියෙන රයිබොසේම (ribosome) කියන පැක්ටේරිය ඇතුලේ ප්‍රෝටීන් නිපදවනවා.
දැන් අපි බලමු මේ වනවිට වෙළඳපොළට ඇවිල්ලා තියෙන කෝවිඩ්-19 වැක්සීන් වර්ග ගැන.
‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ සමාගම් තමා මේ වැක්සීන් හදලා තියෙන්නේ. ඒ වැක්සීන් එකේ තියෙන්නේ Covid-19 වෛරසයේ තියෙන අර යුනිපෝම් එකේ තරු තුන (උදාහරණය spike protein) නිපදවන ආකාරය ගැන පණිවිඩයක්. මේ පණිවිඩය කියන්නෙ අර ඉහතින් කිව්ව ජාතියෙ mRNA එකක්. මේවා හරි ඉක්මනින්ම විනාස වෙන්ට පුලුවන්. ඒ වාගේම විෂබීජ හදුනාගන්න සෛල නොහොත් APC (Antigen presenting cells) තුළට මේවාට යන්ටත් අපහසුයි. ඒක නිසා මේ පණිවිඩය පොඩි පර්ස් එකක් වගේ එකක් ඇතුලට දාලා තියෙන්නේ. මේ පර්ස් එක හඳන්වන්නෙ lipid nano particle (LPN) කියලා. ඉතින් මේ mRNA කොටස් APC සෛල ඇතුලට ගිහිල්ලා අර වෛරසයේ ‘තරු තුන’ වගේ කොටස හදනවා. මේක සිද්ධ වෙන්නේ APC එකේ න්‍යෂ්ටියට එලියේ තියෙන සෛල තරලයේ (ribosome තුළ). ඊට පස්සේ අර APC සෛල විසින් අපේ රුධිරයේ වසා සෛල (lymphocytes) වලට මේ ‘තරු තුන’ පෙන්වනවා . එතකොට ඒ වසාසෛල කපිතාන්ගේ යුනිපෝම් එක හඳුනාගන්න ‘තරු තුන’ ගැන මතකය සටහන් කරගන්නවා. ඒ වගේම, යම් දවසක කපිතාන් ඇතුළු වුනොත් පහරදීමට තරු තුනට එරෙහිව ප්‍රතිදේහ (Antibody) හදාගෙන ඉන්නවා. මේකට තමා ප්‍රතිශක්තිකරණය කියන්නේ.
වාසි: මේ RNA කොටස් හරිම වැඩකාරයෝ. අපේ APC සෛල එයාලට ඉහළින්ම සලකනවා. ඒ නිසා ඇතිවන ප්‍රතිශක්තිකරණය ඉහළයි. මේ වර්ගයේ වැක්සීන් ඉතාම ඉක්මනින්ම නිපදවන්නත් පුලුවන්.
අවාසි: දැඩි ශීතකරණ ඕන ගබඩාවට සහ ප්‍රවාහනයට. සමහරක් වෙලාවට ඉහළ ප්‍රතිචාරය නිසා ආසාත්මිකතා වගේ දේවල් කලාතුරකින් ඇතිවෙනවා. මේ ජාතීයේ වැක්සීන් ගැන පෙර අත්දැකීම් නෑ.
ඔක්ස්ෆර්ඩ් (Astra Zeneca) සහ රුසියානු (Sputnik V) වැක්සීන් මේ කාණ්ඩයට අයිතියි. මේකේ වෙන්නේ අර තරු තුන හදන්න අවශ්‍ය කරන DNA කොටස් අපිට අහිතකර නොවන ට්‍රාන්ස්පෝට් වෛරසයක් ඇතුලට දානවා. බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් අය මෙහිදී පාවිච්චි කරන්නේ චිම්පන්සි (ChAdOx) වෛරසයක්. රුසියානුවන් එන්නත නිපදවන්න මිනිසුන් ගේ (Ad5 සහ Ad26) වෛරස් දෙකක් පාවිච්චි කරනවා. වැක්සීන් එක ශරීරයට ඇතුළු වුණාම මේ වෛරස් අර ඉහතින් කිව්ව APC සෛල ආක්‍රමණය කරනවා. ආක්‍රමණය කළත් එයාලට තනිව ගුණනය විය නොහැකියි (non-replicating). ආක්‍රමණයෙන් පස්සෙ එයාලා ගෙනියන අර තරු තුන නිපදවන්න අවශ්‍ය DNA කොටස් සෛලයේ න්‍යෂ්ටිය තුලට යවනවා. ඊට පස්සේ අර කලින්ම කිව්වා වගේ mRNA හදලා තරු හදලා ප්‍රතිශක්තිකරණය ඇතිකරනවා.
වාසි: සාමාන්‍ය ශීතකරණයේ තියාගන්න පුලුවන්. ට්‍රාන්ස්පෝට් වෛරස වලින් කලින් වෛරස හදලා තියෙන නිසා හොඳ ප්‍රතිශක්තිකරණයක් දෙනවා.
අවාසි: සමහරවිට ට්‍රාන්ස්පෝට් වෛරසයට ප්‍රතිශක්තිකරණ හදන නිසා දෙවෙනි ඩෝස් එකෙන් ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම අඩුයි.
චීන පර්යේෂකයන් මේවා නිෂ්පාදනය කරනවා. මේතනදී කරන්නේ සම්පුර්ණ කෝවිඩ්-19 වෛරස රසායනික ක්‍රමයකින් මරලා දාලා වැක්සීන් එක විදිහට පාවිච්චි කරනවා. දැන් කපිතාන් මැරුවට යුනිපෝම් එක තියෙනවනේ. අර තරු තුනත් තියෙන නිසා අඳුනාගන්ට පුලුවන්. දැන් මෙයාලත් අර APC සෛල වලින් ගිලිනවා. ඉන්පස්සෙ අර තරු තුන විතරක් නෙවෙයි, මුලු යුනිපෝම් එකම කඩලා අරගෙන වසාසෛල වලට කපිතාන් ගැන මතකය ලබාදීලා ප්‍රතිශක්තිකරණය ඇතිකරනවා.
වාසී: අඩු ශීතකරණ පහසුකම් ඕන. තරුතුන විතරක් නෙමේ යුනිපෝම් එකේ අනෙත් කොටස් වලටත් මතකය ඇති කරන්ට පුලුවන්.
අවාසි: මරපු වෛරස වැක්සීන් වලට APC සෛල වලින් බොහෝවිට හදන්නේ ප්‍රතිදේහ සම්බන්ධ ප්‍රතිශක්තිකරණ ..සෛලගත ප්‍රතිශක්තිකරණ අඩුයි. වැක්සීන් වැඩිවාර ගනනක් දෙන්ට ඕන
මේ කතා කළේ දැනට වෙළඳපොළට පැමිණ තිබෙන, ලෝකයේ භාවිතවන වැක්සීන් ගැන. මීට අමතරව, කෝවිඩ්-19 වෛරසයට මුහුණ දෙන්න සායනික පර්යේෂණ මට්ටමේ තවත් විවිධාකාර වැක්සීන් වර්ග අත්හදා බලමින් තිබෙනවා.
(මෙහි පළවන කාටුනය The National වෙබ් අඩවියේ කාටුන් ශිල්පී Shadi Ghanim ගේ නිර්මාණයකි)