தமிழ்
English
Contact
Friday 14th May 2021    
දිගන මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ විමර්ශන වාර්තාව තවමත් ප්‍රසිද්ධ කර නැහැ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දිගන මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ විමර්ශන වාර්තාව තවමත් ප්‍රසිද්ධ කර නැහැ



දිගන සහ මහනුවර දිස්ත්‍රික්කයේ වෙනත් ප්‍රදේශ මූලික කරගෙන සිදුවූ මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවලට වසර 3ක් ගතව ඇතත්
ඒ සම්බන්ධයෙන් පවත්වන ලද විමර්ශන වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම මේ තාක් අසමත්ව තිබේ.

2018 වසරේ මාර්තු හතර රාත්‍රියේ දිගනින් ආරම්භ වී මහනුවර පැතිරගිය ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ල සම්බන්ධයෙන් එම වසරේම මැයි මස 9 දින සිට 12 දින දක්වා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් සාක්ෂි විමසීමේ කාර්යය සිදු කොට තිබුණි.

එවකට මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය වූ දීපිකා උඩගම ප්‍රකාශ කර තිබුනේ විමර්ශන වාර්තාව එම වසරේම ජුලි මාසයේ ප්‍රසිද්ධියට පත් කරන බවයි.

මුස්ලිම් විරෝධි ප්‍රචණ්ඩ ක්‍රියා වැලක්වීමට රජයේ ආරක්ෂක අංශ කටයුතු නොකළ බවට සහ සිංහල අන්තවාදීන්ට ආධාර කළ බවට එහිදී චෝදනා එල්ල වී තිබුණි.

නමුත් එම කාලයේ මධ්‍යම පළාත භාරව සිටි පොලිස් ප්‍රධානියා පසුගිය වසරේ රජයේ ඉහලම තනතුරකට පත් කර තිබේ. එසේම ප්‍රචණ්ඩකාරීව හැසුරුණු බවට චෝදනා පුද්ගලයන් කිහිපදෙනෙක්ම ඉතා ඉක්මණින් නිදහස් කෙරිණි.

ජිනීවාහි මානව හිමිකම් කොමිසමේ 43 සැසිවාරයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ වාර්තාවේ දිගන ප්‍රහාරය ගැන සඳහන් වන පරිදි තුන් දිනක ප්‍රහාර වලින් එක් පුද්ගලයකු මරා දමා, හාරසියයකට වැඩි දේපල, සිද්ධස්ථාන සහ වාහන සංඛ්‍යාවක් විනාශ කර දමා ඇත.