Posted on 02.05.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රු.1000ක් දක්වා වැඩි නොකිරීමට විරෝධය පළකරමින් අද (05) වතු කම්කරු වෘත්තීය සමිති එක්දින වැඩවර්ජනයක යෙදී තිබේ.
මෙම වැඩවර්ජනයට වතු පාසල්වල ගුරුවන්රුද සහාය පළකරමින් අද රාජකාරියට වාර්තා කර නොමැති අතර කෙටි දුර ධාවන බස් රථද සිය සේවා සැපයීමෙන් ඉවත්ව වර්ජනයට සහය පළකරන බව පැවසේ. නුවරඑළිය ප්රදේශයේ වෙළෙඳ සැල්ද වසා දමමින් මෙයට සහය දීමට තීරණය කර තිබේ.
පසුගිය වසරේ අයවැය කතාව සිදුකරමින් මහින්ද රාජපක්ෂ පවසා සිටියේ වතු කම්කරු දිනක වැටුප 1000ක් කරන බවයි. ඊට පෙර ගෝඨාභය රාජපක්ෂ ද තම මැතිවරණ ප්රචාරක කටයුතුවලදී වතු වැටුප 1000කරන බවට පොරොන්දු විය. නමුත් දැන් ආණ්ඩුවේ පාර්ශව එය ක්රියාත්මක නොකර සිටීමට විවිධ හේතු ඉදිරිපත් කරමින් සිටියි.
ජනවාරි මාසය දින කිහිපයක් පුරාම කම්කරු ඇමති නිමල් සිරිපාලද සිල්වා වතු හාම්පුතුන් අතර මෙම ප්රශ්නය ගැන සාකච්ඡා කර අවසානයේ එය පඩි පාලක සභාව වෙත යොමුකිරීමට තීරණය කෙරිණි. නමුත් පඩි පාලක සභාව තුළ සිටින්නේත් සාමූහික ගිවිසුම සඳහා සම්බන්ධ වෙන පාර්ශවම වේ. ඊට අමතරව දැන් වතු කම්කරුවන්ගේ වසර 06ක ඉල්ලීම වූ දෛනික මූලික වැටුප 1000 කිරීම ඔවුන්ට කිසිම විටක ලබාගත නොහැකි විවිධ කොටස් එකතු කර දෛනික වැටුප රුපියල් 1000ක් කළ බව පවසා ඔවුන් නැවත රැවටීමට උත්සාහ කරන ආකාරයක්ද පෙනෙන්නට තිබේ.