Posted on 02.08.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අද(8) පැවති පඩිපාලක සභා සාකච්ඡාවේදී කම්කරුවන් වසර ගණනක් අරගල කළ රු. 1000 දිනක ‘මූලික වැටුප’ ඉල්ලීම පාවාදී දිනකට වැටුප වශයෙන් රු. 900ක් ලබාගැනීමට වෘත්තිය සමිති නායකයන් එකඟ වී ඇත.
කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවට වතු වෘත්තිය සමිති නායකයන් සහ වතු සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරින් සහභාගී වී තිබේ.
වතු කම්කරුවන්ගේ ජීවන අරගලය තුළ දෛනික මූලික වැටුප 1000ක් ලෙස ගෙන ආ ඉල්ලීම 2014 තරම් පැරණි එකක්ව තිබියදී වතු සමාගම් වෙනුවෙන් එහිදී යෝජනාව ඉදිරිපත්ව ඇත්තේ වතු කම්කරුවෙකුගේ දිනක මුලික වැටුප රු. 565 ක් දක්වා ඉහළ දැමීමටය. කෙසේවෙතත්, වතු වෘත්තිය සමිති නායකයන් විසින්ද ඉදිරිපත්කර ඇත්තේ දෛනික මුලික වැටුප රු 900 ක් සහ දීමනා වශයෙන් රු 100 ක දීමනාවක් ගෙවිය යුතු බවටය. එසේ වෘත්තිය සමිති ඉදිරිපත් කළ යෝජනාවකට රජයේ කම්කරු නිලධාරින් සහයෝගය ලබාදී ඇත.
මෙම යෝජනා සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී දිනක මූළික වැටුප 900ක් ලෙස වෘත්තිය සමිති ගෙනා යෝජනාවට ඡන්ද 11 ක්ද, දිනක වැටුප 565ක් ලෙස වතු සමාගම් ගෙනා යෝජනාවට ඡන්ද 8 ක් ලැබී තිබේ. මේ අනුව, වැඩි ඡන්දයෙන් අනුමත කළ දිනක මූළික වැටුප 900ක් හා දීමනාව 100ක යෝජනාව ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බව කම්කරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
කෙසේවුවද, වතු සමාගම් ප්‍රධානින් විසින් මෙම සම්මත කළ වැටුප ගෙවීම සම්බන්ධ තීරණයක් ගත යුතු බව පැමිණ සිටි නියෝජිතයෝ මාධ්‍යවේදින් වෙත කරුණු දක්වා ඇත.