தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
දින 130ක් හිරේ දැමූ ශක්තික සත්කුමාර නීතිපතිට අමතක වෙලා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දින 130ක් හිරේ දැමූ ශක්තික සත්කුමාර නීතිපතිට අමතක වෙලා!



දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ලේඛක ශක්තික සත්කුමාරට එරෙහි පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරන ලද නඩුවට අදාළ නීතිපතිවරයාගේ උපදෙස් නොලැබීම හේතුවෙන් එම නඩු විභාගය මැයි මස 19 දක්වා කල්දමා ඇත.

ඊයේ(10) දින පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ එම නඩුව කැඳවූ පසු චෝදනා ගොනු කළ පොල්ගහවෙල පොලීසිය වාර්තා කළේ නඩුවට අදාළව නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇති උපදෙස් තවම ලැබී නැති බවයි. මෙම නඩුවට අදාළ චෝදනා යටතේ‍ෙ ලේඛක ශක්තික සත්කුමාර දින 130 ක සිරගත කර තැබුණු අතර විරෝධතා වර්ධනයවීමත් සමග අගොස්තු මසදී ඔහු නිදහස් කරණු ලැබුවේ බරපතල ඇප කොන්දේසි මතය. දෙසැම්බර් 10 වැනිදා නඩුව නැවත කැඳවන්නට නියම කළ අවස්ථවේ ලේඛකයාට එරෙහිව අධිචෝදනා ගොනු කරන්නේද යන නීතිපතිගේ තීරණයක් පොලීසිය මගින් උසාවියට දැනුම් දෙනු ඇති බවට ප්‍රකාශ විය.

පසුගිය අප්‍රේල් 01 වන දින සත්කුමාර නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගනු ලැබුණේ සහ ඇප ලබා නොදී දින 130ක් රඳවා තබණු ලැබුවේත් දණ්ඩ නීති සංග්‍රහයේ 291බී වගන්තිය හා 2007 අංක 56 දරන ‘සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති’ (අයිසීසීපීආර්) පනතේ 3 වන වගන්තිය යටතේ වන වැරදිවලට චෝදනා ලැබූවකු වහයෙනි.

එම චෝදනා යටතේ අධිචෝදනා ගොනුකිරීමට තීරණය කරනු ලැබුව හොත් සත්කුමාරට එරෙහිව කුරුනෑගල මහාධිකරණයේ නඩු පැවරෙන අතර, ලේඛකයා වසර දහයක සිර දන්ඩනයකට යටත්කරනු ලැබිය හැකිය.

අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම මගින් ප්‍රකාශනයේ නිදහස ඇතුලු‍ ඔහුගේ ව්‍යවස්ථාපිත අයිතීන් උල්ලංඝනය කිරීමට එරෙහිව සත්කුමාර ගොනුකොට ඇති මූලික අයිතිවාසිකම් නඩුවේ වගඋත්තරකරුවන් අතර පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපති වෙනුවෙන් නීතිපතිවරයා පෙනීසිටින බැවින්, අධිචෝදනා ගොනුකිරීම පිළිබඳ අපක්ෂපාතී පියවරක් අපේක්ෂා කළ නොහැකි බව නීති අංශවල මතයයි.

පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී ලේඛක ශක්ති සත්කුමාර වෙනුවෙන් හංසක රාජරත්න, විරංජන හේරත්, සී.ඩබ්.ඩබ්.රත්නායක සමඟ සංජය විල්සන් ජයසේකර යන නීතිඥවරු පෙනීසිටිති.