தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් ලබාදීමට හේතු වූ කරුණු ජනතාවට කියන්න - ශ්‍රී ලංකා නීතීඥ සංගමය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් ලබාදීමට හේතු වූ කරුණු ජනතාවට කියන්න – ශ්‍රී ලංකා නීතීඥ සංගමය



(TopNews) අද(24) පොසොන් පෝය දිනයේ සිරකරුවන්ට සමාව දෙන පදනම යටතේ මරණීය දණ්ඩනයට නියම කළ සිරකරුවකු වූ දුමින්ද සිල්වා වෙත විශේෂ සමාවක් ලබාදීමේ නෛතික පදනම කුමක්දැයි ශ්‍රී ලංකාවේ නීතීඥ සංගමය ජනාධිපතිවරයාගෙන් කරුණු විමසීමක් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමතමින් එම සංගමයේ විධායක කමිටුව වෙනුවෙන් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ලේකම් රජීව් අමරසූරිය විසිනි.
මෙම ලිපියේ සඳහන් ආකාරයට, නීතිවිරෝධී රංචු ගැසීම හා මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වූ සහ විශේෂ මහාධිකරණයක් විසින් වැරදිකරු කිරීමෙන් මරණ දණ්ඩනයට නියම වී සිටි සහ එවකට අගවිනිසුරු ගරු. ප්‍රියසාත් ඩෙප් ඇතුළු ශ්‍රේෂඨාධිකරණ විනිසුරු මඬුල්ලකින් එකී තීන්දුව තහවුරු කිරීමෙන් මරණ දඬුවම නියම වී සිටි දුමින්ද සිල්වාට ලබාදුන් ජනාධිපති සමාව පිළිබඳව නීතිඥ සංගමයේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව, මෙම ජනාධිපති සමාව සම්බන්ධ පහත කරුණු නීතිඥ සංගමයට හා ජනතාවට පැහැදිලි කිරීමක් කරන ලෙස නීතිඥ සංගමයේ විධායක සභාව එකී ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

එනම්,
(1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) ව්‍යවස්ථාව යටතේ සමාව ලබා දීම සඳහා දුමින්ද සිල්වා තෝරාගත් පදනම ;
(2) එවැනි සමාව ලබා දීමේදී සැලකිල්ලට ගත් තත්වයන්;
(ඇ) දැනට මරණ දඬුවම් නියම කර ඇති පිරිසක් අතුරින් දුමින්ද සිල්වා වෙන් කොට තෝරා ගැනීමට හේතු;
(3) දුමින්ද සිල්වාට සමාව දීමට පෙර 34 (1) වන වගන්තියේ විධිවිධාන මගින් නියම කර ඇති පරිදි දණ්ඩනය නියම කළ නඩු විභාගයේ විනිසුරුවන්ගෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් වාර්තාවක් කැඳවනු ලැබුවාද සහ එසේ නම් වාර්තාවේ අන්තර්ගතය.
(4) දුමින්ද සිල්වාට සමාව ලබා දීමට පෙර නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා සිටියේද සහ එසේ නම් එවැනි උපදෙස්වල අන්තර්ගතය
(5) දුමින්ද සිල්වාට සමාව දීමට පෙර අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශය ලබාගෙන තිබේද සහ එසේ නම් අධිකරණ අමාත්‍යවරයා එවැනි නිර්දේශයක් කළේද යන්න

ශ්‍රී ලංකාවේ නීතීඥ සංගමය මේ සම්බන්ධව ජනාධිපතිවරයා වෙත යැවු ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉහත සඳහන් කරුණු එකක් හෝ වැඩි ගණනක් වර්තමාන නඩුවේදී සෑහීමකට පත් නොවූයේ නම්, ලබා දී ඇති සමාව අසාධාරණ සහ අත්තනෝමතික වනු ඇති බවයි.

එසේම එවන් තත්වයකදී නීතියේ ආධිපත්‍ය මෙන්ම ජනතාව අතර අධිකරණය සම්බන්ධ විශ්වාසය පිරිහීම සිදුවන බවද නීතිඥ සංගමය විසින් අවධානයට ලක් කර ඇත.