Posted on 02.01.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පසුගිය රජය සමයේ සිදු වූ දේශපාලන පළි ගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබේ.
ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර විසින් ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
එම ගැසට් නිවේදනය අනුව නව ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධම්මික ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධන පත් කර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඛේමා කුමුදිනී වික්‍රමසිංහ සහ අභියාචානාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ කොමිසමේ සෙසු සාමාජිකයන් වශයෙන් නම් කොට තිබේ.
දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසූ ජනපති කොමිසමේ අවසන් වාර්තාවේ අයිතම අංක 08, 09 සහ 10 යටතේ දැක්වෙන තීරණ හා නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව පිහිටුවා ගත් ජාතික විධායක සභාවක් මගින් සහ දූෂණ මර්දන කමිටුව නම් දේශපාලන සංවිධානයක් විසින් ඉහත කී කොමිසමේ සඳහන් පැමිණිලිකරුවන් ඍජුව හෝ වක්‍රව දේශපාලන පළිගැනීම්වලට ලක් කිරීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධානවලට පටහැනිව පිහිටවූ මුල්‍ය අපාරධ විමර්ශන කොට්ඨාසය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, පොලිස් විශේෂ විමර්ශන ඒකකය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදා ගෙන ඇති ආකාරය පිළිබඳ විමර්ශන සිදු කළ යුතු බවට පසුගිය ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් දේශපාලන විචාරකයන් මත දක්වන ආකාරයට නව කොමිසම පත්කිරීම විරුද්ධ පාක්ෂිකයන් දඩයම් කිරීමේ උපක්රමයකි. මෙම නව කොමිසමේ නිර්දේශ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරගත හොත්, වගඋත්තරකරුවන්ගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කළ හැකි බව වාර්තා වේ.