தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
දේශීය කෘෂි ආර්ථිකයක් ගොඩනගනවා - ගෝඨාභය රාජපක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දේශීය කෘෂි ආර්ථිකයක් ගොඩනගනවා – ගෝඨාභය රාජපක්ෂ



ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනැගීම සඳහා කෘෂි අස්වනු වැඩි කිරීමට කාලය එළඹ ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා පවසා ඇත්තේ කොවිඩ් වසංගතය නිසා බිඳ වැටෙමින් පවතින සෙසු රටවල ආර්ථිකයන් නිරීක්ෂණය කොට දේශීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීම වැදගත් බවය.

බීජ සහ පැළ නිෂ්පාදනය, පොහොර භාවිතය, කෘෂි නවෝත්පාදන පර්යේෂණ ගබඩාකරණය සහ ප්‍රවාහනය යන සියලු ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමුකරමින් ඉදිරි දෙවසරේ දී අභියෝග ගත ඉලක්ක සපුරාගත යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

වී හා ධාන්‍ය, කාබනික පොහොර, එළවළු, පළතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය බීජ නිෂ්පාදනය සහ උසස් තාක්ෂණික කෘෂිකාර්මික රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළ කර තිබේ.

මෙරට වාර්ෂික අර්තාපල් අස්වැන්න ටොන් 80,000ක් වන අතර පාරිභෝගික අවශ්‍යතාව ටොන් 250,000ක් වන අතර අර්තාපල් ආනයනය නොකර දේශීයව අවශ්‍යතාව සපුරාගැනීමට ගොවීන් දිරිමත් කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.

ඉහළ තාක්ෂණයක් යටතේ දෙමුහුන් බීජ සහ පැළ ගොවීන්ට බෙදා දී ඉලක්ක ජයගැනීමටත්, වෙනත් ආදේශ අල වර්ග පරිභෝජනයට දිරිගැන්වීමෙන් අර්තාපල් ආනයනය සීමා කිරීමටත් හැකි බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මෙහිදී පෙන්වා දී තිබේ.

ලබන වසරේදී බඩඉරිඟු නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත තත්ත්වය අත්කර ගැනීමට හැකියාව පවතින බව ද බැසිල් රාජපක්ෂ පෙන්වාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත.