தமிழ்
English
Contact
Monday 22nd April 2019    
නඩුවලින් ගෝඨාභයගේ පුරවැසිභාවය ඉවත් කරගැනීම නවත්වන්න බැහැ - ඩලස් අලහප්පෙරුම | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නඩුවලින් ගෝඨාභයගේ පුරවැසිභාවය ඉවත් කරගැනීම නවත්වන්න බැහැ – ඩලස් අලහප්පෙරුම



ඇමරිකාවේදී පවරන ලදැයි පැවසෙන සිවිල් නඩුවලින් ගෝඨාභයගේ පුරවැසිබාවය ඉවත්කර ගැනීමේ කටයුත්තට කිසිඳු බාදාවක් සිදුනොවන බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ ඩලස් අලහප්පෙරුම පවසයි. එසේම ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩු ගොනුකර ඇති බවට කිසිදු දැනුම්දීමේ ලියවිල්ලක් ලැබී නොමැති බවද ඔහු පවසා තිබේ.

ඩලස් අලහප්පෙරුම පවසන පරිදි “මේක නෛතිකව කිසිදු බලපෑමක් වෙන එකක් නෙවෙයි. එයාට රටින් බැහැර වෙන්නවත් ඇමරිකානු පුරවැසිකම අතහැරීමේ ක්‍රියාදාමයටත් මේකෙන් කිසිම බාධාවක් නැහැ. මේක තනිකරම ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කරගත් අවලාද ව්‍යාපාරයක් සහ දේශපාලන මෙහෙයුමක්”

මේ අතර ට්වීටර් පණිවිඩයක් නිකුත්කරමින් නාමල් රාජපක්ෂ පවසා තිබුනේද එවැනි අධිකරණ කැඳවීමක් ලැබී නොතිබුණු බවයි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සහ දෙමළ ජාතික තරුණයෙකු වධ හිංසාවට ලක් කිරීම යන චෝදනා යටතේ පවරන ලදැයි පැවසෙන නඩුකරවලට අදාළ නෛතික කැඳවීම් ගෝඨාභය රාජපක්ෂ වෙත ඇමරිකාවේදී පෞද්ගලිකව ම භාර දුන් බව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය සඳුදා (අප්‍රේල් 08) පැවසීය.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ බව පවසමින් ඔහුගේ දියණිය අහිම්සා වික්‍රමතුංග ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකාවේ අධිකරණයක සිවිල් නඩුවක් ගොනු කර ඇතැයි වාර්තා විය.

මේ අතර ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය කියා සිටියේ දෙමළ ජාතික තරුණයෙකු වධ හිංසාවට ලක්කිරීමේ චෝදනා මත ගෝඨාභය රාජපක්ෂට එරෙහිව තම සංවිධානය ද කැලිෆෝනියාවේ අධිකරණයක සිවිල් නඩුවක් පැවරූ බවය.

ගෝඨාභය රාජපක්ෂ මේ දිනවල නිවාඩුවක් ගත කිරීම සඳහා ඇමරිකාව බලා ගොස් තිබුණි.

නමුත් යම් පුද්ගලයෙකු පුරවැසි භාවය ඉවත් කර ගැනීමට ඉල්ලුම් කිරීමේදී එම පුද්ගලයට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග සිදුවේ නම් පුරවැසි භාවය ඉවත් කරගැනීම ගැටලු සහගත වේ. එසේම පුරවැසිභාවය ඉවත් කරගැනීම ඉල්ලූ පමණින් ලබා දෙන්නක් නොවන අතර එය කල් ගතවන ක්‍රියාවලියකි.