தமிழ்
English
Contact
Friday 16th April 2021    
නඩු විභාගයකින් තොරව මිනිසුන් සිරගත කරන්න ගෝඨාභයගෙන් නීතියක් - පුබුදු ජයගොඩ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නඩු විභාගයකින් තොරව මිනිසුන් සිරගත කරන්න ගෝඨාභයගෙන් නීතියක් – පුබුදු ජයගොඩ



(TopNews) ආගමික මතවාදවලට අවමන් කිරීම සම්බන්ධ පසුගිය කාලයේ විවිධ සිදුවීම් සිදු වුද සාමාන්‍ය නීතිය යටතේවත් ඔවුන්ට එරෙහි ක්‍රියාමාර්ග නොගත් ගෝඨාභය රාජපක්ෂ පාලනය නව මර්දන නීති ගෙනැවිත් තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.

පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින්, ඊයේ(19) නුගේගොඩ පක්ෂ කාර්යාලයේ පැවති අදහස් දැක්වීමකදී ප්‍රකාශ කළේ මෙම බිහිසුණු තත්වයක් බවත් එය පරාජය කිරීමට තමන් සියලු මැදිහත්වීම් සිදු කරන බවත්ය.
පහත පළ වන්නේ පෙ.ස.ප. වෙනුවෙන් පුබුදු ජයගොඩ කළ අදහස් දැක්වීමේ සංක්ෂිප්තයකි.

“මාර්තු 12 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් 2218/68 අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් 2021 අංක 1 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ රෙගුලාසි පනවා තිබෙනවා.
දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් සමාජය මුදවා ගැනීමේ නියෝග නමින් මේ නියමයන් සිදුකර තිබෙනවා. එසේම ජාතිවාදි ගැටුම්, ආගමික ගැටුම් ඇතිවන ආකාරයට කිසියම් පාර්ශ්වයකට කිසියම් අවමානයක් ඇතිවන දෙයක් ලෙස අර්ථ දක්වන දෙයක් ලියන, චිත්‍රයක් අඳින, කතා කරන, ඒ ගැන අදහස් පළ කරන අය ඉලක්ක කරගත් රෙගුලාසි පනවනු ලැබ තිබෙනවා. මේ යටතේ අත්අඩංගුවට ගැනීමක් හෝ භාරවීමක් සිදුවන විට පොලිසිය විසින් මහෙස්ත්‍රාත් වරයාට ඉදිරිපත් කෙරෙන සැකකරුවෙක් නඩු විභාගයකින් තොරව වසරකට නොවැඩි කාලයක් පුනරුත්ථාපනයට යැවීමට මහෙස්ත්‍රාත්වරයාට හැකි බව අනාවරණය වෙනවා.

සාමාන්‍ය වශයෙන් මෙවැනි අවස්ථාවක රජය වෙනුවෙන් ඉදිරිපත් වන නීතිපතිවරයා එක් පාර්ශ්වයක කරුනු දැක්වීමෙන් පමණක් සාධාරණ වන්නේ නෑ. සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වන නීතිඥවරුන්ට තම පාර්ශ්වය සම්බන්ධ කරුණු දක්වා යුක්තිය පසිඳලීමේ අවස්ථාවක් ලබා ගත යුතුයි. ඒ විතරක් නෙවෙයි, රෙගුලාසිවල හත්වන වගන්තියේ ඇති ආකාරයට ආරක්ෂක ඇමතිවරයාට නිදහස් කිරීමට හෝ මාස 6ක දෙවාරයක් දීර්ඝ කිරීමට හැකියාව ලැබෙනවා.

මේ රෙගුලාසිවල අරමුණ ලෙස අවසාන වශයෙන් හැඟී යන්නෙ මොකක්ද? ඉතාම පැහැදිලි කාරණය තමයි, අත්අඩංගුවට ගත් පුද්ගලයෙක්, නඩු විභාගයකින් තොරව දෙවසරක් සිරගත කිරීමේ අවස්ථාවක් මෙයින් ආණ්ඩුව ගබා ගන්නවා. මේ රෙගුලාසි පැනවීමම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. පුරවැසියන් සතු අයිතිවාසිකම් ලෙස ව්‍යවස්ථාවෙ සඳහන් වෙන්නෙ සාධාරණ හේතුවකින් තොරව අත්අඩංගුවට පත්වීමෙන් වැළකීමට අයිතියක් ප්‍රකාශ වෙනවා. ජනාධිපතිවරයා විසින් පනවා ඇති මේ රෙගුලාසි හරහා හිතුමතේ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නඩු විභාගයකින් තොරව සිරගත කිරීමේ අවශ්‍යතාවක් ප්‍රකාශ වෙනවා. මේක බිහිසුණු තත්වයක්.

මෙවැනි සැකකරුවකු නඩු නොඅසා සිරගත කිරීමට, මහෙස්ත්‍රාත්ට අවශ්‍ය වෙන්නෙනීතිපතිගෙ ලිඛිත නිර්දේශයක් පමණයි. නීතිපති නිර්දේශය යනු ජනාධිපති පත්කරන කෙනෙකු නිසා එවැනි අයෙකුගේ තීරණයක් යනු ජනාධිපතිවරයාගේ තීරණයක් ලෙස සැළකිය හැකියි. ඇමතිවරයාගේ නිගමන යනු ආරක්ෂක ඇමති වශයෙන් ජනාධිපති විසින්ම හෝ ජනාධිපති පත්කරන අයකුගේ තීරණයක්. මේ නිසා මෙවැනි දුර්දාන්ත නීතිමය පියවරයන් වහාම අහෝසි කළ යුතු බව අප පෙරටුාමී සමාජවාදී පක්ෂය ලෙස ආණ්ඩුවට බලකර සිටිනවා.

විශේෂයෙන්ම මේ මුලු සමාජයම, ආණ්ඩු පක්ෂයේ පුද්ගලයන් ඇතුළු සියලු දෙනාට අදාළවන අනතුරක්. නිදසුනක් හැටියට, පසුගිය යුද්ධය සමයේ අත්අඩංගුවට ගත් අය වසර 25ක් පමණ නඩු විභාගයකින් තොරව සිරගත කර තබා සිටිනවා. දැන් මේ කරන්න හදන්නෙ තවත් ඒ ආකාරයේ අත්තනෝමති පාලනයකට මග පාදා ගැනීමයි. විරුද්ධ මත දක්වන්නන් මර්දනය කිරීමේ මෙවැනි උත්සාහයන් අප සමාජයේ පවතින සීමිත නිදහස පවා උදුරාගැනීමක්.

ඒ නිසා මෙම බිහිසුණු තත්වය පරාජය කිරීමට අප පක්ෂය විසින් නෛතික, දේශපාලනික හා උද්ඝෝෂනික ආකාරයෙන් ගන්නට හැකි සියළු ක්‍රියාමාර්ග ගන්නා බවට ප්‍රකාශ කරනවා. මෙම අනතුර පරාජය කිරීමට ඒකරාශිවන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය හා මානව නිදහස ගරු කරන සියලු ජනතා බලවේග වෙතින් අප ඉල්ලා සිටිනවා.”