தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
නිදහස් අධ්‍යාපනය හා මිලිටරිකරණයට එරෙහි විරෝධතා දැක්වූවන් පසුපස පොලිස් දඩයමක්!. | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නිදහස් අධ්‍යාපනය හා මිලිටරිකරණයට එරෙහි විරෝධතා දැක්වූවන් පසුපස පොලිස් දඩයමක්!.



අධ්‍යාපනට පෞද්ගලිකකරණයට සහ මිලිටරිකරණයට එරෙහිව සටන් වදින ශිෂ්‍ය නායකයන්, වෘත්තීය සමිති නායකයන් සහ දේශපාලන ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගැනීමෙන් පසු, තවත් පිරිසක් දඩයම් කිරීමේ මර්දනකාරී මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබේ.

අගෝස්තු 03 වැනිදා ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය’ විසින් සංවිධානය කළ විරෝධතාවක් අවසන්ව නිවෙස් බලා යද්දී  අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින සිසු ජන ව්‍යාපාරයේ කෝෂිලා හංසමාලී පෙරේරා සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චමීර කොස්වත්ත තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවෙති. නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරයේ ප්‍රධාන පාර්ශ්වකරුවකු වන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, අධ්‍යාපන ගැටලු සම්බන්ධයෙන් වූ රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වී නවාතැන් බලා යමින් සිටියදී පාන්දර 3.30 ට පමණ බොරුපන ප්‍රදේශයේදී ඔහු ගමන් ගත් රථය නවතා තිබුණේ සිවිල් ඇදුමින් සැරසුණු පිරිසකි. අනතුරුව ඔහුගේ විරෝධය මැද අත්අඩංගුවට ගනු ලැබුවේ නිල ඇඳුමින් පැමිණි පොලිස් නිලධාරියකුගේ සහාය ලබා ගෙනය.
මේ වනවිට, පොලිසිය විසින් තවත් දේශපාලන ක්‍රියාකාරිකයන්, වෘත්තිය සමිති නායකයන් හා ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් පිරිසකගේ නම් ලැයිස්තු සූදානම් කරගෙන අත්අඩංගුවට ගැනීමට බලවත් උත්සාහයක් පොලිසිය විසින් ගෙන යමින් පවතී. සිවිල් ඇඳුමින් සැරසුණු ආරක්ෂක ඔත්තුකරුවන් හා පොලිස් නිලධාරින් විසින් ඇතැම් අයගේ නිවෙස්වලට ගොස් ඥාතීන් හෝ අසල්වාසින් ප්‍රශ්න කරමින් බියවැද්දීමේ නිරතව සිටින බව වාර්තා වේ.

පාර්ලිමේන්තුව අසළ විරෝධතාවට එක්වූවන් දඩයම

අගෝස්තු 3වැනිදා විරෝධතාවට සහභාගිවූවන් මෙන්ම එසේ විරෝධතාවන්ට කිසිදු සම්බන්ධයක් නැති දේශපාලන ක්‍රියාධරයන්ද තවදුරටත් අත්අඩංගුවට ගැනීමට ලුහුබඳින අතර සිටින බවද අවධානයට ගත යුතුව ඇත. අත්අඩංගුවට පත්වීමේ අභියෝගයට මුහුණ දෙමින්ම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරින් විසින් මෙම මර්දන තත්වය සම්බන්ධ සකස්කර ඇති තොරතුරු වාර්තාවකින් මෙකී දඩයම පිළිබඳ කරුණු හෙළි වේ.

චමීර කොස්වත්ත, අගෝස්තු 3 අත්අඩංගුවට ගන්නා ලදී.

එසේ තවදුරටත් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කොට තිබුණු ක්‍රියාකාරින් වන්නේ අ.වි. ශි බ. මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි, අ.වි.ශි.බ.ම ක්‍රියාකාරික අමිල සන්දීප, ලංකා බැංකු සේවක සංගමයේ ධනුෂ්ක, ලංකා වතුසේවක සංගමයේ චතුර සමරසිංහ, ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයේ ටැම්පිටියේ සුගතානන්ද හිමි, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමයේ තැන්නේ ඥාණානන්ද හිමි සහ විවෘත විශ්ව විද්‍යාලයේ සේවය කරන මහාචාර්ය මහිම් මෙන්ඩිස් ය. පොලීසිය අධිකරණය හමුවට කරුණු දක්වමින් වැඩිදුර පරික්ෂණ සඳහා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පුද්ගලයන් ලෙස හඳුන්වමින් පොලිසිය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කළ පුද්ගලයන් 13 දෙනෙකුගේ නාම ලේඛනයේ ඔවුන්ගේ නම් ඇතුළත්කර තිබේ.
කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව අගෝස්තු 3වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ පැවති සිසු විරෝධතාවයෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම් සහ ලුහුබැඳීම් ආරම්භ වූ අතර, උද්ඝෝෂණය අවසන්ව පැය කිහිපයක් ගෙවී යාමටත් මත්තෙන් පොලීසිය සහ සිවිල් කණඩායම් විසින් ශිෂ්‍ය ක්‍රියාකාරින් සොයමින් ඔවුන්ගේ නිවෙස් වෙත යෑමටත්, මහමග රැක සිට පැහැරගෙන යාමටත් පටන් ගැණුනි.

කෝෂිලා හංසමාලි, අගෝස්තු 3 අත්අඩංගුවට ගනු ලැබිණි.

පොලීසිය සහ හඳුනා නොගත් කණ්ඩායම්වල ලුහුබැඳීමට ගොදුරුව සිටින වැඩි පිරිසක් විශ්ව විද්‍යාල සිසුන් වන අතර සෙසු අය වෘත්තීය සමිති හා දේශපාලන ක්‍රියාකාරීන් බව අනාවරණය වේ. මේ අතර, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දෙනෙකු රාජ්‍ය මර්දනයේ ඉලක්ක බවට පත්ව ඇති බව අනාවරණය වී ඇත. අ.වි.ශි.බ.ම. නියෝජිතයන් විසින් කොළඹ පිහිටි තානාපති කාර්යාල වෙත භාර දුන් මෙම මර්දන තත්ව වාර්තාවේ ප්‍රකාශ වන අන්දමට අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහි ව හඩ නැගීම නිසා විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශකයකුව සිටි මේ වන විට විවෘත විශ්වවිද්‍යාල මහාචාර්යවරයකුවන මහිම් මෙන්ඩිස් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය අමින්ද ලක්මාල් මර්දනයේ ගොදුරු බවට පත්ව ඇත.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විරෝධතා මර්දනය කිරීම

අගොස්තු 5 වැනිදා විශ්වවිද්‍යාල ආචාර්යවරු විසින් කොළඹ නගරයේ කැඳවා තිබුණු මිලිටරිකරණයට විරෝධය පෑමේ උද්ගෝෂණයකට සහභාගි වීමට යමින් සිටි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම් සභාපති අමිල සන්දීප ශිෂ්‍යයා විශ්වවිද්‍යාලය අසළදීම කිසියම් පිරිසක් විසින් බලහත්කාරයෙන් වාහනයකට දමා ගෙන පැහැර ගෙන යන ලදී. මෙම සිදුවීම සම්බන්ධ ලැබුණු තොරතුරකට අනුව, ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන් අදාළ වන පොලිස් බල ප්‍රදේශය සලකමින් මිරිහාන පොලිසිය වෙත ගියද ඔහු අත්අඩංගුවේ පසුවන අයකු නොවන බව ප්‍රකාශ කර ඇත. විරෝධතාව පැවති පොලිස් බල ප්‍රදේශය අනුව, තලංගම පොලිසියෙන් විමසීමක් කළද ඔවුන්ද දන්වා ඇත්තේ තමන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන නැති බවය. කෙසේවෙතත් පසුදින ඔහු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තලංගම පොලිසිය කටයුතු කර තිබිණි.

වසන්ත මුදලිගේ, අගෝස්තු 6 අලුයම අත්අඩංගුවට ගන්නා ලදී.

ලිප්ටන් වට රවුමේ පැවති විරෝධතාවට සම්බන්ධ වී නැවත පැමිණෙමින් තිබූණු ආචාර්යවරුන් සහ සිසුන් රැගත් බස් රථය මග නවතා සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් බස් රථයට බලහත්කාරයෙන් ඇතුල් වී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය අමින්ද ලක්මාල්, බලහත්කාරයෙන් කැඳවා ගෙන යාමට සුදානම් වූහ. එයට විරෝධයක් එල්ල වීමත් සමග ඔවුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සෝදිසි කරන බව පවසමින් බස් රථය පරීක්ෂා කරනු ලැබීය. මෙසේ සිවිල් ඇඳුමින් පැමිනි පුද්ගලයා අනන්‍යතාව හෙළිකිරීමට එකඟ වී නැති අතර පසුව හඳුනාගෙන ඇති ආකාරයට ඔහු මිරිහාන පොලිසියේ නිලධාරියෙකි.

එම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ විරෝධතාවට සම්බන්ධ වීමට පැමිණි කැලණිය විශ්වවිද්‍යාලයේ දෙවන වසර ශිෂ්‍යයකු අත්අඩංගුවට ගනු ලැබීය. මීට අමතරව, තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා ඉලක්කකර ඇති ශිෂ්‍ය නායකයන් අතර උදාර සඳරුවන් සහ ඉන්දික විදානපතිරණද සිටී.

ශිෂ්‍ය නායකයන් හා දේශපාලන ක්‍රියාකාරින් ඉලක්ක කිරීම

විරෝධතාවලට සහභාගි වූ කම්කරු නායකයන්, ශිෂ්‍ය නායකයන් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් දඩයම් කිරීමක් ද පොලිසිය විසින් ආරම්භ කර තිබේ. අගෝස්තු 3 වැනිදා විරෝධතාවට එක් ව සිටි සුජිත් කුරුවිට ලුහුබැඳීමට පොලිසිය පියවර ගෙන ඇත. කෙසේවෙතත්, පෙ.ස.ප. මධ්‍යම කාරක සභිකයකු වන රවින්ද්‍ර මුදලිගේ මෙම විරෝධතා ව්‍යාපාරයට සහභාගි වූ අයකු නොවන අතර අගෝස්තු 5 වැනිදා රාත්‍රියේ ඔහුගේ නිවසට කිසිදු අධිකරණ නියෝගයක් නැතිව, බලහත්කාරයෙන් ඇතුළු වූ පොලිස් නිල ඇඳුමින් සැරසුණු දෙදෙනෙක් හා සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් නිවැසියන්ට තර්ජනය කර තිබේ. වඩාත් බරපතළ කාරණය වන්නේ ඔහුගේ මව්පියන්ගේ නිවසටද මෙසේ පොලිසිය කඩා පැන තිබීමය.

අමිල සන්දීප, අගෝස්තු 5 පැහැර ගෙන යන ලදී.

රාජාංගනය ප්‍රදේශයේ සැරිසරමින් විශ්වවිද්‍යාල සිසුන් ජීවත්වන නිවෙස්වල ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු සෙවීමට පොලිසිය උත්සාහ කර ඇත. පසුව අනාවරණය වූ ආකාරයට පෑලියගොඩ සහ රාජංගණය පොලිස් ස්ථානවල 20 දෙනෙකුගෙන් පමණ යුත් නිලධාරින් කණ්ඩායමක් අගෝස්තු 3, 4, 5 , 6 සහ 8 යන දිනයන්වල දිවා රෑ කිහිපවරක්ම මෙම ප්‍රදේශයේ සැරිසරා ඇත්තේ උදාර සඳරුවන් ශිෂ්‍යයා සෙවීම පිණිසය. අගොස්තු 6වැනිදා පෑලියගොඩ පොලිසියේ බව කියමින් ඔහුගේ නිවසට පැමිණි නිලධාරින් ශිෂ්‍යයා නිවසේ නොමැති බැවින් වහාම ඔහු තමන් වෙත භාර දෙන ලෙසත් තමන් ආපසු එන බවත් තමන්ගෙන් මිදීමට උත්සාහ නොකරන ලෙසත් නිවැසියන්ට තර්ජනාත්මකව පවසා ඇත. පොලීසිය මෙසේ ඉලක්ක සහගතව  සිසුන් සහ වෘත්තීය සමිති ක්‍රියාකාරින්ව අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් ඇත්තේ රාත්‍රි කාලයේදීවීම විශේෂයෙන් අවධානයට ලක්වන කරුණකි.

සිවිල් කණ්ඩායම් ක්‍රියාත්මකවීම සහ නිවැසියන් බියවැද්දීම

මේ අතර, සිසු-ජන ව්‍යාපාරය සහ වෙනත් බහුජන සංවිධානවල සහභාගීත්වයෙන් අගෝස්තු 3 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ පැවති උද්ඝෝෂණයට එක් වූවන් දඩයම් කිරීමේ පොලිස් මෙහෙයුම් සම්බන්ධ අනාවරණය වූ කරුණු ද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සකස්කර ඇති වාර්තාවේ සඳහන්කර ඇත. ඒ අනුව, අගෝස්තු 4 වන දින සිවිල් ඇඳුමින් සැරසුණු හඳුනා නොගත් කණ්ඩායමක් මාතර, ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ධම්මික මුණසිංහගේ ගන්දර පිහිටි නිවසට ගොස් ඔහුගේ බිරිඳගෙන් දීර්ඝව ප්‍රශ්න කර කිසිදු අධිකරණ නියෝගයක්ද නොමැතිව නිවස පරීක්ෂා කර ඇත.

රවින්ද්‍ර මුදලිගේ සොයා බලහත්කාරයෙන් නිවසට කඩා වැදීම.

එම දිනයේ ම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් කණ්ඩායමක්වතු සේවා සංගමයේ චතුර සමරසිංහ සොයමින් කොළඹ වතු සේවා සංගම් කාර්යාලයටත්, ඔහුගේ මිතුරෙකුගේ නිවසටත් ගොස් ඔහු පිළිබඳව සොයා බලා ඇත. චතුර සේවය කරන මතුගම ක්ලවුඩ් වතුයායේ කාර්යාලයටත්, එදින රාත්‍රියේ කලවාන පිහිටි ඔහුගේ නිවසටත් යමින් අත්අඩංගුවට ගැනීමක් සඳහා උත්සාහ දරා තිබේ. පසුදිනයේ චතුරගේ ඥාති සහෝදරයෙකුගේ නිවසක් පරික්ෂා කිරීමට පොලිස් කණ්ඩායමක් පැමිණ ඇත්තේ ඔහු එම නිවසේ සැඟව ඇතැයි තොරතුරු ලැබුණු බව පවසමිනි.
එසේම, රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්, ඉන්දික විදානපතිරණ අත්අඩංගුවට ගැනීම පිණිස අගෝස්තු 5 වැනිදා ඔහු පදිංචි මොරවක නිවස වෙත ගොස් තිබෙන්නේ සිවිල් ඇඳුමින් සැරසුනු 5 දෙනකුගෙන් යුත් පොලිස් නිලධාරීන් කණ්ඩායමකි. ඉන්දික වහාම පොලිසියට භාර දෙන්නැ යි මෙම පිරිස නිවසේ වූවන්ට තර්ජනය කර තිබේ.

ඒකාබද්ධ ගුරුසේවා සංගමයේ අමිල සඳරුවන් අත්අඩංගුවට ගැනීමේ අරමුණින් අගෝස්තු 5 වැනිදා සෙවණගල ඔහුගේ නිවසට ගිය පොලිස් කණ්ඩායමට පෑලියගොඩ පොලිසියේ අපරාධ අංශයේ නිලධාරින් 6දෙනකු සමග සෙවනගල පොලීසියේ නිලධාරින් දෙනෙකු සහභාගි වී ඇත. එහිදී ඔහුගේ පියා අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කර ඇති අතර ඥාතීන් සම්බන්ධ විස්තර පවසමින් ඔවුන්ගේ දුරකථන අංක ලබා දෙන ලෙස බලපෑම් සිදු කර ඇත. අමිල සඳරුවන් සේවය කරන කොළඹ මහානාම විදුහලේ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති හා සහකාර විදුහල්පති අමතා පොලිසිය යැයි පවසමින් ඔහු සිටින ස්ථානය සම්බන්ධ තොරතුරු ලබා දෙන ලෙස බලපෑම් සිදු කර ඇත.

හේෂාන් හර්ෂණ, අගෝස්තු 13 අත්අඩංගුවට ගනු ලැබීණි.

රජරට විශ්ව විද්‍යාලයේ හේෂාන් හර්ෂණ ශිෂ්‍යයා ලුහුබැඳ ගිය තලංගම පොලිසිය විසින් ඔහු අත් අඩංගුවට ගනු ලැබූවේ අගෝස්තු 13 වැනිදා සවසය.

විරෝධතාවලට සේවා සපයන්නන් ලුහුබැඳීම

අගෝස්තු 9 වන දින මහනුවර ප්‍රභාත් ජයසිංහ නැමැති අයෙකුවද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. අගොස්තු 3 වනදා පැවති උද්ඝෝෂණයට ප්‍රවාහන කටයුතුවල යෙදී ඇති වෑන් රථ රියදුරන් තිදෙනෙකු පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.  මැදිරිගිරියේ පදිංචි ජයන්ත උපුල් කුමාර, තිස්සමහාරාමේ රංජිත් අමල් සහ ගම්පල පදිංචි නිලවීර වීරතුංග මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම විරෝධතාවට ශබ්ද විකාශන යන්ත්‍ර සැපයු සේවා ආයතන හිමිකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම නිරන්තරව උත්සාහ දරා ඇත.

තලංගම, මිරිහාන, පෑලියගොඩ සහ වැලිකඩ යන පොලිස්ථානයන්වල නිලධාරින් විසින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරින් දඩයම් කිරීමක නිරතවී සිටන බව ඔවුන් විසින් සකස් කොට ඇති වාර්තාවෙන් අනාවරණය වේ. මීට අමතරව, පාර්ලිමේන්තුව අසළ විරෝධතාවට සහභාගිවූ දේශපාලන ක්‍රියාකාරිකයන් හා වෘත්තීය සමිති ක්‍රියාකාරින්ව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ගෙන යන දඩයම් මෙහෙයුම්වලට ඔවුන් පදිංචිව සිටින ප්‍රදේශවල පොලිස් ස්ථානවලට නිලධාරීන් යොදවා ඇත.

මේ වන විට විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ අවස්ථා ගණනාවකදී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් භාෂණයේ හා ඒකරාශිව විරෝධය දැක්වීමේ අයිතිවාසිකම්  නොසළකා හැරීම සම්බන්ධයෙන් විනිසුරුවරුන් විසින් පොලිසියට අවවාදකර ඇත. නීතිය අනුව, කිසියම් වරදක් සම්බන්ධ චෝදනා තිබේ නම් මිස, නිරෝධායන පනත යටතේ හෝ වෙනත් අදාළ නොවන චෝදනා මත විරෝධතාකරුවන් අධිකරණය හමුවට ගෙන ඒමෙන් වළකින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පොලිස් නිලධාරින්ට තරයේ අවවාද කර තිබිණි. මෙවැනි විරෝධතා හේතුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණ ශාලාවේ සිටින සියලු නීතිඥයන් ඉදිරිපත්වීමද ඇතැම්විට පොලිසියේ අත්තනෝමතික මර්දනකාරි පියවරයන්ට අභියෝගයක් ලෙස දක්නට ලැබේ.

කෙසේවෙතත්, විරෝධතා මැඩ පැවැත්වීමට පියවර ගැනීම සඳහා පොලිසිය මෙහෙයවනු ලබන්නේ සෞඛ්‍ය සේවය සහ අධ්‍යාපනය වැනි මහජන අයිතීන් පෞද්ගලික ප්‍රාග්ධනයට නතු කිරීමටත් ඒ වෙනුවෙන් මිලිටරි ව්‍යුහයක් බිහි කිරීමෙන් හෝ පියවරක් ඉදිරියට තැබීමට උත්සාහ දරණ වත්මන් පාලක කණ්ඩායම විසින් බව සැඟවිය නොහැකි සත්‍යයකි. ජනතාව සතු නිදහස් අධ්‍යාපන අයිතිවාසිකම් නොසළකමින් පෙර පැවති ආණ්ඩු සේම ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීමට ඉක්මන් වන්නේ පවතින ආර්ථික අර්බුදයෙන් ගැලවීමට විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමේ හැකියාවක් එයින් උදා කර ගැනීමටය.

මර්දනයේ ඉලක්ක බවට පත්වූ වෘත්තිය සමිති නායකයන්, ශිෂ්‍ය, දේශපාලන හා සමාජ ක්‍රියාකාරිකයන්