தமிழ்
English
Contact
Tuesday 29th November 2022    
පක්ෂය, මහජන ව්‍යාපාරය සහ පොදු ජනාවබෝධය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පක්ෂය, මහජන ව්‍යාපාරය සහ පොදු ජනාවබෝධය



අරගලකාරී ක්‍රියාවලියකින් පසුව, විශේෂයෙන් ජයග්‍රහණයක් වෙනුවෙන් නැවත සංවිධානය කළ යුතු අරගලයක අත්දැකීම් පිළිබඳ නැවත හැරී බැලීමක් කිරීම අරගලයේ අරමුණු ජයග්‍රහණය කිරීමේ මූලික අවශ්‍යතාවකි. අරගලයට පක්ෂපාති මත දක්වන්නකු ලෙස සුමිත් චාමින්ද විසින් මෙම ලිපියෙන් උත්සාහ කරන්නේ අරගලය නැවත කියැවීමට උත්සාහ දරන දෙශපාලන විවේචන විශ්ලේෂණය කිරීමටය.

(උපුටාගැනීමකදී කර්තෘ අයිතිය සුරකින්න)

අප මේ පසුකරමින් සිටින්නේ අරගලයේ පළමු අදියර පිළිබඳ ප්‍රත්‍යාවලෝකනයක නිරත විය යුතු මොහොතකි. ඉදිරියේදී තවදුරටත් තීව්‍ර වීමට ඉඩ තිබෙන ආර්ථික අර්බුදයේ ප්‍රහාරය හමුවේ අරගලය නව ස්වරූපයකින් නැවත මතු වීමට විශාල හැකියාවක් පවතී. ඊට පෙර අප අරගලය විසින් අපට උගන්වනු ලබන පාඩම් ගැන ගැඹුරු සිතා බැලීමක යෙදීම ප්‍රයෝජනවත්ය.

මා මීට ඉහතදීද තර්ක කර ඇති පරිදි කිසිදු දේශපාලන පක්ෂයක හෝ සංවිධානයක නායකත්වයෙන් තොරව පුළුල් මහජන නැගී සිටීමක් සිදු වීම සහ එම නැගී සිටීම අඛණ්ඩව මාස ගණනාවක් පැවතිය හැකි වීම අරගලයේ පසුගිය අදියරේදී නිරීක්ෂණය කළ හැකි වූ වැදගත් කාරණයකි. ඇතැමුන් විසින් එය නිර්පාක්ෂික අරගලයක් යැයි හඳුන්වනු ලැබුවේද එම සුවිශේෂී ගති ලක්ෂණය නිසාය. යම් හෙයකින් කිසියම් තනි පක්ෂයක හෝ සංවිධානයක නායකත්වය යටතේ අරගලය කැඳවනු ලැබිණි නම්, එය මෙතරම් සාංසිද්ධික වැදගත්කමක් නොගන්නට හොඳටම ඉඩ තිබිණ. විශේෂයෙන්ම අළුත දේශපාලනීකරණය වූ පුළුල් සමාජ ස්ථර ගණනාවක් අරගල බිමට පැමිණියේ එය සාම්ප්‍රදායික පක්ෂ නායකත්වයක කැඳවීම යටතේ සිදු නොවීම නිසාය. අරගලයේ මෙම සුවිශේෂී දේශපාලන චරිත ස්වභාවය වටහා ගැනීමට අසමත් වූ සාම්ප්‍රදායික පක්ෂ නායකත්වයන් ආරම්භයේ සිටම එය දෙස සැක සහිතව බැලීම පුදුමයට කරුණක් නොවේ. 

අරගලයේ මීළඟ අදියර සිදුවන්නේ ජාතික ජන බලවේගයේ මෙහෙයවීම යටතේ යැයි එහි නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කොට ඇතැයි පසුගියදා වාර්තා වී තිබිණ. ඔහු සැබවින්ම එසේ පැවසුවේ නම්, එයින් කියැවෙන්නේ අරගලය විසින් නිර්මාණය කෙරුණු නව දේශපාලනයේ ගති සොබාවය වටහා ගැනීමට ඔහු තවමත් සමත් වී නොමැති බවය. නොඑසේනම්, ගතානුගතික පක්ෂ දේශපාලනයේ රාමුවෙන් පිටත සිදුවන මහජන නැගී සිටීම්වල දේශපාලන ගතිකත්වයන් පිළිබඳ න්‍යායික අවබෝධයක් ජාජබ නායකත්වය සතුව නොමැති බවය. වත්මන් අරගලය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි පක්ෂයක් වන ජාජබ පවා එවන් දේශපාලන අනවබෝධයක් ප්‍රකට කිරීම සැබවින්ම කණගාටුදායකය. 

ශ්‍රී ලංකාවට තරමක් අලුත් වුවද පසුගිය දශක ගණනාවක් පුරාම ලෝකයේ විවිධ තැන්වල සංස්ථාපිත පක්ෂ හා සංවිධානවල මෙහෙයවීමෙන් තොරව මෙවන් පුළුල් මහජන නැගී සිටීම් සිදුව ඇත. ඒවා දේශපාලන විද්‍යා වදන් කෝෂය තුළ සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ නව සමාජ ව්‍යාපාර යන යෙදුමෙන්ය. 1999 සියැටල් විරෝධය, 2011 වෝල් වීදිය අත්පත් කරගැනීමේ ව්‍යාපාරය, ගෝලීයකරණ විරෝධී ව්‍යාපාර, 2020 ‘කළු ජීවිත වටී’ විරෝධතා ව්‍යාපාරය, පාරිසරික විපර්යාසයට එරෙහි සමකාලීන තරුණ හා ශිෂ්‍ය ව්‍යාපාරය ඒ සඳහා නිදසුන් කිහිපයක් පමණි. එවන් ව්‍යාපාර කිසියම් සිරස් නායකත්ව රටාවකට අනුව මුළුමනින්ම මෙහෙයවිය නොහැකිය. එම මහජන නැගිටීම්වල මීළඟ අදියර සිදුවන්නේ තම පක්ෂයේ මෙහෙයවීම යටතේය වැනි කතාවක් ලොව කොතැනක වුවත් අතාර්කික වන්නේ එබැවිනි. ඒ වෙනුවට ලොව පුරා සංස්ථාපිත පක්ෂ පොර බදන්නේ ජාලගත සබඳතා ගොඩ නැගීම ඔස්සේ තිරස්ව ව්‍යාප්ත වන නව සමාජ ව්‍යාපාරවල වැදගත් කොටස්කරුවන් බවට පත්වන්නේ කෙසේද යන ගැටළුව සමගය. නව දේශපාලන ප්‍රවේශයක් සහ න්‍යායික මග පෙන්වීමක් අවශ්‍ය වන්නේ එම උපායමාර්ගික ගැටළුව විසඳාගැනීම සඳහාය. 

භූපති ප්‍රවාදයේ ගැටළුව 
අනුර කුමාරගේ ප්‍රවේශයේම වඩාත් ශාස්ත්‍රීය ප්‍රකාශනයක් මා මිත්‍ර භූපති නලින් වික්‍රමගේ ලියූ ‘අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්’ (2022) කෘතිය තුළ හඳුනාගත හැකිය. පසුගිය අප්‍රේල් මාසයේදී ඇරඹුණු ලාංකීය මහජන නැගී සිටීම තුළ භූපති දකින ප්‍රධාන නිශේධනීය ලක්ෂණ වන්නේ අරගලයේ නිරත ජනයාට පැහැදිලි දේශපාලන විඥානයක් නොතිබීම, ඔවුන් විසිරුණු සහ අසංවිධානාත්මක ‘මිනිස් සමූහ’ රාශියක් වීම, එයින් බහුතරයක් දෙනා මධ්‍යම පන්තික පුද්ගලවාදය විසින් මෙහෙයවනු ලැබීම, එබැවින් අරාජකවාදය අරගලයේ දෘෂ්ටිවාදය බවට පත් වීම, ඒ තුළ පන්තිය වෙනුවට මහජනතාව ආදේශ වීම යනාදියයි. ඒ අනුව, ඔහු ප්‍රශස්ත අරගලයක් ලෙස පරිකල්පනය කරන්නේ පැහැදිලි දේශපාලන විඥානයක් සහිතව, කිසියම් සංවිධානාත්මක ඉලක්කයක් සහිතව, සාමූහික දේශපාලන නිෂ්ටාවක් ඇතිව, පැහැදිලි දේශපාලන වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරමින් පන්තිය මූලික කොටගෙන සිදුවන අරගලයක් විය යුතුය. 1917 රුසියානු ඔක්තෝබර් විප්ලවයට පසුබිම සැකසූ මහජන නැගී සිටීම පවා භූපති පරිකල්පනය කරන ආකාරයේ ප්‍රශස්ත අරගලයක් නොවූයේය යන කාරණය මදක් පසෙකින් තබමු.               

භූපතිගේ ප්‍රවාදයේ මූලික ගැටළුව වන්නේ එය දැනුම සහ සත්‍යය පිළිබඳ යුරෝපීය ප්‍රබුද්ධත්ව චින්තන ධාරාවේ එන ප්‍රශ්නකාරී උපන්‍යාසයක් මත පදනම් වී තිබීමයි. එම උපන්‍යාසය වන්නේ විද්‍යාත්මක දැනුමට සාපේක්ෂව ගත් කල සාමාන්‍ය ජනයාගේ මතයන්  හුදෙක් මිත්‍යා විශ්වාස, අගතීන්, මුග්ධ හෝ අතාර්කික අදහස් හෝ නිරර්ථක දේ ලෙසින් සැලකීමයි. යුරෝපීය ප්‍රබුද්ධත්ව ව්‍යාපාරයේ ප්‍රමුඛයෙකු වූ ඩේවිඩ් හියුම්ට අනුව මානවයින් වනාහී හුදෙක් ‘හැඟීම් මිටියක්’ පමණි. ප්‍රබුද්ධත්වයේ මෙම ප්‍රභූවාදී දැක්මට අනුව සත්‍යය සහ මානව විමුක්තිය කරා වූ මාර්ගය වැටී ඇත්තේ විද්‍යාත්මක දැනුම ඔස්සේය. එබැවින්, විමුක්ති දේශපාලනයද සංවිධානය විය යුත්තේ වඩා විධිමත්, දාර්ශනික සහ විද්‍යාත්මක දැනුමක් සහිත වෘත්තීය නායකයින් සහ ක්‍රියාධරයන් යටතේය. එවන් ක්‍රියාධරයන්ගෙන් සමන්විත විප්ලවවාදී පක්ෂය නෛසර්ගිකවම පොදු ජනයාට ඉදිරියෙන් සිටී. භූපති ඔහුගේ කෘතිය තුළ පවසන පරිදි දේශපාලනය යනු වෘත්තීය භාවිතයක් වන අතර වාමාංශික දේශපාලන ක්‍රියාධරයා යනු එවන් විශේෂඥයෙකි (ඉහත කෘතිය, පි.09). දැනුම, සත්‍යය සහ මානව විමුක්තිය පිළිබඳ මෙම ප්‍රභූවාදී ස්ථාවරය භූපති පවා පරිශීලනය කරන සමකාලීන සමාජ න්‍යායෙහි විවිධ ධාරා විසින් විවේචනයට ලක් කරනු ලැබ ඇත.

සරදම්ජනක ලෙස භූපති තේරුම් කරන්නට ප්‍රයත්න දරන ‘අප්‍රේල් නැගිටීම’ වැනි මහජන නැගී සිටීම් වනාහී ප්‍රබුද්ධත්වයේ උරුමයක් වූ දේශපාලනය පිළිබඳ ප්‍රභූවාදී මතය අභියෝගයට ලක් කරන සංසිද්ධීන් වේ. 1960 දශකයෙන් පසු යුරෝපය තුළ වර්ධනය වූ රැඩිකල් සමාජ න්‍යායේ විවිධ ධාරාවන් මගින් තේරුම් කරන්නට ප්‍රයත්න දැරූ ගැටළුවක් වූයේ ’68 ශිෂ්‍ය අරගල හමුවේ සංස්ථාපිත වාමාංශික පක්ෂ අසමත් වූයේ මන්ද යන්නයි. අර්නෙස්ටෝ ලැක්ලාවූ සහ ශන්තාල් මූෆ්ගේ පශ්චාත්-මාක්ස්වාදී න්‍යායික ව්‍යාපෘතිය මගින් විසඳන්නට ප්‍රයත්න දැරුණු ගැටළුව වූයේද නව සමාජ ව්‍යාපාරවල යුගයේදී සමාජවාදී දේශපාලනයේ උපායමාර්ගය විය යුත්තේ කුමක්ද යන්නයි. 

මෙම න්‍යායික සංවාදය මුළුමනින්ම නොතකා හරින භූපති ලාංකීය අරගලය හුදෙක් මධ්‍යම පන්තික, පුද්ගලවාදී, අරාජක එකතූන් (නොහොත් ඔහුගේ වචනයෙන් කිව හොත්, බුබුළු) රැසක් ලෙස දකී. ඔහුට අනුව, එම බුබුළු අතර සංනිවේදනයක්, සංවාදයක් හෝ තාර්කික සම්බන්ධයක් නොමැති අතර, ඒවා නිශ්චිත දේශපාලන දැක්මක් හෝ නායකත්වයක් අනුව සංවිධානය වී නොමැත. සමස්ත අරගලය ගාලු මුවදොරට ඌනනය කරමින්ද, සමස්ත විරෝධතාව මධ්‍යම පන්තික පුද්ගලවාදයේ ප්‍රකාශනයකට ඌනනය කරමින්ද ඔහු ‘අප්‍රේල් නැගිටීම්’ නිශේධනීයව දකින බැවින් අරගලයට අදාළ වඩාත් වැදගත් උපායමාර්ගික ගැටළු ඔහුට මග හැරෙයි. එනම්, විසිරුණු බහුවිධ එකතූන් රැසක් ලෙසින් මිස අන් ලෙසකින් මෙවන් මහජන නැගී සිටීමක් සිදු විය හැකිව තිබුණාද, එම නැගී සිටීම තුළ නිර්මාණය වූ බුබුළු කිසියම් සිරස් පක්ෂ හෝ සංවිධාන ආකෘතියක් තුළට ඇතුල් කරගත හැකිද, නොඑසේනම් ඒවා අතර සුසම්බන්ධයක් ගොඩ නැගීමේ වෙනත් උපායමාර්ගයක් පරිකල්පනය කළ නොහැකිද යනාදී ප්‍රශ්නයි. 

මේ ප්‍රශ්න මග හැර යන භූපති තම කෘතිය තුළ නැවත නැවතත් මතු කරන “කළ යුත්තේ කුමක්ද” යන ප්‍රශ්නයට සංයුක්ත පිළිතුරක් ගොණු කරන්නට අසමත් වීම පුදුමයට කරුණක් නොවේ. ප්‍රායෝගිකව ඔහුගේ ප්‍රවේශය වඩාත් සමීප වන්නේ ඔහුම ප්‍රතික්ෂේප කරන බව පවසන සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රවේශය සමගය. මේ වනාහී නව සමාජ ව්‍යාපාරවල යුගයේ විමුක්ති දේශපාලනයේ උපායමාර්ග පිළිබඳ සමස්ත දේශපාලනික සහ න්‍යායික සංවාදය නොතකා හැර ප්‍රබුද්ධත්වවාදී, ප්‍රභූවාදී සහ ලෙනින්වාදී ගතානුගතිකත්වයේ රාමුව ඔස්සේ අරගලය විචාරය කිරීමකට වැඩි යමක් නොවේ.                     

සංවිධානය සහ ස්වේච්ඡකතාව
මහජනයාට ඉහළින් සිටිමින් ඔවුන්ට අධ්‍යාපනය රැගෙන ගොස් ඔවුන් විද්‍යාත්මක දැක්මක් ඔස්සේ සංවිධානය කරන ක්‍රියාධරයන්ගේ සංවිධානයක් නොහොත් පක්ෂයක් පිළිබඳ අදහස මාක්ස්වාදී බුද්ධිමය සම්ප්‍රදාය තුළද හඳුනාගත හැකිය. ‘අරගලය සිදු විය යුතුව තිබුණේ වෘත්තීය ක්‍රියාධරයන්ගේ සංවිධානාත්මක නායකත්වයක් යටතේය’ යන මතය සසප සිට ජවිපෙ/ජාජබ ඔස්සේ භූපති දක්වා ගලා එන්නේ එම මාක්ස්වාදී (සහ ලෙනින්වාදී) චින්තන සම්ප්‍රදායේ ආභාසය යටතේය. එම සම්ප්‍රදායට අනුව මහජනයා අතර දැනටමත් පවතින ලෝක දැක්ම වටහාගනු ලබන්නේ පාලක පන්තිය විසින් ඉහළ සිට හැඩ ගස්වනු ලැබූවක් ලෙසිනි. මන්දයත්, “යුගයක රජයන අදහස් එම යුගයේ පාලක පන්තියේ අදහස් වන” බැවිනි. මෙහිදී මහජනයාගේ ලෝක දැක්ම සමජාතීය වූවකි. එසේම එය ඉහළින් පහළට කාන්දු වන්නකි (trickle down). ඊට එරෙහිව වෘත්තීය විප්ලවවාදීන් විසින් කරනුයේ විප්ලවීය ලෝක දැක්ම කම්කරු පන්තිය වෙතට රැගෙන යාමය. එහිදී යළිත් එම විප්ලවීය ලෝක දැක්මද සමජාතීය වන අතර එය ඉහළ සිට පහළට කාන්දු වන්නකි.

කෙසේ වුවත්, මහජනයා සංවිධානය කිරීම පිළිබඳ මෙම ප්‍රභූවාදී ප්‍රවේශයට වෙනස් ප්‍රවේශයක් අපට මාක්ස්වාදී කතිකාව තුළින්ම හඳුනාගත හැකිය. එම ප්‍රවේශය ගොඩ නැගී වර්ධනය වී ඇත්තේ මාක්ස්වාදයේ චූල සම්ප්‍රදායක් ලෙසින් යැයිද කිව හැකිය. මහජනයාගේ ස්වේච්ජාමය ක්‍රියාකාරීත්වයේ වැදගත්කම අවධාරණය කළ එම ප්‍රවණතාවයේ ප්‍රධාන ප්‍රකාශකයින් වූයේ රෝසා ලක්සම්බර්ග්, ජෝජ් සොරෙල් වැනි අයයි. නිර්ධනීය මහජන ව්‍යාපාරයන්හී ස්වේච්ඡකතාව (spontaneity) සහ නිර්මාණශීලීත්වය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් හඳුනාගත යුතු බව ලක්සම්බර්ග් අවධාරණය කළාය. ස්වේච්ජාමය ක්‍රියාකාරීත්වයේ වැදගත්කම පිළිබඳ සොරෙල්ගේ අවධාරණය අරාජකවාදය අගයන තරම් දුරට ගමන් කළේය. මාක්ස්වාදී සාහිත්‍ය තුළ ප්‍රචලිත වූ සංවිධානය සහ ස්වේච්ඡකතාව පිළිබඳ විවාදය ගොඩ නැගුණේ මෙම විරසකය පදනම් කොටගෙනය.

කිසිදු ආකාරයේ සිරස් සංවිධාන ආකෘතියකින් තොරව මහජනයාගේ ස්වේච්ජාමය ක්‍රියාකාරීත්වය ඔස්සේ පමණක් සිදු වන දේශපාලන පරිවර්තනයක් සමාජවාදීන් විසින් අපේක්ෂා කළ යුතුද? එවන් සිතීමක් දිශානත වනු ඇත්තේ අරාජකවාදය දෙසට නොවේද? අනෙක් අතින්, මහජනයා තුළින්ම පැන නගින දේශපාලනික ආකෘතීන් බැහැර කොට ඊනියා වෘත්තීය විප්ලවවාදීන්ගේ ඉගැන්වීම් අනුව දේශපාලනය සංවිධානය විය යුතු යැයි කල්පනා කිරීම චින්තනමය ලෙස ප්‍රභූවාදී සහ ප්‍රායෝගිකව අධිකාරීවාදී නොවේද? සංවිධානය සහ ස්වේච්ජකත්වය අරභයා මා මිත්‍ර නිර්මාල් දේවසිරි සහ භූපති නලින් අතර පවතින විරසකය තුළද ප්‍රතිරාව නැගෙන්නේ මාක්ස්වාදයේ න්‍යායික දේශපාලනික ඉතිහාසය පුරාම විවිධ ස්වරූපවලින් ඉස්මතු වූ  මෙම ප්‍රශ්න ය. 

පොදු ජන අවබෝධයේ දේශපාලන වැදගත්කම 
සංවිධානමය ක්‍රියාකාරීත්වය සහ මහජන ව්‍යාපාරවල ස්වේච්ජකත්වය අතර වන මෙම විරසකය ප්‍රායෝගික දේශපාලනය තුළ කිසිදාක සහමුලින්ම විසඳෙනු ඇතැයි සිතිය නොහැකිය. නමුත්, ඒ දෙක අතර අන්‍යොන්‍ය බහීෂ්කාරක සම්බන්ධයක් වෙනුවට අන්‍යොනයව පරිපූරක සම්බන්ධයක් යෝජනා කළ න්‍යායවේදියෙකු අපට මාක්ස්වාදී ඉතිහාසය තුළින්ම සොයා ගත හැකිය. ඒ සංවිධානමය ක්‍රියාකාරීත්වයට වැඩි වැදගත්කමක් දුන් කොමියුනිස්ට් පක්ෂයක නායකයෙකු වීමද වැදගත්ය. මා කතා කරන්නේ අන්තෝනියෝ ග්‍රාම්ස්චි ගැනයි. “බුද්ධිමතුන් දේවල් දන්නවා වුවත් ඔවුනට දේවල් දැනෙන්නේ නැත යන අදහස සේම සාමාන්‍ය ජනයාට දේවල් දැනුනද ඔවුනට දැන ගත නොහැකිය” යන අදහසද එකසේ සදොස් යැයි ග්‍රාම්ස්චි පැවසීය. ඔහුට අනුව, පොදු ජන අවබෝධය (common sense) යනු දාර්ශනිකයන් නොවන අයගේ දර්ශනයයි. එයින් හැඟවෙන්නේ මහජනයා අතරම පැන නගින ඓන්ද්‍රීය ලෝක දැක්මවල්ය. පොදු ජන අවබෝධය සමන්විත වන්නේ විසිරුණු, අසංවිධානාත්මක සහ පරස්පර දැක්මවල් වලිනි. නමුත්, එසේ වූ පමණින් පොදු ජන අවබෝධය ශාස්ත්‍රීය දර්ශනවාදයට වඩා පහතින් පවතින්නක් ලෙසින් ග්‍රාම්ස්චි නොදිටීය. ඒ වෙනුවට ඔහු දර්ශනවාදයේ ඉතිහාසය දුටුවේ පොදු ජන අවබෝධය තුළ පවතින ප්‍රතිවිරෝධතා විසඳීමේ ඉතිහාසයක් ලෙසයි.

මෙයින් අදහස් වන්නේ ග්‍රාම්ස්චි පොදු ජන අවබෝධය රොමාන්තිකකරණයට ලක් කළ බව නොවේ. ඒ වෙනුවට ඔහු කොමියුනිස්ට්වාදීන් පොදු ජන අවබෝධය වෙනස් කිරීමේ අරගලයක නිරත විය යුතු යැයි යෝජනා කළේය. මහජනයාගේ ඓන්ද්‍රීය ලෝක දැක්ම වෙනස් කිරීමේ එවන් අරගලයක් ඊනියා වෘත්තීය ක්‍රියාධරයන් විසින් ඉහළ සිට කිසියම් විද්‍යාත්මක දැනුමක් ඉගැන්වීමේ භාවිතයක් විය නොහැකිය. මාවෝ සේතුංගේ වචනයෙන් කිව හොත්, කොමියුනිස්ට්වාදීන් ජනතාවගෙන් උගත යුතුය. වත්මන් ලාංකීය සංදර්භයට අදාළව මහාචාර්ය ජයදේව උයන්ගොඩ වරක් ගාලු මුවදොර ගෝඨාගෝගම මහජන සරසවියේදී පැවසූ පරිදි අප අරගලයෙන් උගත යුතුය. එම ප්‍රකාශය තවදුරටත් විස්තාරණය කරන්නේ නම්, අප අරගලයේ නිරත මහජනයා විසින් ගොඩ නගන ලද නව තේරුම්, නව දේශපාලන භාවිතයන්, නව සංස්කෘතික වර්ධනයන්, නව සබඳතා රටාවන් මෙන්ම නව සංවිධාන ආකෘතීන්ද සංවිධානාත්මක දේශපාලන ක්‍රියාකාරීත්වයන් බවට පරිවර්තනය කරන්නට ප්‍රයත්න දැරිය යුතුය. අරගලය තුළින්ම මතු වූ මහජන කවුන්සල ගොඩ නැගීමේ අදහස එවන් විශිෂ්ට නව සොයා ගැනීමකි. භූපති නිශේධනීයව දකින අරගල බිමේ නව කලා-සංස්කෘතික භාවිතයන්, ප්‍රජා පුස්තකාල, චිත්‍රාගාර, පොදු කුස්සිය යනාදී බොහෝ දේ අනාගත ප්‍රති-හෙජමොනික දේශපාලන ව්‍යාපාරයක් විසින් උකහාගත හැකි නිර්මාණශීලී භාවිතයන්ය යන්න මගේ අදහසයි.

අවසන් වශයෙන් මෙයින් අදහස් වන්නේ සිරස් සංවිධාන ආකෘතීන් මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමක්ද නොවන බව කිව යුතුය. සංවිධානාත්මක පක්ෂ මහජන ව්‍යාපාරය තුළ කිසියම් දුරකට දියවී යා යුතු වුවත් නිර්මාල් දේවසිරි පවසන තරම් දුරට දියවී නොයා යුතුය. මන්දයත්, එවිට ඔවුනට ගොඩ නැගීමට කිසිවක් ඉතිරි නොවන බැවිනි. දැනටමත් අනවශ්‍ය තරම් දීර්ඝ වී ඇති මේ ලිපිය මෙතෙකින් නවතා එම තේමාව ඉදිරියට තබමි.                                                    
– සුමිත් චාමින්ද