தமிழ்
English
Contact
Friday 14th August 2020    
පරිසර ඇමති චන්ද්‍රසේන උත්සවාකාරයෙන් විල්පත්තු විනාශය අරඹයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පරිසර ඇමති චන්ද්‍රසේන උත්සවාකාරයෙන් විල්පත්තු විනාශය අරඹයි!



විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දකුණු සීමාවේ ප්‍රේරක කළාපය තුළ පිහිටි රාජාංගණය යාය 18 ප්‍රදේශයේ කෝමාරිකා වගා ව්‍යාපෘතියක් සඳහා අක්කර 100 කට වැඩි ප්‍රදේශයක වනය විනාශ කෙරේ.

“වියළි කලාපීය ග්‍රාමීය ආර්ථික සංවර්ධන කෝමාරිකා ව්‍යාපෘතිය” නමැති මෙම වගා ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරන්නේ ඕරා ලංකා හර්බල්ස් නම් සමාගමක් විසිනි. කෝමාරිකා වගා ව්‍යාපෘතියක් සිදුකරන්නට රාජාංගණය යාය 18 නීති විරෝධී ඉඩම් අත්පත් කරගැනීම සිදුවන බවත් එයට පරිසර හා ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන සහයෝගය දක්වන බවටද චෝදනා එල්ල වී ඇත. මෙම වන විනාශයට එරෙහිව මතුවන ජනතා විරෝධය මඟහරවා ගැනීම පිණිස එම ප්‍රදේශයේ ජනතාවට විවිධ ප්‍රතිලාභ ලබාදෙන බව පවසමින් ඔවුන් සතු බලපත්‍ර ඉඩම් පවරා ගනිමින් සිටින බවත් වාර්තා වෙයි.
මෙම කෝමාරිකා ව්‍යාපෘති සමාගමේ හිමිකරු ලෙස දොස්තර තාඹුගල නම් පුද්ගලයා පසුගිය 23 වන දින පරිසර හා ඉඩම් කැබිනට් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේනගේ ප්‍රධානත්වයෙන් යෝජිත කෝමාරිකා වගා ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. ඒ සඳහා රාජාංගණය, යාය 18, පනන්කානීය ඇල හරහා අමුණු වේල්ලක් ඉදිකිරීමේ වැඩ ආරම්භ කිරීමට පරිසර හා ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන විසින්ම බුල්ඩෝසරයක් හසුරුවා ඇත.
ලංකාවේ ජාතික පාරිසරික පනත අනුව දිවයිනේ ඕනෑම ප්‍රදේශයක හෙක්ටයාරයකට වැඩි භුමි ප්‍රදේශයක් යම්කිසි සංවර්ධන කටයුත්තකට හෝ වෙනත් ව්‍යාපෘතියකට යොදාගන්නේ නම් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුව ඇත. එහිදී මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටින ආකාරයේ මුලික පරිසර අධ්‍යයන වාර්තාවක් හෝ පරිසර හානි තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කිරීමද, ඉන්පසුව එය මහජන අදහස් විමසීමකට ලක් කිරීමෙන් පසුව මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබාගත යුතුව.
කෙසේවෙතත් මේ ආකාරයට ඇමතිවරයා විසින්ම ආරම්භකර ඇති විනාශකාරී මෙම විනාශකාරී ව්‍යාපෘතිය සිදුකෙරෙන ප්‍රදේශය විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයට අයත්ය. ජාතික පාරිසරික පණත, වන සත්ව හා වෘක්ෂලතා අඥා පණත, වන සංරක්ෂණ අඥාපණත මගින් පනවා ඇති සීමා උල්ලංඝනය කරමින් මෙම ව්‍යාපෘතිය ඇමතිවරයා විසින්ම ආරම්භ කිරීම නිසා වත්මන් ගෝඨාභය ජනාධිපතිවරයාගේ පාලනය සම්බන්ධ සත්‍ය හෙළිදරව් වී ඇත. තවද පුරාවිද්‍යා නටඹුන් බහුලව දක්නට ලැබෙන ප්‍රදේශයක් වන බැවින් එවන් ප්‍රදේශයක මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘතියක් සිදුකරන්නට පෙර කළ යුතු ආකාරයෙන් පුරාවිද්‍යා හානි ඇගයීම් වාර්තා හෝ පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ අවසරය ලබාගෙනද නැත.