தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
පවිත්‍රාදේවි කී අට්ඨකතාව ගැන පසු කියවීමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පවිත්‍රාදේවි කී අට්ඨකතාව ගැන පසු කියවීමක්!



අන්තිම වතාවට ඊශ්‍රායලය පලස්තීනයට බෝම්බ ගැසුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අන්තිමේ ජාතිය අමතා දින දහයකට රට lockdown කිරීමට සති කිහිපයකට ඉහතදීය.

සමහරවිට ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කළ රොකට් ප්‍රහාරය පවිත්‍රාදේවි රජතුමා හා පුරෝහිතයා ගැන පරණ කතාවක් කියමින් එල්ල කළ අතුල් පහර තරම් ප්‍රබල නොවන්නට ඇත. පවිත්‍රාදේවිට අනුව, රජතුමා විද්ද ඊතල එකක්වත් සතාට වැදුනේ නැත. ඒක ඇත්තය.

ඊටත් රජු ඇඟිල්ල කපා ගත්තේ කොහේවත් යන මැස්සෙකුට නිස්කාරණේ කඩුව වනන්නට ගොසිනි. යුද හරඹ දන්නා රජකු නම් මැස්සන්ට කොටන්න කඩුව අදින්නේ නැත. කඩුව යනු ලොකුම ආයුධයයි. පවිත්‍රාදේවිගේ ඒ කතාවත් ඇත්ත යැයි සිතේ.

වරද තමන්ගේ වුවත් රජු කළේ පුරෝහිතයා හිටුවා පස් ගැසීමයි. පවිත්‍රාදේවි ඒ කියන්නට ඇත්තේ තමන්ට සිදු වූ වින්නැහිය ගැන විය හැකිය. ඊළඟට රජු යන්න යන්න ආ පාරෙන් නොගොස් වෙන පාරක යයි. ඒකත් ඇත්තය.

අන්තිමට රජු ගෝත්‍රිකයන්ගේ අත්අඩංගුවට පත්වෙයි. මේ ගෝත්‍රිකයන් යැයි කියන්නේ හැට නම ලක්ෂය ගැන විය හැකිය. ඔවුන් රජු බිල්ලට දෙන්න හැදුවත් මේ රජු තමන් කලින් සිතා සිටි පරිදි සර්ව සම්පූර්ණ අයකු නොව අසම්පූර්ණ අයකු බව දැක නිදහස් කරයි. ගෝත්‍රිකයන් සිතන්නේ ඒ ආකාරයට බව ඔවුන් ගැන දන්නා පවිත්‍රාදේවි දනී.

රජු අන්තිමට පුරෝහිත ගෙන් සමාව ගැනීම පවිත්‍රාදේවිගේ හීනය මිස ඇත්තටම සිදු වන දෙයක් නොවේ. උද්දච්ච රජවරු හැමදාම කියන්නේ හොඳටම කළේ මම’ කියාය. කවදාවත් වරදක් පිළිගන්නේ නැත. කතාවේ පවිත්‍රාදේවිට වරදින තැන එතැනය.

විසි වැනිදා රෑ 10 සිට දින දහයකට රට lockdown කරන බව කීවේ එදින හැන්දෑවේය. සමහර බාලදක්ෂ, cadet, police, හමුදා, ක්‍රීඩා කණ්ඩායම් වල අණ දෙන්නන් “ඔක්කොම ලෑස්ති වෙලා විනාඩි පහෙන් පෙළ ගැහෙන්න” යැයි අණ දෙන අවස්ථා බොහෝ දෙනකු දැක ඇත. අවනතභාවය හා විනය පවත්වා ගැනීම සේම තමන් යටතේ සිටින අය කූඹි ගුලක් ඇවිස්සුණා සේ කලබල වීමෙන් කිසියම් සිඟිති ආතල් එකක් ද සමහරවිට මේ අණ දෙන්නන් ගන්නා බව නොරහසකි. රෑ දහයට රට lockdown කරන බව හැන්දෑවේ හදිසියේම කියා ගත්තේද එවැනි සිඟිති ආතල් එකක් දැයි අපි නොදනිමු.

ඊශ්‍රායලය පලස්තීනයේ මාධ්‍ය ගොඩනැඟිල්ලට රොකට් ප්‍රහාර එල්ල කිරීමට පැයකට පෙර “තව පැයකින් ගහනවා, කර ගන්න දෙයක් තියේනම් ඉක්මනට කරගනිල්ලා” යැයි කීවේය. ඒත් ඇය දුන්නේ ජීවිත බේරා ගන්නා අයට ජීවිත බේරගන්නය. බඩුමූට්ටු බේරා ගන්නා අයට බඩුමූට්ටු බේරාගන්නය. වෙන වැඩ කර ගන්නා අයට ඒවා කර ගන්නය.

සමහරවිට විසිවැනිදා හැන්දෑවේ මිනිසුන් පාරවල්වලට, කඩවල්වලට, super market වලට, ෂෙඩ්වලට, උකස් පෝලිම් වලට, තැබෑරුම් පෝලිම්වලට, බැංකු පෝලිම් වලට, එකී මෙකී නොකී හැම තැනකටම ගෙන්වා පුරවා සෙන්ටිමීටරේ පරතරේට හිරකරවා කලයුතු එවැනිම වෝනිං එකක් වන්නට බැරි නැත.

“රෑ දහයට රට වහනවා. මේ පැය දෙක තුනේ රිංගන්න පුළුවන් හැම පෙනහල්ලකටම රිංගපල්ලා…”