தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය බිලිදීම වෙනුවට යෝජිත මොරටුව වෛද්‍ය පීඨයට ප්‍රතිපාදන වෙන් කරනු! - අ.වි.ශි.බ.ම. | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය බිලිදීම වෙනුවට යෝජිත මොරටුව වෛද්‍ය පීඨයට ප්‍රතිපාදන වෙන් කරනු! – අ.වි.ශි.බ.ම.



මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන වෙන් නොකොට ඒ වෙනුවෙන් පස්දුන්රට අධ්‍යාපන විද්‍යාපීඨය වසා දැමීම සම්බන්ධව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධය පළ කරයි.
මේ සම්බන්ධ විරෝධය දක්වමින් අ.වි.ශි.බ.ම. විසින් නිකුත් කළ නිවේදනය පහත පළ වේ.

ප්‍රතිපාදන වෙන් කොට යෝජිත මොරටුව වෛද්‍ය පීඨය වහා ඉදි කරනු! පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය වසා දැමීම වහා නවතනු!

මොරටුව වෛද්‍ය පීඨය ඉදි කිරීමට ප්‍රතිපාදන වෙන් නොකර ඒ සඳහා කළුතර, පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය සතු සම්පත් යොදාගැනීම සඳහා ආණ්ඩුව උත්සාහ කරමින් සිටී. අධ්‍යාපන අවස්ථා පුළුල් කරන බවටත්, ප්‍රතිපාදන වෙන් කරන බවටත් මැතිවරණවලට පෙර ජනතාවට ඉදිරිපත් කළ පොරොන්දු, ප්‍රතිපත්ති ප්‍රකාශ ආණ්ඩුවට ඉතා ඉක්මනින් අමතකව ගොස් තිබේ. අධ්‍යාපනය විකුණන අණපනත් සම්මත කරගනිමින්, ප්‍රතිපාදන කප්පාදු කරමින් ආණ්ඩුව නිදහස් අධ්‍යාපනයේ මිනී වල කණිමින් සිටියි.

මෑතකාලීනව ඇති වූ දැවැන්තම ජනතා අරගලය සයිටම් හොර උපාධි කඩයට එරෙහි අරගලයයි. එය අධ්‍යාපනය විකුණන රාජ්‍ය ප්‍රතිපත්තිය හකුළාගත යුතු බවටත්, නිදහස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ යුතු බවටත් බලකරමින් සිදු කළ අරගලයකි. වෛද්‍ය උපාධි මුදලට විකුණන සයිටම් වැනි උපාධි කඩ ප්‍රතික්ෂේප කරමින් එම අරගලය තුළින් ජනතාව බල කර සිටියේ රජයේ වෛද්‍ය පීඨ පුළුල් කරන ලෙසයි. සබරගමුව හා වයඹ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ ආරම්භ වන්නේත් මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමට යෝජනා සම්මත වන්නේත් එම අරගලයේ ප්‍රතිඵල ලෙසිනි. මෙම පීඨය ඉදිකිරීම සඳහා කළුතර නාගොඩ ප්‍රදේශයේ අක්කර 11 ක භූමිභාගයක් මොරටුව විශ්වවිද්‍යාලයට දැනටමත් පවරාගෙන තිබේ. දැන් කළ යුත්තේ අවශ්‍ය මානව – භෞතික සම්පත් ලබාදී පීඨය ආරම්භ කිරීමයි. නමුත් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් පවතින්නේ එය නොවේ.

අධ්‍යාපන ප්‍රතිපාදන කප්පාදු කරමින්, උපාධි කඩ විවෘත කරමින් ආණ්ඩුව ක්‍රියාත්මක කරන ජනතා ද්‍රෝහී වැඩපිළිවෙලට කෝවිඩ් 19 වසංගතය වෙස්වලාගත් ආශිර්වාදයක් වී තිබේ. විශ්වවිද්‍යාල සඳහා වෙන් කළ සොච්චම් ප්‍රතිපාදන ප්‍රමාණයත් පසුගිය වර්ෂයට සාපේක්ෂව මෙම වසරේදී 60% ක ප්‍රමාණයකින් කප්පාදු කර තිබේ. රට තුළ වෙනත් සියලු ආයතන ආරම්භ කර තිබියදී විශ්වවිද්‍යාල පද්ධතිය පමණක් වසා දමා ති⁣බීමට මෙය ප්‍රධාන හේතුවකි. මොරටුව වෛද්‍ය පීඨය සඳහා ⁣දැනටමත් ඉඩමක් පවරාගෙන තිබියදීත් එහි ඉදිකිරීම් නොකර පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට අයත් සම්පත් උදුරාගැනීම එම ප්‍රතිපාදන කප්පාදුවේම ප්‍රතිඵලයකි.

වෛද්‍ය පීඨයක් ආරම්භ කළ බව කියමින් දේශපාලන වාසි ගැනීම විනා ප්‍රතිපාදන වෙන් කොට මොරටුව වෛද්‍ය පීඨය ඉදිකිරීමට කිසිඳු අවශ්‍යතාවක් ආණ්ඩුවට නැත. වයඹ හා සබරගමුව වෛද්‍ය පීඨ ආරම්භ කර වසර තුනක් ගතවී ඇතත් එම පීඨ සඳහා අවශ්‍ය මානව – භෞතික සම්පත් මේ වන තෙක් සම්පූර්ණ නැත. ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරන්නේ නැත. එසේ තිබියදී අලුතෙන් මොරටුව වෛද්‍ය පීඨය ආරම්භ කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ගොඩනැගිලි, රසායනාගාර, ශික්ෂණ රෝහල් ආදිය ඉදිකිරීමටත් කිසිසේත් ආණ්ඩුව සූදානම් නැත. මෙම ව්‍යාපෘතිය පිටුපස විවිධ ප්‍රාදේශීය දේශපාලකයන්ගේ අවශ්‍යතාවන් ක්‍රියාත්මක වන බව ද පෙනෙන්නට තිබෙන කරුණකි. නමුත් මූලිකම කාරණය වන්නේ ප්‍රතිපාදන වෙන් කිරීමට ආණ්ඩුවට ඇති නොහැකියාවයි. මොරටුව වෛද්‍ය පීඨය වහා ඉදි කළ යුතුය. එය ඉදි කිරීමට ඇති නොහැකියාව වසා ගැනීමට පස්දුන්රට අධ්‍යාපන විද්‍යා පීඨය වගකිව යුතු ⁣නොවේ. එය දශක ගණනාවක පටන් මෙරට පාසල් පද්ධතියට අවශ්‍ය ඉංග්‍රීසි ගුරුවරුන් දායාද කරන ආයතනයකි. පාසල් පද්ධතිය තුළ උග්‍ර ගුරු හිඟයක් පවතින යථාර්ථයක් ඇතුළත කළ යුත්තේ තවදුරටත් ප්‍රතිපාදන වෙන් කරමින් විද්‍යා පීඨ පද්ධතිය සංවර්ධනය කිරීමයි. එහෙයින් මො⁣රටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වහා ඉදි කරන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙසත්, පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය වසා දැමීමට කෙරෙන කුමන්ත්‍රණය හකුලා ගන්නා ලෙසත් අප රජයට බල කර කියා සිටිමු.

රත්කරව්වේ ජිනරතන හිමි – කැඳවුම්කරු
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය