தமிழ்
English
Contact
Wednesday 12th August 2020    
පසුගිය වසරෙන් මතකයට... | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පසුගිය වසරෙන් මතකයට…



2019 වර්ෂයට අදාළව, ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික ජීවිතයේ විශේෂ අවස්ථා ආවර්ජනය කිරීම අනාගතයට යහපත් වනු ඇතැයි අපි කල්පනා කරමු.

2020 වසර උදාවන අවස්ථාවේ එම ආවර්ජනය ඉදිරි කාලයේ කරළිගතවන්නට වියමිත නාටකවලදීද යළි යළිත් මතකයට ගෙන එමින් සැබෑ දේශපාලන පාඩමක් ඉගෙන් ගන්නට ‘ලංකාවීව්ස්’ සහෘදයන්ට හැකි වේවා යන්න අපගේ පැතුමය!

ජනවාරි 02

මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සමග එක්ව රුපියල් මිලියන 688ක් මහජන අරමුදල් වංචාකිරීමේ පළමුවැනි මහබැංකු බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස්ට සහ එහි විධායක අධ්‍යක්ෂ කසුන් පලිසේනට ඇප හිමිවුණි.

ජනවාරි 07

මාතර සිට බෙලිඅත්ත දක්වා දීර්ඝ කරණ ලද නව දුම්රිය මාර්ගය විවෘත කරන්නට එවකට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමති අර්ජුන රණතුංග කටයුතු කළේය. මහින්ද රාජපක්ෂ පාලනය සමයේ ආරම්භකරන ලදුව මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීම නිසා හම්බන්තොට, මොණරාගල, මාතර, ගාල්ල ඇතුළු ප්‍රදේශයේ ජනයාට ප්‍රවාහන පහසුකම් ලැබුවද එයට අදාළව වැඩ අවසන් නොකළ දුම්රිය මාර්ගයක් නිසා නියමිත සේවා ලබාගැනීම දුෂ්කර විය. මෙම දුම්රිය මාර්ගයේ සේවා සැපයීම ජපන් සමාගමකට පැවරීමේ ආයෝජන සැලසුම් සිදුවෙමින් තිබිණි.

ජනවාරි 15

කොළඹ නගරය, 2019 ලෝකයේ ‘ඡායාරූපයට නැගිය යුතු’ සංචාරක ගමනාන්තයන් අතරට එක් කරමින් සමාජ මාධ්‍ය ඇසුරෙන් කළ සමීක්ෂනයක් ප්‍රතිඵල නිකුත් කෙරිණි. සමාජ මාධ්‍ය පෝස්ටු මිලියන 1.3ක් කොළඹ නගරයේ ජයග්‍රාහීත්වය ආරක්ෂා කර තිබිණි. ජපානයේ යොකොහාමා නගරයත් උගන්ඩාවේ ම්ගහිංගා ගොරිල්ලා උද්‍යානයත් කොළඹ නගරයට පසුව ඡායාරූප සඳහා ජනප්‍රියම සංචාරක ගමනාන්ත ලෙස තෝරාගැණුනි.

ජනවාරි 23

ලන්ඩනයේ පැවති තමිල් ජනයාගේ විරෝධතාවකදී ගෙල සිඳලීමේ අභිනය දැක්වූ එවකට බ්‍රිතාන්‍යයේ ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක නිලධාරි බ්‍රිගේඩියර් ප්‍රිියංක ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස වෙස්ට්මිනිස්ටර් මහෙස්ත්‍රාත්වරිය විසින් වරෙන්තු නිකුත් කළාය.

ජනවාරි 26

2018 ඔක්තෝබර් දේශපාලන කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස නොවැම්බර් 14 වැනිදා ජයවර්ධනපුර පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු අතර සිදුවූ ගැටුම්වලට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 59 දෙනෙකුට එරෙහිව විනය පියවර ගැනීමට පාර්ලිමේන්තු කමිටුව නිර්දේශ කළේය.

පෙබරවාරි 06

ඩුබායිහි ආරක්ෂක අංශ කළ වැටලීමකදී ලංකාවේ අපරාධකාරී කණ්ඩායම්වලට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය. මාකඳුරේ මධුෂ්, කෙසෙල්වත්තේ දිනුක, කංජිපානි ඉම්රාන් ඇතුළු සැකකරුවන් 20 දෙනකු චෝදනාවට ලක් විය.

පෙබරවාරි 07

පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය අක්‍රීය වීම නිසා මන්ත්‍රීවරුන් 12 දෙනෙකුට ඒ තුළ විනාඩි 25ක කාලයක් සිරවී සිටීමට සිදුවුණි.

මාර්තු 01

වනජීවි පනත ප්‍රකාරව නිසි බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු ළඟ තබාගැනීමේ චෝදනාව මත පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි පවරා තිබූ නඩුවෙන් නිදොස් කොට නිදහස් කෙරුණි.

මාර්තු 26

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ චෝදනාවකට අත්අඩංගුවට ගැනුණු ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

මාර්තු 27

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදි එරට පොලිස් භාරයට  ගැනුණු ගායන ශිල්පි නදීමාල් පෙරේරා ලංකාවට පැමිණියහ.

අප්‍රේල් 21

ශ්ලංකේය ඉතිහාසයට කළු පැල්ලමක් එක්කරමින් සහරාන් හෂීම් ප්‍රමුඛ අන්තවාදී ආගමික කණ්ඩායමක් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකින් 270කට ආසන්න පිරිසක් මියගොස් 500 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලැබුවේය. කොච්චිකඩේ, කටුවාපිටිය සහ මඩකලපුව සියෝන් යන දේවස්ථාන සහ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ්, ෂැංග්‍රිලා සහ කිංග්ස්බරි යන ප්‍රධාන පෙළේ හෝටල් ඇතුළු දිවයිනේ ස්ථාන 08ක මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එදින එල්ල වුණි.

මැයි 23

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුව සිරදඬුවම් විඳිමින් සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව මත නිදහස් කෙරුණි.

මැයි 25

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි සැකකටයුතු ලෙස වත්කම් ඉපයීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණි. එසේම ඔහු සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වන්ද්‍යකරණයට ලක්කළ බවට චෝදනා එල්ල වන්නට විය.

ජුනි 03

පාස්කු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමෙන් පසු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා යන සියධුරවලින් ඉල්ලා අස්වූහ.

ජූලි 02

පාස්කු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් චෝදනා වලට අදාළව අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණි.

අගෝස්තු 08

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍යව පරිහරණය කළැයි චෝදනාවට අදාළව ගොනුකර තිබූ නඩුවෙන් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් නිදොස් කොට නිදහස් කෙරුණි.

අගෝස්තු 11

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජප්කෂ මහතා විසින් එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කෙරුණි.

අගෝස්තු 23

ඩුබායිහිදී අත්අඩංගුවට පත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන්ට බරපතල වැඩ සහිත වසර 06ක සිරදඬුවම් නියම කෙරුණි.

සැප්තැම්බර් 02

කීර්තිමත් වාමාංශික මතධාරියකු, විචාරකයකු හා අධ්‍යාපනඥයෙකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා අභාවප්‍රාප්ත වුණි.

සැප්තැම්බර් 23

ඇවන්ට්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීමෙන් රජයට පාඩු සිදුකළැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම පවරා තිබූ නඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 08 දෙනෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිදහස් කෙරුණි.

ඔක්තෝබර් 04

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා ගාමිණි වියන්ගොඩ සහ ඉන්ද්‍රනාථ තේනුවර වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරුණි.

නොවැම්බර් 16

ජනාධිපතිවරණයෙන් ඡන්ද හැටනව ලක්ෂ විසි හතර දහස් දෙසීය පනස් පහක් ලබාගනිමින් ගෝඨාභය රාජපක්ෂ මෙරට 7වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත් වුණි.

නොවැම්බර් 21

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස ක්‍රියාකළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහාය ලෙස ස්ථාන මාරු කෙරුණි.

නොවැම්බර් 22

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පිහිටුවනු ලැබූ  අන්තර්කාලීන ආණ්ඩුවේ අගමැතිවරයා ඇතුළු සාමාජිකයින් 16 දෙනෙකුගෙන් සමන්විත නව කැබිනට් මණ්ඩලය ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන්හ.

දෙසැම්බර් 16

තමාව පැහැරගෙන ගොස් තානාපති කාර්යාලයේ රහස්‍ය තොරතුරු අනාවරණය කරන මෙන් බලකරමින් ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා කළ ස්විස් තානාපති කාර්යාලයේ ස්දේවශීය නිලධාරිනියක ලෙස සේවය කළ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඇය මුදා හැරුණේ දැඩි ඇප කොන්දේසි මතයි.

දෙසැම්බර් 19

2016 වසරේ රාජගිරියේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ අතර ඔහු ඇප මත මුදාහැරුණේ දින 05කට පසුවයි.

දෙසැම්බර් 26

වසර 10කට පසුව වළයාකාර සූර්යග්‍රහණයක් දැකගැනීමේ විරල අවස්ථාවක් ශ්‍රී ලාංකිකයින්ට උදාවුණි.

දෙසැම්බර් 27

සුදුවෑන් වලින් පැහැරගැනීම් සිදුකළ බවට පැවැත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.