தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
ප්‍රගීත් ඒක්නැළිගොඩ - ‌ජනාධිපති ගෝඨාභයට කිසිදා ගැලවිය ‌නොහැකි හෘද සාක්ෂියේ ප්‍රශ්නය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රගීත් ඒක්නැළිගොඩ – ‌ජනාධිපති ගෝඨාභයට කිසිදා ගැලවිය ‌නොහැකි හෘද සාක්ෂියේ ප්‍රශ්නය



මහින්ද රාජපක්ෂ පාලනය විසින් ප්‍රගීත් ඒක්නැළිගොඩ අතුරුදන් කර අදට(24) වසර 10ක් පිරේ.

2010 ජනවාරි 24 වැනිදා ප්‍රගීත් අතුරුදන් කෙරුණේ රාජගිරියේ ස්ථානයක යෙදී සිටි කාරියකින් පසුව කිසියම් පුද්ගලයකු හමුවීමට පිටත්ව ගිය පසුවය. ප්‍රගීත්ගේ බිරිය සන්ධ්‍යා පවසන ආකාරයට ඔහු ඒදින පාන්දරින් කොට්ටාව, හිරිපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසින් පිටත්ව ගියේ ඒ දිනවනවිට තමන් නියුතුව සිටි කාර්යයන් කිහිපයක් අවසන්කර පසුදින සිට ඇය විසින් මුහුණ දෙමින් සිටි පවුලේ කාර්යයන් වෙනුවෙන් සහාය දීමට හැකි බව පවසමිනි. සෝදාගත් කමිස නොමැති නිසා ගමනට සුදු කමිසයක් සොයන විට ඔහුට ඇය ලබාදී ඇත්තේ වැඩිමහල් පුත් සංජයට අලුතින් මැසූ කමිසයකි. ඒදින ඔහු නික්ම යන්නේ නැවත හමු නොවන්නට බව සන්ධ්‍යා ඒක්නැළිගොඩ සිහිනයකිනුදු කල්පනා නොකරන්නට ඇත.

දින දෙකකින් ජනවාරි 26 වැනිදා පැවැත්වෙන්නට නියමිත වූ ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අභියෝග කරමින් තරග කළ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාගේ ප්‍රචාරක ව්‍යාපාරය තුළ ප්‍රගීත් ඉටු කළ කාර්යභාරයක් තිබිණි. එසේම ඒ දක්වා ඔහු විසින් යුද්ධයේදී ආරක්ෂක හමුදා විසින් ගත් පියවර සම්බන්ධ තොරතුරු අනාවරණය කිරීමේ
ගවේශනාත්මක උත්සාහයක්ද ගෙන තිබිණි. රසායනික අවි යොදාගත් බවට ඇතැම් විදේශ මාධ්‍ය විසින් ගෙනගිය ප්‍රචාර සම්බන්ධ සත්‍ය තොරතුරු හෙළිදරව් කරගන්නට ප්‍රගීත් විසින් ආරක්ෂක අංශවල මෙන් එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධව සිටි පුද්ගලයන්ගෙන් හා යුද්ධය පැවති ප්‍රදේශවල ජනයාගෙන් කරුණු සොයාගෙන තිබිණි. ඒ සම්බන්ධ වාර්තාවක් සපයන්නට ඉක්මනින්ම හැකිවන බවට ඔහු විසින් තමන් සේවය කළ ‘ලංකා ඊ නිව්ස්’ ආයතනයේ සගයන් දැනුවත්කර තිබිණි. ජනාධපතිවරණය ආසන්න ඒ දිනයවන විට ඔහු මහින්ද රාජපක්ෂ පාලනයට සතුරකු වන්නටත් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ලෙස වත්මන් ජනාධිපතිවරයාට ඉවසුම් නොදෙන හිසරදයක් වන්නටත් ඉහත හේතු බලපාන්නට ඇත. ඉතින් ඔහු එදින නිවසින් පිටව ගිය පසුව සිදු වූයේ කුමක්ද?

රාත්‍රිය ගෙවී යනවිටත් ඔහු නොපැමිණි හේතුව සොයාබලන්නට දුරකථනය ගන්නා සන්ධ්‍යාට අනතුරක ඉව වැටෙන්නේ ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියාවිරහිත බව දැනගැනීමෙන් පසුවය.  වසර 10ක් පුරා ලංකාවේ වැඩි වශයෙන්ම කතාබහට, වාද විවාදවලට, යෝජනා ‌ෝදනාවලට පාත්‍රවූ අතුරුදන්ළුූවන්ගේ ප්‍රශ්නය ඒක්නැලිගොඩ පවුලට සදාකාලික වේදනාවක් ඒක්කර ඇත්තේ ඒසේය. 2015 ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දැමීමේදී ඔහුටත් ඔහුගේ සොයුරු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටත් ඒල්ල වූ බරපතළ චෝදනා අතර පුද්ගලයන් පැහැරගෙනයාම, අතුරුදන් කිරීම හා ඝාතනය කිරීම තිබිණි. 2005-2014 පාලන කාලය තුළ පොදුවේ පැවැති මර්දනකාරිත්වයට අමතරව මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, විරුද්ධ මතධාරින් දඩයම් කිරීම හා නීතියට පිටස්තර මර්දනකාරී කටයුතු සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වූ වත්මන් ජනාධිපතිට, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඇතුලු සන්නද්ධ හමුදා ප්‍රධානින්ටය. වත්මන් අගමැති, එවකට ජනාධිපති මහින්දට ආරක්ෂක ඇමති ලෙස ඒ සියලු කෘර අවනීතික ක්‍රියා සම්බන්ධයෙන් අතපිසදාගන්නට නොහැකිය.

පසුගිය රනිල්-මෛත්‍රී පාලනය යටතේ මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන යෑමට කුමන්ත‍්‍රණය කළ බවට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලදී. යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා හෝමාගම මහාධිකරණය හමුවේ නඩු පවරන ලද නමුත් දේශපාලන සටන් පාඨ ලෙස 2015දී ඔවුන් එයට ලබා දුන් ප්‍රමුඛතා අධිකරණ ක්‍රියාදාමය තුළ දක්නට නොලැබිණි. ප්‍රගීත් පැහැරගැනීම මුලින්ම සිදුකළේ 2009 අගෝස්තු මාසයේදී වන අතර එවර ඔහු අත්හැර දමා ගොස් තිබිණි. දෙවන වරද ඔහු සූක්ෂම ලෙස ග්‍රහණයට ගෙන පැහැරගනෙ යාමේදී කොළඹ සන්නද්ධ හමුදා ආරක්ෂක මුර කපොල්, ආරක්ෂක ඔත්තුකාර අංශ සියල්ල සුව නිද්‍රාවට වැටී සිටියේ යැයි කිව නොහැක. ගෝඨාභය හා මහින් වගකිව යුතු අගනුවර ආරක්ෂක රැකවල් මධ්‍යයේ සිදුවූ මෙම අපරාධය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ආරක්ෂක අංශවලට සම්බන්ධ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරන ලදී.

නීතීපතිවරයා විසින් මෙලෙස නඩු පවරා ඇත්තේ ගිරිතලේ යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරීයාව සිටි යුද හමුදා ලුතිනන් කර්නල් ශම්මි අර්ජුන් කුමාරරත්න, ලුතිනන් කර්නල් ප‍්‍රබෝධ සිරිවර්ධන, ආර්.එම්.පී.කේ. රාජපක්‍ෂ හෙවත් නාදන්, වීනී ප‍්‍රියන්ත ඩිලන්ජන් උපසේන හෙවත් සුරේෂ්, එස්.එම්. රවින්ද්‍ර රූපසේන හෙවත් රංජි, එස්.කේ. උළුගෙදර සහ හේමචන්ද්‍ර පෙරේරා නමැති යුද හමුදා නිලධාරීන්ට එරෙහිවය. 2010 ජනවාරි මස 24 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ගිරිතලේ, හබරණ හා කොට්ටාව ප‍්‍රදේශවලදී කිසියම් නාඳුනන පිරිසක් සමඟ එක්ව ප‍්‍රගීත් රන්ජන් බණ්ඩාර එක්නැළිගොඩ නමැති මාධ්‍යවේදියා පැහැරගෙන යෑමට කුමන්ත‍්‍රණය කිරීම හා අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් ක්‍රියාකළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත. පසුව ජනවාරී මස 24 වැනිදාත් 27 වැනිදාත් අතර කාලයේ ගිරිතලේ, කොස්වත්ත, බත්තරමුල්ල, අඩලච්චේන හා අක්කරපත්තුව යන ස්ථානවල ප්‍රගීත් රඳවා තබන ලද බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙහිදී ආරක්ෂක හමුදා කඳවුරු, ඔත්තුකාර රහසිගත නිවස්න හා අර්ධ මිලිටරි කණ්ඩායම්, මෙන්ම එල්.ටී.ටී.ඊ.යෙන් වෙන්ව ආරක්ෂක අංශවලට සහාය පළකළ කණ්ඩායම් සම්බන්ධ කරගත් බවට කරුනු අනාවරණය විය.

එසේ වුවද මෙරට ඇතැම් ජාතිවාදී කණ්ඩායම් හා භික්ෂුන් විසින් මෙම නඩුවේ විත්තිකරුවන් ‘රණවිරුවන්’ ලෙස නාමකරණය කරවා ඔවුන් නිදහස් කරන ලෙස ප්‍රචාරයක් ගෙන ගියේය. අධිකරණය ඉදිරියේ චෝදනා ලැබුවන් එසේ පහසුවෙන් නිදහස් කිරීම ඔවුන් වරදකරුවන් නොවන බව පවා ඔප්පු කිරීමට බාධාවක් බව සාමාන්‍ය අවබෝධයක් ඇති අයෙකුට තේරුම් ගත හැකි සත්‍යයකි. නමුත් මෙම ඊනියා දේශප්‍රේමින් සතුව අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණක් තිබිණි යැයි සැක කළ හැකිය. මන්ද යත් ආරක්ෂක හමුදා ප්‍රධානින්ම පවසන ආකාරයට හමුදා අංශවල අපරාධකරුවන් සිටී නම් ඔවුන් අනාවරණය කරමින් දඩුවම් පැමිණවිය යුතුය. 2017 අගෝස්තු මාසයේ හිටපු හමුදාපති මහේෂ් සේනානායක විසින් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක් මෙසේය. “විශේෂයෙන් රණවිරුවෙක් දැන ගත යුතුයි රණවිරුවා කවුද මිනීමරුවා කවුද කියලා. රණවිරුවෙක් මිනීමරුවෙක් වී තිබෙනවා නම් ඔහු ඒ දඬුවමට යටත් විය යුතුයි” යනුවෙන් හිටපු හමුදාපතිවරයා සඳහන් කළේය.

එහෙත් වත්මන් ජනාධිපතිවරයා මෙම ව්‍යාජ රණවිරු ප්‍රචාරය සිය දේශපාලන වාසියට යොදාගත්තේය. ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඔහු ජනාධිපතිවරණයට මසකට පෙරාතුව මේ ප්‍රචාරක වාසිය අත්පත් කරගන්නට ක්‍රියකාරි විය. 2019 ඔක්තෝබර් 9 දින පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස, අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවති පළමු ජනරැලියේදී ඔහු මෙසේ පොරොන්දු විය. “නොවැම්බර් 16 මා පත් වූවාට පසුදිනම එනම් 17 වන දාම සිරගෙවල් සිටින රණවිරුවන් නිදොස් කොට නිදහස් කරනවා.” එහෙත් එය අදිකරණයට ඇඟිලිගැසීමක් බව ඔහු එදා කීවේ නැත. ඒ නිසා එසේ කරන්නට ඔහු අධිකරණ ක්‍රියාදාමයට බලපෑම් කිරීමට සිය විධායක බලය යොදාගත් බව පසුව චෝදනා නැගිණි. ජනාධිපති ගෝඨාභය මෙසේ විත්තිකරුවන් නිදහස් කරගන්නට වෑයම් කරන්නේ ඇයි?

මාධ්‍යවේදින් ඝාතනයට පත්කිරීම්, පැහැරගෙනයාම් හා පහරදීම් සම්බන්ධව තොරතුරු තමන් දැන සිටි බව ගෝඨාභය රාජපක්ෂ විසින් 2019 පෙබරවාරි මස ‘ඩේලි මිරර්’ පුවත්පත සමග කළ සංවාදයකදී අදහස් පළ කර තිබිණි. ඔහු එහිදී පවසා තිබුණේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම හා කීත් නොයර් පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් වගකිවයුතු දෙදෙනකු පිළිබද දැන සිටි බව සහ ඒ සම්බන්ධ පියවර ගන්නට උනන්දු නොවූයේ යුද්ධය නිසා බවය. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ කටයුතු කළ ඔහු මෙම තොරතුරු දැන සිටි බව ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය හමුවේ පැවසු දෙවැනි අවස්ථාව මෙය වේ. ඔහු ඉන් පෙරාතුව ‘සත්හඩ’ පුවත්පත සමග කළ සාකච්ඡාවකදී ආරක්ෂක අංශ යොදාගෙන සිදුකළ පැහැරගැනීමක් සම්බන්ධයෙන් තමා වගකිවයුතු බව පිළිගෙන තිබිණි. ගෝඨාභය රාජපක්ෂ, පුවත්පතට අදහස් දක්වමින් පිළිගෙන තිබුණේ 2012 අප්‍රේල් මස 7 වැනිදාන තම උපදෙස් මත පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යමකාරක සභිකයකු වූ කුමාර් ගුණරත්නම් පැහැර ගන්නට මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවය. ඉන්පසුව වරින්වර මාධ්‍යවේදින්ට රාජපක්ෂ පාලන සමයේ එල්ල වූ මර්දනය, ඝාතන හා ප්‍රහාර සම්බන්ධ ගෝඨාභය විවිධ අවස්ථාවල අදහස් පළ කරන ලදී. එහිදී ඔහු එම සිදුවීම් සම්බන්ධ චෝදනා වෙනත් අය වෙත එල්ල කර තිබිණි. එහිදී හෙළිවන වැදගත්ම කාරනය නම්, එසේ චෝදනාකරන්නට තරම් ඔහු ඒ සිදුවීම් සම්බන්ධව දැනුවත්ව සිටි බවය. ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ලෙස එම ප්‍රහාර හා මරා දැමීම් සම්බන්ධ දැන සිටි බවට ඔහු පිළිගත් පළමු අවස්ථාව එයයි.

මෙම තොරතුරු සියල්ල තිබියදී ප්‍රගීත් එක්නැළිගොඩ සම්බන්ධ නීතිමය ක්‍රියාදාමය ඉදිරියට ගෙනයාමට බාධා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකරන තිරය යට ක්‍රියාදාමය කිසිදා වසන්කරගෙන සිටිය නොහැකිය. මෙම අපරාධ සිදුවනවිට ඒවා සැලසුම් කරමින් සිටි එයින් දේශපාලන බලය ආරක්ෂා කරගත් ගෝඨාභයගේ සොයුරු මහින්ද රාජපක්ෂට බලය අහිමිව ගෙදර යන්නට සිදු විය. යුක්තිය ඉටු කරන්නට ජනතාව සිය ඡන්ද බලය පාවිච්චි කළහ. ගෝඨාභය විසින් යුක්තිය ඉටුකරන්නට බාධාකර එය පමා කළ හැකිය. එහෙත් ඔහුගේ හෘද සාක්ෂිය ඒ ගැන නිරන්තර ඔහුට ගැලවෙන්නට නොහැකි විනිශ්චය ලබා දෙනු ඇත. එපමණක් නොවේ, විවිධ ප්‍රචාරක උපක්‍රම හා වසඟයන් හරහා බලයට පත් වුවද ප්‍රගීත් ඇතුළු අතුරුදන් කළවුන් සම්බන්ධ යුක්තිය ඉල්ලා සිටින ජනතාවගේ හඬ තවමත් ප්‍රණවත්ය, ශක්තිමත්ය.

ප්‍රගීත්ගේ පුතුන් දෙදෙනා අදත් පියා අහිමිව වසර 10ක් වේදනාවෙන් ගෙවා දැමූ සිය ජීවිතය සමග පොරබදමින් සිටින අතර ඔහුගේ බිරිය සන්ධ්‍යා, ඒ වසර 10 පුරාම ප්‍රගීත් සොයාගන්නට රාජය මර්දනය හා පෞද්ගලික අවමන්, දේශපාලන කුමන්ත්‍රණ මැදින් අරගලයක යෙදී සිටී.
අද ජනාධිපති බලය නිසා හෘද සාක්ෂිය යටපත් කරමින් යුක්තියෙන් ගැලවී සිටින නමුත් ජනතාව විසින් සුදුසු කාලයේදී ගෝඨාභය සම්බන්ධ යුක්තිය ඉටු කරන්නට පැකිළෙන්නේ නැති බව දැනට සටහන් කරමු.