ප්‍රවීන ගායන ශිල්පිනියක, සංගීතාචාර්යවරියක සහ සංගීත ක්ෂේත්‍රයෙන්ලංකාවේ පළමු මහාචාර්යවරිය වූ අමරා රණතුංග ඊයේ (15) අභාවප‍්‍රාප්ත වූවාය.

රජයේ සංගීත විද්‍යාලයේ ආරම්භක සිසුවියක් අවුරුදු 12 තරම් කුඩා කාලයේ සංගීත අධ්‍යාපනය ආරම්භ කළ ඇය ඉන් පසුව ඉන්දියාවේ ලක්නව්හි පිහිටි භාත්ඛණ්ඩ සංගීත විද්‍යාලයට ඇතුළත් වී  වැඩිදුර සංගීතය හැදෑරුවාය. සංගීතාචාර්යවරියක ලෙස ජීවන වෘත්තිය ආරම්භ කළ ඇය කැලණිය හා සෞන්දර්ය විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරියක්, මහාචාර්යවරියක් ලෙසද කටයුතු කළාය. අමරා රණතුංග කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ථිර ආචාර්යවරියක් ලෙස එක් වූයේ 1964දීය. කලක් ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍රීය සංගීතය පිළිබඳ ආචාර්යවරියක ලෙස ද කටයුතු කළ ඇය එහි සිටිමින් ලංකාවේ ජන ගී, ශාන්තිකර්ම පිළිබඳව බටහිර ජාතිකයන් දැනුවත් කළාය.

යළි ලංකාවට පැමිණ කැලණි විශ්ව විද්‍යාලයේ අංශ ප‍්‍රධානි තනතුරක්ද ලබමින් ලංකාවේ මුල්ම සංගීත ක්ෂේත්‍රයේ මහාචාර්යවරිය ලෙස පත්වීමක් ලැබුවාය. ඒ 1995 වසරේ එම පදවිය ලබමින් කාන්තාවකට මහාචාර්ය තනතුරක් ලැබීමට හැකියාවක් නැති බවට සරසවි ක්ෂේත්‍රයේ ගොඩනැගී තිබූ ආකල්ප කඩා බිඳ දැමූවාය. කැලණිය විශ්වවිද්‍යාලයට ගායන අංශයක් ආරම්භ වූයේද මහාචාර්ය අමරා රණතුංගයන්ගේ කැපවීමේ ප‍්‍රතිඵලයක් ලෙසිනි.

විශාරද දයාරත්න රණගුංග සමග විවාහ වී සංගීත ක්ෂේත්‍රයේ විශේෂ ාදයකත්වයක් දැක්වූ යුවළක් බවට පත් වු පසුව ඇය වයස 79 දි අභාවයට පත්වනවිට තිදරු මවක් වූවාය.

‘සපුමල් සුවඳක් සේ’ , ‘සැළලිහිණියෝ නුඹ දන්නෙ නෑ’, ‘එක කිරුළක්’, ‘මහ රෑ යාමේ’, ‘රාධා ක‍්‍රිෂ්ණා’, ‘ඊයේ රෑ ඔබ හීනෙන් දෙඩවූ’, සඳක් සදිසි ළඳක් නොවෙ ද ලැසි ගමනින් එන’, ‘පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී විහිදී විසිරෙන්නා’, ‘පේ‍්‍රම කතාවක චරිත දෙකක් අපි’ ආදී ගීත ඇය ගැයූ ජනාදරයට පත් ගීත අතර වේ.

අභාවප‍්‍රාප්ත අමරා රණතුංග මහාචාර්යවරියගේ අවසන් කටයුතු ලබන බ‍්‍රහස්පතින්දා (18) සිදු කිරීමට නියමිතය.