தமிழ்
English
Contact
Thursday 5th August 2021    
ප්‍රවීන කලා ශිල්පිනී මියුරි සමරසිංහ ජීවන රගමඬලින් සමුගනී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රවීන කලා ශිල්පිනී මියුරි සමරසිංහ ජීවන රගමඬලින් සමුගනී!



වේදිකාවේ, සිනමාවේ හා ටෙලි තිරයේ ප්‍රවීන රංගශිල්පිනියක වූ මියුරි සමරසිංහ පිළිකා තත්වයකින් පීඩා විඳ වයස 81ක්ව අභාවයට පත් වූවාය.

රැගුම් ශිල්පිනියක ලෙස ප්‍රසාංගික කලාවට අවතීර්ණ වූ ඇය, තිර රචනයේ මෙන්ම සිනමා අධ්‍යක්ෂනයේ හා නිෂ්පාදන කටයුතුවලටද දායක වෙමින් දීරඝ කාලයක් මෙරට රසික රසිකාවන් අතර අවධානය දිනාගත්තාය.

1973 මිරිගුව චිත්‍රපටයෙන් සිනමාවට පිවිසීමට පෙරාතුව මියුරි, ගුවන් විදුලියේ ශිල්පිනියක වූවාය. වේදිකාවේදී රංගනය අභ්‍යාස කළ ඇය අලුත් දවසක්, රන් කඳ, උමතුසං වරුසා, බම්මන්නෝ, උරුවිසි, හිත හොඳ අම්මණ්ඩි, නැට්ටුක්කාරයෝ. නැකත, සිවම්මා ධනපාල, ලෝරා සහ නවසිය අනූ නවය වැනි වේදිකා නාට්‍ය 300ක පමණ රංගනයෙන් දායක වූවාය. ඇයගේ සිනමා රංගන දායකත්වයන් ලෙස පොඩි විජේ, අධිෂ්ඨානය, රදී තැල්ල, මඩොල් දූව, විරාගය, යහලු යෙහෙලි, ආදර හසුන, මාරුතය, බවදුක වැනි චිත්‍රපට දැක්විය හැකිය. බන්දුල විතානගේ නිර්මාණය කළ ‘එරබදු මල්’ තුළින් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පිවිසි ඇය ඉර පායා, ඉරට හඬන මල්, ගංගා සහ නිස්සංක, සන්නාලලියනේ, නෑදෑයෝ, සිහින නිම්නය, සුර අසුර, පස්සෙ ගෙනා මනමාලි, සුදෝ සුදු ආදි ටෙලි නාට්‍යවල දැක්වූ රංගන දායකත්වය අවධානයට ලක් විය.

නවසිය අනු නවය වේදිකා නාට්‍ය වෙනුවෙන් 1981 හොඳම නිලිය සඳහා ජනාධිපති සම්මානය ලැබූ ඇය වේදිකා නාට්‍ය 10ක් පමණ නිෂ්පාදනයෙන් දායක වූවාය. හිම කුරුල්ලෝ, පරසක්වල පැයක් සහ ලෝක දෙකක් අතර ඇය විසින් කළ වේදිකා නාට්‍ය නිර්මාණ වේ.

රංගනය වෙනුවෙන් රාජ්‍ය සම්මාන දිනූ නිලියකවන මියුරි සමරසිංහ, අකාලයේ මියගිය සහකරුවාගේ පාඩුව විඳ දරාගෙන පෝෂනය කළ දියණිවරුන් තිදෙනකුගේ හා පුතකුගේ මව වූවාය.

(සේයාරුව – දයාන් විතාරණ)