தமிழ்
English
Contact
Tuesday 17th September 2019    
ප්‍රහාර මෙහෙයවූ දේශපාලන හෙංචයියන් කවුරුද යන්න හෙළිදරව් වුණා - පුබුදු ජයගොඩ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රහාර මෙහෙයවූ දේශපාලන හෙංචයියන් කවුරුද යන්න හෙළිදරව් වුණා – පුබුදු ජයගොඩ



අප්‍රේල් 21 ප්‍රහාරයට පසුව මුස්ලිම් ජනයාට එරෙහි කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු නොවුණු තත්වයක් යටතේ ඊයේ(13) වයඹ පළාතේ සහ ගම්පහ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට එ.ජා.ප., ශ්‍රීල.නි.ප. හා පොහොට්ටුවේ දේශපාලන නියෝජිතයන් හා හෙංචයියන් සම්බන්ධ බව හෙළිව ඇති බවත් ඒවා පැහැදිලි ලෙසම සංවිධානාත්මක දේශපාලන අරමුණු මත සිදුකළ ක්‍රියා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව ප්‍රකාශ කළේ රට තුළ උද්ගත වෙමින් පවතින තත්වයන් සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ස්ථාවරය පළ කරන්නට අද(14) බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

අප්‍රේල් 21 මරාගෙන මැරෙන ප්‍රහාරවලින් පසුව සති දෙකක් තිස්සේ ජනසමාජය ඉවසීමෙන් හා අවබෝධයෙන් කටයුතු කළ බවත් අන්තවාදීන්ට අවශ්‍ය ආකාරයට මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රති-ප්‍රචණ්ඩත්වයක් ලංකාවේ සිංහල, දෙමළ ජනයාගෙන් නොනැගුණු බවත් පැහැදිලිය. එහෙත්, ක්‍රම ක්‍රමයෙන් ඒ සති දෙක පුරා ජනමාධ්‍ය හා වෙනත් ක්‍රම මගින් ජනතාව තුළ භීතිය වපුරන්නට ආණ්ඩුවේ, විපක්ෂයේ දේශපාලන අරමුණක් පැවති බව පුබුදු ජයගොඩ එහිදී චෝදනා කළේය. විශේෂයෙන්ම මාධ්‍ය මගින් විවිධ වැටලීම්වලදී සොයාගත් ආයුද හා ඇදුම් පෙන්වමින් ඒවා මුස්ලිම් ජනයා විසින් අනෙකුත් ජනයාට එරෙහිව භාවිත කරන්නට ගෙනගිය ප්‍රහාරයක සාක්ෂි බව පෙන්වන්නට ආණ්ඩුවේ නායකයන්ට අවශ්‍ය වූ බවද එයින් ජනයා අතර සැකය හා භීතිය වර්ධනය කිරීම විනාශකාරී ලෙස කටයුතු කළ දේශපාලන සැලැස්මක පියවර බවද පෙ.ස.ප. අධ්‍යාපන ලේකම්වරයා පෙන්වා දෙයි. අත්අඩංගුවට ගත් බොහොමයක් එවැනි ආයුද අන්තවාදී ප්‍රහාරයට සම්බන්ධ යැයි ඔප්පු කරන්නට නොහැකි බව ආරක්ෂක අංශ විසින් පවසා ඇති අතර ජාතිවාදී ප්‍රචාර ගෙන යමින් සමාජ ජාලා ආදියෙන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමුකළ වුන් ඊයේ සිදු කළ ප්‍රහාරයේ වගකීම භාරගත යුතු බවද ඔහු පැවසීය. විශේෂයෙන්ම හමුදා ඇදුම්, කඩු ආදිය අත්අඩංගුවට ගැනීම මාධ්‍ය හරහා මවන්නට උත්සාහ කළ භිතිය සම්බන්ධයෙන් හමුදාපතිවරයා නිල ප්‍රකාශයක් කරමින් එයින් සුලු අවි ප්‍රමාණයක් මිස අන් සියල්ල කිසිදු ප්‍රචණ්ඩ අරමුණකින් හෝ මිනිස් ඝාතන සදහා උපයෝගි කරගත් ඒවා නොවන බව පැහැදිලි කරන ලදී.

කෙසේ වෙතත් ඊයේ ප්‍රහාරවලට වගකිව යුතු කවුද යන්න වීඩියෝ හා ඡායාරූප සාක්ෂි අනාවරණය වී තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හා පොදුජන පෙරමුණේ දේශපාලකයන් මෙම පහරදීම්වලට සම්බන්ධ බවට සාක්ෂි ඇති බව කියා සිටියේය. දයාසිරි ජයසේකර විසින් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කරගැනීමට උත්සාහ කළ අතර පසුව අධිකරණය මාරු කරගැනීමට අවස්තාව ලැබිණි. ප්‍රභූ ඝාතනයක් පිළිබද මාධ්‍ය සංදර්ශන පැවැත්වූ ජනාධිපති මන්දිරයේ ඕඩොක්කු කුක්කකුවන නාමල් කුමාර ප්‍රචණ්ඩ සිදුවීම්වලට සම්බන්ධ බවට චෝදනා ලබා ඇති බවද පොහොට්ටුව දේශපාලකයන් මෙම ප්‍රහාරවලට සම්බන්ධ වී ඇති බවද වාර්තා වේ.

මේ අනුව අන්තවාදී ප්‍රහාරකයන්ට අවශ්‍ය වූ දේ සති දෙකකින් ඉටු කරන්නට සෙසු අන්තවාදින් සමත්වී සිටින අතර තමන් අන්තවාදයට එකග නැති බව පැහැදිලිව පෙන්වා දුන් අන්තවාදී තිප්පොල සම්බන්ධ තොරතුරු සපයමින් විනාශයක් වැළැක්වීමට සහාය දුන්නේ මුස්ලිම් ජනයාමය. ඔවුන්ට ප්‍රහාර එල්ල කළ දේශපාලන මැරයන්ට අවශ්‍ය වූයේ එම මුස්ලිම් ප්‍රජාව අන්තවාදයට තල්ලු කිරීමට සහ ප්‍රචණ්ඩත්වයක් ව්‍යාප්ත කරවා දේශපාලන වාසි ලබාගන්නට බවත් පෙනී යන කරුණකි. 1983 විශ්වමඩු කැලයේ සිටි එල්ටීටීඊයේ කණ්ඩායමකට මරාගෙන මැරෙන බෝම්මබ ප්‍රහාරකයන් ඇතුලු හමුදාවක් බිහිකරගන්නට ආධාර කළේ 83 කලු ජූලිය ඇවිලවූ එක්සත් ජාතික පක්ෂ දේශපාලකයන් බව පැවසූ පුබුදු ජයගොඩ අදත් මුස්ලිම් ජනයා අන්තවාදය දෙසට තල්ලු කරවා තවත් වසර 30-40ක යුද්ධයකට රට ඇද දමන්නට දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවන බවවද පැවසීය.

එදිනෙදා පාරේ හමුවන මුස්ලිම් ජනයාට පහරදීමට වයඹ පළාතේ ජනයා කටයුතු නොකළ නිසා පිටස්තර පුද්ගලයන් එහි ගොස් ප්‍රහාර සිදුකළ අතර එසේ පිටින් ගිය පුද්ගලයන් ඡායාරූප හා වීඩියෝ සාක්ෂි ලෙස ඉදිරිපත් කළ හැකිය. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා වහාම නතර කිරීමට සාමාන්‍ය ජනයා ක්‍රියාත්මක විය යුතු බවද ප්‍රචණ්ඩ ක්‍රියාවලට ඉඩ දී නිවසට වී බලාගෙන ඉන්නවා නම් අවසානයේ තවත් යුද්ධයකදී එසේ වර්ධනයවන ප්‍රචණ්ඩත්වයට ගොදුරුවන්නට සිදුවන්නේ තමන්ට පමණක් නොව තම දරුවන්ටත් බව සියලු දෙනා කල්පනා කළ යුතු බව පුබුදු ජයගොඩ පවසයි. විශේෂයෙන්ම මුස්ලිම් ජනයාට පහර දෙන්නට නිවසින් එළියට යන සියලු දෙනා තමන්ගේ දරුවන්ගේ මුහුණ බලා, අද තමන් විසින් අවුලුවනු ලැබ ඉදිරියේ ඔවුන් මුහුණ දෙන්නට නියමිත විනාශයට වලකීම භාරගත යුතු බවද ඔහු අවධාරනය කළේය. තමන්ගේම දරුවන්ගේ ඇසි දෙස බලා ඔවුන් මහා විනාශයකට තල්ලුකරන ප්‍රහාරවලට පිටත්ව යන්නට හැකි නම් දැන දැනම එසේ නොකරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉල්ලා සිටින බවද එම පක්ෂයේ අධ්‍යාපන ලේකම්වරයා පැවසීය.