தமிழ்
English
Contact
Thursday 21st March 2019    
ප්‍රින්ස්‌ ගුණසේකර සහෝදරයා පිළිබඳ නොමියෙන මතක සටහන්! - ලයනල් බෝපගේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රින්ස්‌ ගුණසේකර සහෝදරයා පිළිබඳ නොමියෙන මතක සටහන්! – ලයනල් බෝපගේ



 

අභාවයට පත් මානව හිතවාදියකු වන ප්‍රින්ස් ගුණසේකර පිළිබදව කළ යුතු ඇගයීම කිසිදා අවසන් කළ හැකි දෙයක් වේ යැයි අප සිතන්නේ නැත. වාමාංශිකයන් පිළිගන්නා පරිදි මිනිසකුගේ ජීවිතයට හිමි සැබෑ ගරුත්වය හා කෘතවේදිත්වය ලබාදිය හැක්කේ ඒ මනුෂ්‍යයා ජීවිතකාලයම කැප කළ ශ්‍රේෂඨ අරමුණු ඉටුකිරීමෙන් පමණකි. කලක් ඔහු සමග එක්ව ජනතා විමුක්ති පෙරමුණේ කටයුතු කළ ලයනල් බෝපගේ නොහොත් ‘ලයියා’ යන ආදර නාමයෙන් හදුන්වන ජ.වි.පෙ. හිටපු ප්‍රධාන ලේකම්වරයා විසින් ලියූ ස්මරණ සටහනක් අප පළ කරන්නේ එම අදහස පෙරදැරිවය.

 

දිවංගත ප්‍රින්ස්‌ ගුණසේකර සහෝදරයා පිළිබඳව මා දැනුවත් බවට පත් වන්නේ 1956 සමාජ පෙරළියේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව ආසනය නියෝජනය කරමින් කරන ලද විශාල වැඩ කටයුතු සම්භාරය හේතුවෙනි. 1956 පිහිට වූ මහජන එක්සත් පෙරමුණේ සම ලේකම්වරයකු වූ ඔහු එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ සහ පිලිප් ගුණවර්ධන සහෝදරයාගේ සමකාලීනයෙකු ද අනුගාමිකයකු ද විය. 1960 මාර්තු මහ මැතිවරණයේදි මහජන එක්සත් පෙරමුණෙන් හබරාදුව ආසනය තරග කොට වැඩි ඡන්ද සියයකින් පමණ ජය ගත් නමුත් 1960 ජුලි මහ මැතිවරණයේ දී ඔහු පරාජයට පත් විය. 1965 මහ මැතිවරණයේ දී ස්වාධීන වාමාංශික මතධාරි අපේක්‍ෂකයකු ලෙස තරඟ කොට යලිත් වැඩි ඡන්ද සියයකින් පමණ ජය ගත් ඔහු 1970 මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමඟි පෙරමුණෙන් තරඟ කොට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගත්තේය. මේ මැතිවරණවල දී ඔහු දැක්වූ දේශපාලන අධිෂ්ඨානය අප බාල කාලයේ පවා අපේ සතුටට හේතු වී තිබුනි. කෙසේ වෙතත්, වාමාංශික ප්‍රගතිශීලී මෙන්ම සිංහල ජාතිකවාදී අදහස් වල සංකලනයක් ලෙස නම් කළ හැකි මතවාදයක් ඔහු දරා සිටි බව මගේ අදහසයි.
1971 අප්‍රේල් නැඟිටීමට සහභාගි වූ දහස් ගණන් තරුණ තරුණියන් කෙරෙහි ඔහු දැක් වූ ආකල්පය ඒ කාලයේ පාර්ලිමේන්තුව තුල සිටි වාමාංශිකයන් ලෙස පෙනී සිටි බොහෝ මන්ත්‍රීවරුන් දැක් වූ ආකල්පයට වඩා බෙහෙවින් වෙනස් වූයේය. අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවේ පවරා තිබූ “මහ නඩුවේ” දී රජයට එරෙහිව පෙනී සිටි රෝහණ සහෝදරයා ඇතුළු අප කණ්ඩායම කෙරෙහි ප්‍රින්ස් සහෝදරයා දැක් වූ ආකල්පය සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ මෙන්ම ආණ්ඩු පක්‍ෂයේ සිටි බොහෝ වාමාංශික නායකයන්ගේ ද අප්‍රසාදයට හේතු වී තිබිණි. නීතිපති වික්ටර් තෙන්නකෝන්, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පර්සි කොලින් තෝමෙ, අධිනීතිඥ රංජිත් අබේසූරිය, වර්තමාන විදේශ කටයුතු ඇමති නීතිඥ තිලක් මාරපන සහ කුප්‍රකට අග්‍ර විනිශ්චයකාරවරයකු බවට පසුව පත් වූ සරත් එන්. සිල්වා යන මහත්වරු “මහ නඩුවේ” පැමිණිල්ල මෙහෙයවූහ.
මහ රැජිනට එරෙහිව යුද්ධ කිරීමට කුමන්ත්‍රණය කිරීම, යුද වැදීම හා/හෝ අනුබල දීම සහ ලංකාණ්ඩුව සාපරාධී ලෙස බලය යොදවා බිය වැද්දීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනා යටතේ එකල පැවති රජය 41 දෙනකුට එරෙහිව චෝදනා ගොනු කළ අවස්ථාවේ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවේ නීත්‍යනුකූල භාවය පිළිබඳව අභියෝග කරන්නට ඉදිරිපත් වූ නීතිඥ කණ්ඩායම අතර අධිනීතිඥ ප්‍රින්ස්‌ ගුණසේකර සහෝදරයා ප්‍රමුඛයෙකු විය. එකල අධිකරණ ඇමතිව සිටි ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාගේ උපදෙස් අනුව කටයුතු කළ කොමිෂන් සභාවේ අසාමාන්‍ය ක්‍රියා පටිපාටියට එරෙහිව විරෝධය පා නැඟිට ගිය නීතිඥ කණ්ඩායම අතර ද ඔහු ප්‍රමුඛත්වය දැරීය. අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවේ සභාපති වූ අග්‍ර විනිශ්චයකාර එච් එන් ප්‍රනාන්දු මහතා එසේ විරෝධය පා නැගිට ගිය නීතිඥයන් කිසිවකුට අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවේ පෙනී සිටීම තහනම් කලේය.
අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත යටතේ ගත හැකිව තිබුනු අත්තනෝමතික ක්‍රියාමාර්ග පිළිබඳව රජයේ සිටි ඇතැම් කණ්ඩායම් තුල පවා, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය (මොස්කව් පිල) තුළ, දැඩි අසහනකාරී තත්වයක් පැන නැඟී තිබුනි. කොමියුනිස්ට් පක්ෂයටත් ලංකා සම සමාජ පක්ෂයටත් සිය තරුණ පක්ෂ සාමාජිකයන් අතරින් පැන නැඟෙමින් තිබුන ප්‍රශ්න පාලනය කර ගත නොහැකිව තිබිණි. ජනතා විමුක්ති පෙරමුණට ආධාර නොකළ නමුත් ඔවුහු අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත සහ ආණ්ඩුව වැඩි දියුණු කල හදිසි නීති බලතල යොදා ගැනීම පිළිබඳව භීතියට පත්ව සිටියහ.
මේ අතර ලංකා වෙළඳ සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අධිනීතිඥ බාලා තම්පෝ සහ ප්‍රින්ස් ගුණසේකර වැනි සහෝදරවරුන් ද, තවත් ස්වාධීන කණ්ඩායම් ද රජයේ කෘර මර්දනය පිළිබඳ තොරතුරු ලෝකයා හමුවේ හෙළිදරව් කරමින් සිටියහ. ප්‍රින්ස් සහෝදරයා බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරයකු සහ මානව අයිතීන් පිළිබඳ ඉහළ පෙලේ ක්‍රියාකාරිකයෙකු ව සිටි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ඇවර්බරි සාමිවරයා සංචාරයක් සඳහා ලංකාවට ගෙන්වා ගෙන තිබුණේය. ඔවුන් දෙදෙනා සමඟ බාලා තම්පෝ සහෝදරයා ද රජයේ මර්දනයට ලක්ව විනාශයට ලක්ව තිබුනු නොයෙක් ප්‍රදේශවලට ගොස් කරුණු එක්රැස් කරමින් සිටියහ. සමඟි පෙරමුණු පාලනයේ මෙහෙයවීම යටතේ සිදු කොට තිබුණු රාජ්‍ය මර්දනයේ සැබෑ ස්වරූපය ජාත්‍යන්තර වශයෙන් හෙළි දරව් වෙන්නට පටන් ගෙන තිබිණි. විශේෂයෙන්ම කතරගම දී නිරුවත් කොට මහ පාරේ ගෙන ගොස් ප්‍රේමවතී මනම්පේරි සහෝදරිය වෙඩි තබා ඝාතනයට ලක් කිරීම වැනි සිද්ධීන් විදේශ මාධ්‍යවල අවධානයට ලක් විය.
දිවයිනෙන් පිටත්ව යන්නට පෙර ඇවර්බරි සාමිවරයා සහ ප්‍රින්ස් සහෝදරයා වැලිකඩ බන්ධනාගාරයට පැමිණ රෝහණ සහෝදරයා හමු වන්නට නියමිත ව සිටියේය. බන්ධනාගාරයට ඇතුල් වන්නට ඔවුන් සූදානම්ව සිටි අවස්ථාවේ ඔවුන් එසේ කිරීමෙන් වළක්වා ලන ලදි. එවකට අධිකරණ ඇමතිව සිටි ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ උපදෙස් අනුව යමින් එවකට අධිකරණ අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්ව සිටි නිහාල් ජයවික්‍රම මහතාගෙන් නියෝග ලැබී තිබුණි. එවකට බන්ධනාගාර කොමසාරිස් ව සිටි ජේ.පී.දෙල්ගොඩ, ප්‍රින්ස් සහෝදරයාටත් ඇවර්බරි සාමිවරයාටත් බන්ධනාගාරයට ඇතුල් වීම තහනම් කළේය. එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ව සිටි ප්‍රින්ස් සහෝදරයාට හැත්තෑවේ දශකය තුල පවා බන්ධනාගාරයට ඇතුල් වන්නට ඉඩකඩ නොදීමෙන් විදහා දැක්වූයේ එවකට පැවති ආණ්ඩුවේ අත්තනෝමතික ස්වභාවය යි. අත්තනෝමතිකත්වයට එරෙහිව මානව අයිතීන් රැක ගැනීම වෙනුවෙන් ප්‍රින්ස්‌ ගුණසේකර සහෝදරයා දැක්වූ කැපවීම සහ අධිෂ්ඨානය එබඳු ය.
1977 දී පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමු ගත් ප්‍රින්ස් සහෝදරයා සමාජ හා ජාතික ප්‍රශ්නවලට නොබියව මුහුණ දුන්නේය. අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පණත අහෝසි කිරීම හේතුවෙන් නිදහස ලබා සිටි රෝහණ සහෝදරයාටත් මටත් 1978 දී පමණ ප්‍රින්ස් සහෝදරයාගේ කොළඹ පිහිටි නිවසේ දී ඇවර්බරි සාමිවරයා හමු වන්නට අවස්ථාව ලැබුනේය. ප්‍රින්ස් සහෝදරයා මගින් ඔහුගේ කොළඹ නිවසේ දීම එකල විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයකු ව සිටි මහාචාර්ය වල්පොල රාහුල ස්වාමීන් වහන්සේ හමුවී සාකච්ඡා කරන්නට අපට අවස්ථාව ලැබුණි. වල්පොල රාහුල ස්වාමීන් වහන්සේ ද ඇවර්බරි සාමිවරයා සමඟ සමීපව සම්බන්ධව සිටියේය.
ලංඩන් නුවර “ගිණි පුපුර” කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණ හා සමඟ සම්බන්ධ වන්නේ හැත්තෑව දශකයේ මුල් කාලයේ දියත් කොට තිබුනු දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය තුලිනි. “ගිණි පුපුර” කණ්ඩායමේ අචා ද ලැනරෝල් සහ සී අයි ප්‍රනාන්දු යන සහෝදරවරු රත්මලාන දුම්රිය අංගනයේ වෘත්තීය අංශයේ කටයුතු කළ අල්විස් සහෝදරයා සමඟ සම්බන්ධ කොට ඇත්තේ ප්‍රින්ස්‌ ගුණසේකර සහෝදරයා යි. ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන වැඩ කටයුතු කර ගෙන යන විට දී මෙන්ම ගාල්ල සංවර්ධන සභාවට මා තරඟ කල අවස්ථාවේ දී ද ප්‍රින්ස්‌ ගුණසේකර සහෝදරයා මට ඔහුගේ කතළුව මහ ගෙදර නැවතී කටයුතු කරන්නට අවස්ථාව ලබා දුන්නේය. 1982 පැවැත්වූ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය වශයෙන් ඔහුගේ කොළඹ නිවස යොදා ගන්නට ඔහු සිය කැමැත්තෙන් ම ඉඩ ලබා දුන්නේය.
මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවැත්වුණු එකම ජාතික ජනමත විචාරණය වූ ලාම්පු කලගෙඩි සෙල්ලම පවත්වන ලද්දේ 1982 අග භාගයේ දී ය. ඒ ජනමත විචාරණය පවත්වන ලද්දේ පාර්ලිමේන්තු කාලය තවත් වසර 6 කින් දීර්ඝ කර ගැනීම සඳහා ය. අනෙක් විරුද්ධ පක්ෂ සියල්ලම පාහේ සමඟ එක්ව අපි පාර්ලිමේන්තු කාලය දික් කර ගැනීමට එරෙහිව මෙම ජනමත විචාරණයේ දී කටයුතු කලෙමු. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ මැදිහත් වීම සහිතව රජයේ ආධාරකරුවෝ ඡන්ද නීති බරපතල ලෙස උල්ලංඝනය කරමින් කටයුතු කළ අතර, මැතිවරණ කොමසාරිස්වරයා ගෙන් හා පොලිසියෙන් එම නීති විරෝධී මැතිවරණ කටයුතු වළක්වන ලෙස කරන ලද අපේ ඉල්ලීමට කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණි. එසේ වුවද, විරුද්ධ පක්‍ෂයට එරෙහිව නීතිය අකුරට ම ක්‍රියාත්මක කෙරුණේය. මෙම ජනමත විචාරණයට විරුද්ධ වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඇත්ත පුවත්පත් කාර්යාලය සීල් තබා වසා දමන ලද අතර විජය කුමාරතුංග සහෝදරයා ද ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් කොටස්‌ නක්‌සලයිට්‌ කුමන්ත්‍රණයකට සැරසෙන බව පවසා අත්අඩංගුවට ගන්නා ලදි. පක්‍ෂ කාර්යාලවලට කඩා වැදී ලිපි ලේඛන පවා අත්අඩංගුවට ගෙන තිබිණි.
දැඩි මැර බලය හා රාජ්‍ය බලය යොදවා ලබා ගත් ජනමත විචාරණ ප්‍රතිඵලවලට අනුව ලාම්පුව වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් ලබා ගෙන තිබුණේය. ඒ අනුව, පාර්ලිමේන්තුවේ නිල කාලය 1989 අගෝස්තු දක්වා දීර්ඝ කරන ලදී. 1975 දී සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව ද පාර්ලිමේන්තුව තවත් වසර දෙකකින් දීර්ඝ කර ගැනීමට කටයුතු කොට තිබුනු බැවින් විරුද්ධ පක්ෂයේ ඇතැම් සාමාජිකයෝ මෙම ජන මත විචාරන ප්‍රතිඵලයට විරුද්ධ වෙන්නට නොහැකිව දෙගිඩියාවෙන් පෙළුණහ.
ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක් මගින් ජනමත විචාරණයේ ප්‍රතිඵල අභියෝගයට ලක් කරන්නට ඉදිරිපත් වූයේ ජනතා විමුක්ති පෙරමුණ පමණි. ඊට නායකත්වය දුන්නේ රෝහණ සහෝදරයා යි. අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර සහෝදරයා සහ හිටපු අධිකරණ ඇමති නීතිඥ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මේ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ. මෙය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට මහත් හිසරදයක් බවට පත් වී තිබිණ. මැතිවරණ දූෂණ හා වංචා පිළිබඳ සාක්ෂි ජනතා විමුක්ති පෙරමුණ සතුව තිබිණි. එවකට මැතිවරණ කොමසාරිස්වරයා ව සිටි චන්දානන්ද ද සිල්වා විසින් 1988 දී පමණ නිකුත් කරන ලද වාර්තාවෙන් ද ජනමත විචාරණයේ ප්‍රතිඵලය අත්පත් කර ගැනීමේ දී අනිසි බලපෑම් යොදා ගෙන තිබුන බව තහවුරු වන තත්වයක් පෙනෙන්නට තිබුණි.
මෙම නීතිමය අභියෝගය ජය ගැනීම එවකට සිටි ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට පහසු කරුණක් නොවීය. දකුණේ විසූ දෙමළ ජනයාට එරෙහිව 1983 කළු ජූලි ඝාතනය දියත් කරන ලද්දේ මේ කාලය අතරතුරේ දී ය. 1983 ජූලි මැද යුද හමුදා ප්‍රහාරයකින් දමිල ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකයන් පිරිසක් මියැදුණ අතර ඊට පලි ගැනීම සඳහා කොටි සංවිධානය ජූලි 23 දා ප්‍රතිප්‍රහාරයක් එල්ල කොට තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස හමුදා භටයන් දහතුන් දෙනෙක් මිය ගියේය. ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව එවකට යුද හමුදාපති ව සිටි ලුතිනන් ජෙනරාල් තිස්ස වීරතුංග මියගිය සෙබළුන්ගේ සිරුරු බොරැල්ල කනත්තේ දී ජූලි 24 දා භූමදාන කිරීමට කටයුතු යොදා තිබිණි.
එදා කනත්තේ රැස් ව සිටි පිරිස අතරින් සමහර දෙනෙක් බොරැල්ල නගරයේ දෙමළ කඩ සාප්පුවලටත් අවට පිහිටි දෙමළ නිවෙස්වලටත් පහර දීම රට පුරා දෙමළ ජාතිකයන් සහ ඔවුන් සතු දේපළ විනාශ කිරීමට සන්නද්ධ වී සිටි කණ්ඩායම්වලට නිකුත් කරන ලද සංඥාවක් බඳු වූයේය. සෑම නගරයක ම පාහේ රජයේ දේශපාලනඥයන් විසින් මෙම ප්‍රහාර සැලසුම් කොට ක්‍රියාවට නංවා තිබුනි. මැතිවරණ ඡන්ද නාම ලේඛන අතැතිව දෙමළ ජාතිකයන්ට අයත් දේපොළ සොයා ගෙන ගොස් ප්‍රසිද්ධියේ මෙම ප්‍රහාර මෙහෙයවන ලද්දේ ජාතික සේවක සංගමයට සම්බන්ධව සිටි ඇතැම් නායකයන්, රජයේ ඇතැම් මන්ත්‍රීවරුන් සහ රජය හා සම්බන්ධකම් පැවැත්වූ ඇතැම් දාමරික කොටස් විසිනි.
මෙම ප්‍රහාරවලට දින දෙකක් ම ඉඩකඩ ලබා දුන් රජය ජූලි 26 දා කොළඹ ඇඳිරි නීතිය පැනවීය. ජනාධිපතිවරයා ජනතාව ඇමතූයේ ජූලි 28 දා ය. මිට සමාන්තරව සංවිධානාත්මක දෙමළ පිරිස් උතුරු නැඟෙනහිර පළාත්වල වසන සිංහල ජනයාට ප්‍රහාර එල්ල කොට තිබිණි. ජූලි 31 දා වන විට අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, නව සමසමාජ පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරන ලදී. දෙමළ ජනයාට එරෙහිව ක්‍රියාත්මක වූ ප්‍රහාර මාලාව අන්තවාදී වාමාංශික නායකයන්ගේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බවට වාර්තා ඔහුට ලැබී තිබෙන හෙයින් ඒ පක්ෂ තහනම් කල බව ජනාධිපතිවරයා ප්‍රකාශ කලේය.
1988-89 දක්වා දිවෙන දෑවැන්ත රාජ්‍ය මර්දනයේ පදනම සකස් කෙරුණේ ඒ ආකාරයටයි. මෙම සිද්ධීන් යොදා ගෙන ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරන ලද්දේ ජනමත විචාරණ ප්‍රතිඵලය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම නිසා රජයට අත් වෙන්නට තිබුණු පරාජයෙන් බේරීම ද එක් අරමුණක් කර ගනිමිනි. රෝහණ විජේවීර සහෝදරයා රහසිගත බවට පත් විය. ඒ වන විට පක්ෂයේ නායකත්වය සමඟ ඇතිව තිබූ මත වෙනස්කම් හා මත ගැටුම් හේතුවෙන් මම පක්ෂයෙන් ඉවත් වෙන්නට තීරණය කොට සිටියෙමි. ඒ විශේෂ අවස්ථාවේ යටි බිම් ගත වෙන්නට රෝහණ සහෝදරයා ගත් තීරණයත් සමඟ ද මම එකඟ නොවූයෙමි.
1983 කළු ජූලි සමයේ දී හදිසි නීතිය යටතේ මා ද ඇතුළුව ජනතා විමුක්ති පෙරමුණේ ක‍්‍රියාකාරිකයින් 17 දෙනෙක් පමණ රහස් පොලිසියේ හතරවෙනි තට්ටුවේ රඳවා ගන්නා ලදි. ප්‍රින්ස් ගුණසේකර සහෝදරයා ද එසේ රඳවා තිබූ එක් අයෙකි. සෑම මසකම අපව එසේ රඳවා තබා ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයා විසින් අත්සන් කොට දෙන ලද නියෝගයක පිටපතක් අපට ලබා දිය යුතුව තිබුණි. මුල් මාස දෙකේ අපට එම පිටපත් ලැබුන නමුත් පසුව එවැනි පිටපත් අපට ලබා දුන්නේ නැත.
මේ නීති විරෝධී ක්‍රියාවට විරෝධය පෑම සඳහා අපව රඳවා සිටි කුටිවලින් ඉවතට පැමිණ රහස් පොලිස් ගොඩනැඟිල්ලෙන් පිටතට යා යුතු බව ප්‍රින්ස් ගුණසේකර සහෝදරයා යෝජනා කළේය. අප වැඩි දෙනෙක් ඒ යෝජනාවට එකඟ වූ අතර ‘රහස් පොලිසියෙන් අප පැන යාමට තැත් කලේය’ යනුවෙන් මීට පෙර අත්හදා බලා තිබෙන සැබෑ කඩතුරාව යොදා ගෙන අපව මරා දමන්නට හැකි බව අපේ සමහරෙක් කල්පනා කලේය. ප්‍රින්ස් සහෝදරයාත් මාත් ඇතුළු අප වැඩි දෙනෙක් පවසා සිටියේ අවශ්‍ය නම් රඳවා සිටියදී වුවද අප මරා දැමිය හැකි බවත්, ඒ අවදානම දරා ගනිමින් අපේ විරෝධය පෑ යුතු බවත් ය.
එක් උදෑසනක සහකාර පොලිස් අධිකාරී පුණ්‍යා ද සිල්වා පළමුවැනි තට්ටුවට පැමිණ සිටි අවස්ථාවක ප්‍රින්ස් ගුණසේකර සහෝදරයාත් මමත් ඔහු හමුවට ගොස්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් අත්සන් කළ නියෝගයක් අපට ලබා දී නොමැති නිසා අපව රඳවා ගෙන සිටීමට රහස් පොලීසියට අයිතියක් නැති බව කියා සිටියහ. අපව රඳවා සිටි කොටසේ දොරටුවෙන් පිටත් වූ අපි අනෙක් අයත් සමඟ එක්ව කොරිඩෝවට ඇවිද ගියෙමු. අප බිම් මාලය වෙත ඇති තරප්පු පෙළ අසලට ළඟා වන විට උප පොලිස් පරීක්ෂක චන්ද්‍රා වාකිෂ්ට උඩ තට්ටුවේ සිට සෝපානයෙන් පැමිණ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ මුද්‍රාව තබන ලද පත්‍රිකා අපට පෙන්වා අප රඳවා ගෙන සිටින්නේ නීත්‍යානුකූලව බවත්, ඒ නිසා පිටත්ව ගිය හොත් අපට එරෙහිව බලය පාවිච්චි කරන්නට සිදු වෙන බවත් අවධාරණය කළේය. ඒ අනුව කුටිවලට ආපසු යන්නට අපට සිදු විය. මා බිරිඳ චිත්‍රා සහෝදරිය විසින් පසුව ජනාධිපති නීතිඥ නිමල් සේනානායකගේ ආධාරය ඇතිව අධිකරණයට ගොනු කරන ලද හෙබයාස් කෝපුස් පෙත්සම හේතුවෙන් අප සියළු දෙනා කිසිදු චෝදනාවකින් තොරව නිදහස්‌ කර හරින ලදී.
නිදහස ලබා එළියට පැමිණි පසු දිගින් දිගටම රජයට එරෙහිව කටයුතු කළ නමුත් ප්‍රින්ස්‌ සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කල ජාතිකවාදී ස්ථාවරය හා එකඟ ව කටයුතු කළේය. උතුරේ ජාතිකවාදී බෙදුම්වාදී අරගලයත් දකුණේ ජාතිකවාදී දේශප්‍රේමී සන්නද්ධ ව්‍යාපාරයත් රජයේ හමුදාත් අතර පැවති සන්නද්ධ සහ ත්‍රස්ත කටයුතු හමුවේ රට දැඩි අස්ථාවර භාවයකට පත්ව තිබිණි. මානව හිමිකම් වෙනුවෙන් නො සැලී කටයුතු කළ බොහෝ ක්‍රියාධරයන් මෙන්ම නීතිඥයන් ද අභිරහස්‌ ලෙස ඝාතනයට ලක් විය. මේ සියළු අභියෝගයන් හමුවේ ප්‍රින්ස්‌ සහෝදරයා මූලික මිනිස්‌ අයිතිවාසිකම් වෙනුවෙන් නොකඩවා සටන් කළේය. රජයේ ආරක්‍ෂක අංශ ප්‍රා, කොළ කොටි, කළු බළල්ලු වැනි විවිධ නම්වලින් පෙනී සිටි පැර-මිලිටරි ඝාතක කණ්ඩායම් යොදා ගත්හ. ඔවුහු දහස් ගණනින් තරුණ තරුණියන් ඝාතනය කර දැමූහ. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණේ ‘දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය’ තෝරා ගන්නා ලද දේශපාලන නායකයන්, ක්‍රියාධරයන් සහ සිය විධානවලට එකඟ නොවූ සිවිල් වැසියන් ද මරා දැමූහ.
ප්‍රින්ස් සහෝදරයාගේ වැඩිමහල් සොහොයුරියගේ පුතෙක් වූ නීතිඥ කාංචන අබේපාල සහෝදරයා ඝාතනය කිරීම නිකුත් කෙරුණු අවසාන සංඥාව විය. අතුරුදන් කිරීම් මෙන්ම අබිරහස්‌ ලෙස මරා දැමීම් දිනපතා අත් දකින්නට ලැබුන සිදුවීම් බවට පත් විය. උත්සන්න වුනු රාජ්‍ය ප්‍රචණ්ඩත්වයත් ඒ හා සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ දියත් කොට තිබුනු සන්නද්ධ අරගලයත් හමුවේ 1989 දී රටෙන් බැහැර වී ඔහුගේත් ඔහුගේ පවුලේත් ජීවිත බේරා ගැනීම සඳහා දේශපාලන රැකවරණ ලබා ගන්නට ප්‍රින්ස් සහෝදරයාට සිදු විය. ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ද තාවකාලික ව විදේශගත වූයේය. ජනමත විචාරණ ප්‍රතිඵලය අභියෝගයට ලක් කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම නඩුවේ පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන්නට කිසිවකු උසාවියට නොපැමිණිම හේතුවක් ලෙස යොදා ගෙන නිශ්ප්‍රභ කරන ලදී.
මටත් මගේ පවුලේ අනෙක් සාමාජිකයන්ටත් එල්ල කරන ලද මරණ තර්ජන හමුවේ 1989 අග භාගයේ දී අප සියළු දෙනාට ද රට හැර යන්නට සිදු විය. ලන්ඩන් නුවර දී ද ප්‍රින්ස් ගුණසේකර සහෝදරයා ඇවර්බරි සාමිවරයා සමඟ එකට එක්ව මානව අයිතීන් සුරැකීමේ කටයුතුවල දිගටම නියැලී සිටි බව මට ඔස්ට්‍රේලියාවේ දී දැන ගන්නට ලැබුණි. කණගාටුවට මෙන්, ඔහු සමඟ සම්බන්ධතාවයක් ගොඩ නඟා ගන්නට මා ගත් උත්සාහයන් කිසිවක් සාර්ථක වූයේ නැත. ඒ ගමන් ගන්නට ඔහු තෝරා ගෙන තිබුන දේශපාලන මාවත මා දරන දේශපාලන අදහස් සමඟ නොගැළපෙන බැවින් විය හැකිය.
කෙසේ වෙතත්, මම හැම විටකම අසමසම හා නිර්භීත මානව හිතවාදියෙකු වූ ප්‍රින්ස් සහෝදරයාට මගේ ගෞරවය පල කර සිටිමි. දේශපාලනික මතභේද තිබුනේ වුවද, තම මුළු ජීවිත කාලයම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කැප කළ ප්‍රින්ස් ගුණසේකර සහෝදරයා කෙරෙහි මා හැමවිටම දැක්වූ ගරුත්වයේ ත් ලෙන්ගතු කමේත් කිසිදු අඩු වීමක් සිදු වී නැත.
අවසාන වශයෙන් මමත් මගේ පවුලේ අයත් අපගේ ගැඹුරු සංවේගය, ප්‍රින්ස් සහෝදරයාගේ ආදරණීය බිරිඳ, දරුවන් සහ හිතවතුන් වෙත පළ කර සිටීමට කැමැත්තෙමු.
මානව අයිතිවාසිකම් පිළිබඳ පතාකයෙක් සහ ආදර්ශයක් වූ ප්‍රින්ස් ගුණසේකර සහෝදරය; නොමැකෙන සටහන් මතකයට නංවා ගනිමින් අප ඔබට ආචාර කරන්නෙමු.
ඔබේ දායකත්වයන් අපට බොහෝ සේ අහිමි වනවා ඇත.

ලයනල්, චිත්‍රා සහ බෝපගේ පවුලේ සෙසු අය
මෙල්බර්න් නුවර, ඔස්ට්‍රේලියාව
2019 ජනවාරි පළමු වැනිදා