தமிழ்
English
Contact
Sunday 20th January 2019    
පාර්ලිමේන්තුව විසුරුවනවාද? නැද්ද? - තීරණය වැට උඩ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාර්ලිමේන්තුව විසුරුවනවාද? නැද්ද? – තීරණය වැට උඩ



පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයට යෑමට හැකියාවත් ඇතැදැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන සොයා බලමින් සිටින බව වාර්තා වේ.

මේ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය ලබා දී ඇති බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා පවසයි.

ඔහු පවසන පරිදි “පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කියන්නේ පැහැදිලිවම ශ්‍රීලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලයක්. ඒක සඳහන් වෙලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) (ඇ) ව්‍යවස්ථාවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙන කිසිම විධිවිධානයක් හෝ තිබුණද ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භකිරීමටත්, සැසිවාරය අවසන් කිරීමට හා විසුරුවාහැරීමට බලය ඇති බව පැහැදිලිව එහි සඳහන්ව තිබෙනවා.”

නමුත් වසර හතරහමාරයක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැර නොහැකි බවට වන ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මනත්‍රි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසා තිබේ.

ඔහු පවසන පරිදි 70 වැනි වගන්තියේ පැහැදිලිව තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් මන්ත්‍රීවරුන් සිදුකරන ඉල්ලීමකින් තොරව වසර හතරහමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි බව සඳහන් වේ. සමහරුන් 33 වැනි ව්‍යවස්ථාවේ ජනාධිපතිගේ බලතල දෙස බලා ඔහුට පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් බව පැවසුවත් එය කළ යුතු ආකාරය සහ සීමාවන් පිළිබඳ සඳහන් වන්නේ 70 වැනි ව්‍යවස්ථාවේ බව ජයම්පති වික්‍රමරත්න පවසයි.