Posted on 02.16.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම ආරම්භකර තිබේ.
නාරහේන්පිට යුද හමුදා රෝහලේ දී එම කටයුතු සිදුවේ.
මේ අතර, බන්ධනාගාර නිලධාරීන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ කටයුතු ද අද පෙරවරුවේ ආරම්භ කර තිබුණි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ දිවයින පුරා බන්ධනාගාර නිලධාරීන් 5100ක පිරිසකට එන්නත ලබාදීම සිදු කෙරෙන බවය.
පළමු අදියර යටතේ අද සිට දින 04ක් බස්නාහිර පළාතේ බන්ධනාගාරවල රාජකාරී නිරත නිලධාරීන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීම සිදුවේ.
ඉන් අනතුරුව දිවයිනේ සෙසු බන්ධනාගාරවල නිලධාරීන් සඳහා එන්නත්කරණ කටයුතු සිදු කිරීමට සැලසුම්කර ඇත.
ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලෙස ලබාදීමට ගබඩා කර තිබූ එන්නත් දෙලක්ෂ පනස්දහස මහජනතාව වෙත වහාම ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොවිඩ් කමිටුව වෙත පෙරේදා (14 වැනිදා) දැනුම් දී ඇතැයි අරුණ පුවත්පත වාර්තා කර තිබේ.
ඊයේ (15 වැනිදා) සිට බස්නාහිර පළාතේ මහජනතාව වෙත එම එන්නත් ලබාදීමට පියවර ගත් බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා ඇත.
ඉන්දියාවෙන් ලද එන්නත් ලක්ෂ පහෙන් දෙලක්ෂ පනස්දහසක් ඉදිරි පෙළ කටයුතු කරන සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලට මූලිකව ලබාදී ඉතිරි දෙලක්ෂ පනස්දහස සති හතරකින් දෙවැනි මාත්‍රාව ලෙස ඔවුන්ටම ලබාදීමට කලින් සැලසුම් කර තිබිණි.
මෙම එන්නතේ දෙවැනි මාත්‍රාව සති දොළහකින් ලබාදීමෙන් නිසි ප්‍රතිඵල ලැබෙන බවට එන්නත් නිෂ්පාදන සමාගම කළ දැනුම් දීමක් මත දෙවැනි මාත්‍රාව වෙනුවෙන් වෙන් කළ ඉතිරි එන්නත් තොගය මෙසේ මුදාහැරීමට තීරණය කළ බව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර තිබේ.