தமிழ்
English
Contact
Friday 27th May 2022    
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මූණු වහගෙන යන සූදානමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මූණු වහගෙන යන සූදානමක්!



(TopNews) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40ක් පමණ සිය වාහනවල ඉදිරිපස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දැක්වෙන ලාංඡනය ඉවත්කරගෙන ඇත.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන ආකාරයට මේ ආකාරයට මන්ත්‍රීවරුන් සිය අනන්‍යතාව සඟවාගෙන ගමන් කිරීමට තීරණය කර ඇත්තේ පසුගිය දිනවල ජනතා විරෝධයන් හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ල වී තිබුණු ජනතා ප්‍රතිචාර එතරම් සුභදායක නොවන නිසාය.

‘පාර්ලිමේන්තුවේ 225ම එපා!’ වැනි සටන් පාඨ පවසමින් ගෙන යන විරෝධතා නිසා සමස්තයක් ලෙස පාර්ලිමේන්තුවේ ගන්නා තීරණ පිළිබඳ ජනතා විරෝධය නිරූපණය වෙමින් තිබේ. ආණ්ඩු පක්ෂයේ පමණක් නොව, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද මෙසේ විරෝධතා හමුවේ දුර්මුඛවීමේ තත්වයක් උද්ගත වී ඇත. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යටතේ පාලනය කෙරෙන වසර 74ක පාර්ලිමේන්තු ඉතිහාසය තුළ ගත් තීරණ මෙන්ම සම්මත කළ නීති, අණ පනත් ආදිය ජනතාව වෙත වාසිදායක තත්වයකට වඩා අද පවතින ගැඹුරු ආර්ථික-සමාජ-දේශපාලන අර්බුදයට පාර කපා ඇත. විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයට පත් වීමෙන් පසුව ජනතා ගැටලු නියෝජනය කරනවාට වඩා නායකයන්ගේ තීරණවලට දීන ලෙස හිස නවන මන්ත්‍රීවරු සහ මෙම පසුබිම තුළ ජනතා විරෝධයෙන් ඇඟ බේරාගෙන යාමට ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු ජනතාවගෙන් ඈත් වී යාමට තීරණය කිරීම වටහා ගත හැකි තත්වයකි. නමුත් විපක්ෂයේදී ජනතාව පෙරට දමා ආණ්ඩු විරෝධය අවුලුවා බලයට පත් වීමෙන් පසුව සුපුරුදු බල දේශපාලනය කරගෙන විපක්ෂ මන්ත්‍රීවරුද ජනතාවගේ පිළිකුලට හේතු වී ඇත.

මේ ඇතැම් මන්ත්‍රීවරුන් මේ තත්වය අනාරක්ෂත බව පාර්ලිමේන්තු ප්‍රධානීන්ටද දැනුම්දී ඇතැයි දැනගන්නට ඇත.

ඉන්ධන, ගෑස් සහ වෙනත් පෝලිම්වල සිටින ජනතාවගෙන් කිසියම් තර්ජනයක් ඇතිවිය හැකි හෙයින් ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පියවර ගෙන ගත යුතු බවට මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව භාරව සිටින ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන්ද දැනුම්දී ඇත.

තවදුරටත් මන්ත්‍රිවරුන්ට උපදෙස් දී ඇත්තේ ඉන්ධන හෝ ගෑස් හෝ වෙනත් පෝලිම් හෝ ප්‍රදේශ හෝ ජනතාව බහුලව ගැවසෙන ස්ථාන හැකිතාක් මඟහැර ගමන් කරන ලෙසය.