தமிழ்
English
Contact
Saturday 19th June 2021    
'පාසල් දහසක්' සංවර්ධන ව්‍යාපෘතිය හරහා කුඩා පාසල් නොසළකා හරින තත්ත්වයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘පාසල් දහසක්’ සංවර්ධන ව්‍යාපෘතිය හරහා කුඩා පාසල් නොසළකා හරින තත්ත්වයක්



වසංගත ව්‍යාප්තිය හේතුවෙන් පාසල් අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම අඩාල වී ඇති මොහොතක එම ගැටළුවලට විසඳුම් ලබා නොදී ආණ්ඩුව පාසල් දහසක් පමණක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියකට ප්‍රමුඛතාවය දෙමින් සිටින බව ලංකා ගුරු සංගමය පවසයි. එම සංගමය පවසන්නේ ළමුන් 100ට වඩා අඩු පාසල් 3000ක් පමණ ඇති බවත් ඒවා සංවර්ධනය නොකර ජාතික පාසල් 1000ක් සංවර්ධනය කරන බව පවසමින් සිටින බවයි.

ආණ්ඩු 5ක් විතර එක එක නම් වලින් හදපු “පාසැල් 1000” වැඩසටහ හදන්න, මේ ආණ්ඩුවත් අළුත් නමක් දාගෙන ඇති බවද ලංකා ගුරු සංගමය පවසයි.

දැනට පාසල් නැවත විවෘත කිරීම, පාසල් ළමුන්ගෙන් සියයට හැටකට පමණ අධ්‍යාපනය ලැබීමේ විකල්ප ක්‍රමවේදයක් නොමැතිවීම, ජාතික විභාග පැවැත්වීම, 2020 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීෂක්ණ සිදු කිරීමට නොහැකි වීම තුළ ප්‍රතිඵල නිකුත් කළ නොහැකි වීම ඇතුළු කඩිනමින් විසඳුම් ලබාදිය යුතු ගැටලූ ගණනාවක් ඇති බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.

කෝවිඩ් 19 වසංගතය පැතිර යමින් පැවතීම හේතුවෙන් දින නියමයක් නොමැතිව පාසල් වසා තිබියදීම දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘතියක නිරත වන රජය පසුගිය ජුනි 10 දින ජාතික පාසල් දහසක් විවෘත කිරීමේ කටයුත්තක් ද සංවිධානය කර තිබී ඇත.

මෙසේ ප්‍රතිනිර්මාණය කෙරෙන එක් ජාතික පාසලක සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබා දෙන බව පැවසූවද මේ දක්වා කිසිදු පාසලකට මෙම මුදල ලැබී නැති බවත්, රුපියල් ලක්ෂ 3 ක් වැය කර පාසලේ නාම පුවරුව සකස් කිරීම හා තීන්ත ආලේප කිරීම කළ යුතු බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පෙන්වා දෙයි.

කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව මෙම පාසල් තෝරාගෙන ඇති බවට චෝදනා නගන ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා පෙන්වා දෙන්නේ, සිසුන් 750 ට වැඩි පළාත් සභා පාසල් මේ සඳහා තෝරාගෙන ඇති අතර,සමහර පාසල් පළාතේ මන්ත්‍රීවරයාගේ අවශ්‍යතාව මත තෝරාගෙන ඇති බවයි.

පළාත් සභා, ජනතා නියෝජිතයන් මගින් ක්‍රියාත්මක නොවන අවස්ථාවකදී පළාත් සභා විසින් සංවර්ධනය කරන ලද මෙම පාසල් පළාත් සභාවල කිසිදු විමසීමකින් තොරව මේ ආකාරයෙන් රේඛීය අමාත්‍යාංශය යටතට පවරා ගැනීම 13 වැනි ව්‍යාවස්ථා සංශෝධනය යටතේ පළාත් සභාවලට පවරන ලද බලතල ආපසු පවරා ගැනීමක් බවද ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා පවසා ඇත.

එසේම 10174 ක් වන සමස්ත පාසල් වලින් පාසල් 1000 ක් පමණක් සංවර්ධනය කිරීම තුළ සෙසු පාසල් නොසකා හරින තත්වයක් උද්ගත වන්නේ ද යන්න බරපතල ගැටලූවක් නිර්මාන බවත් ගුරු සංගම් නායක ජෝශප් ස්ටාලින් අවධාරණය කරයි. මෙය අධ්‍යාපන වැය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකර ගැනීමේ ආණ්ඩුවේ උපායමාර්ගයක් වනු ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.