தமிழ்
English
Contact
Friday 14th May 2021    
පිළියන්දල ලොක්ඩවුන් කිරීමට සෞඛ්‍ය නිලධාරීන් ගත් තීරණයට ගාමිණී ලොකුගේ හරස්වෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පිළියන්දල ලොක්ඩවුන් කිරීමට සෞඛ්‍ය නිලධාරීන් ගත් තීරණයට ගාමිණී ලොකුගේ හරස්වෙයි



පසුගියදා (01) උදෑසන පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 52කම ආවරණය වන පරිදි හුදකලා කිරීමට බලධාරීන් තීරණය කළ ද ඊයේ(02) රාත්‍රීයේ එම තීරණය අමාත්‍ය ගාමිණී ලොකුගේගේ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් එය වෙනස් කර තිබුණි. ඒ අනුව ග්‍රාම නිලධාරී වසම් 10ක් පමණක් මේ වන විට හුදකලා කර තිබේ. මෙම සිදුවීමත් සමඟ වසංගතය අවස්ථාවේ යම් යම් සෞඛ්‍යමය කරුණු අනුව තීරණ ගැනීම සෞඛ්‍ය නිලධාරීන්ට බාර නොදී දේශපාලනඥයන් සහ හමුදා නිලධාරීන් ඒ සඳහා මැදිහත්වීමේ අනතුර ගැන සමාජය තුළ කතා බහක් ඇතිව තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය සඳහන් කර සිටියේ තමන්ගේ ඉල්ලීම වුයේ මුළු පිළියන්දල ප්‍රදේශයම හුදකලා කිරීම වුවත් එය සිදු නොවු බවයි. රෝහල් ගත කිරීමට ප්‍රමාද වීම නිසා රෝගීන් 100ක පමණ ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ රැඳී සිටින බවත් තවත් වාර්තා නොවූ රෝගීන් රැසක් මෙම ප්‍රදේශයේ නිදැල්ලේ සැරිසරමින් සිටිය හැකි බවත් ඇය පවසා තිබේ.

පිළියන්දල පොලිස් බල ප්‍රදේශය හුදකලා කිරීමට තීරණය කිරීමත් සමඟ ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් සහ පොලිස් ප්‍රධානීන් තම නිවසට කැඳවා හුදකලා බව ඉවත්කරන ලෙස එම නිලධාරීන්ට ගාමිණී ලොකුගේ විසින් බලපෑම් කර ඇති බව වාර්තා වේ. මාධ්‍යට අදහස් දක්වමින් ගාමිණී ලොකුගේ සඳහන් කර තිබුණේ බුද්ධි අංශ හරහා ලැබුණු තොරතුරු අනුව රෝගීන් සුළු ප්‍රමාණයක් සිටින නිසා හුදකලා කිරීම් අවසන් කිරීමට තීරණය කළ බවයි.

ගාමිණි ලොකුගේ ඇමතිවරයාගේ පිළියන්දල මාවිත්තර නිවසේ පිහිටුවා ඇති කාර්යාලයේ සේවය කරන පුද්ගලයන් පස්දෙනෙක් කොවිඩ් – 19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.