தமிழ்
English
Contact
Monday 26th October 2020    
පූගොඩ පොලීසියේදී මිය ගිය තරුණයාට පහරදී මරාදැමූ බවට ඥාතීන්ගෙන් චෝදනා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පූගොඩ පොලීසියේදී මිය ගිය තරුණයාට පහරදී මරාදැමූ බවට ඥාතීන්ගෙන් චෝදනා



පූගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු තරුණයෙකු මිය යාම සිද්ධියට අදාළව එම තරුණයට පොලීසිය විසින් පහරදුන් බවට ඥාතීන් විසින් චෝදනා කර තිබේ.

පසුගිය 12වන දා පොලිස් සිර මැදිරිය තුලදි අසනීප වීම හේතුවෙන් රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මොහු මිය ‌ගොස් තිබුණු බව වාර්තා විය. එහෙත් එම තරුණයාගේ ඥාතීන් පවසන්නේ පොලිසිය ඔහුව අත් අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේදීම සියල්ලන් ඉදිරියේ ඔහුට ඉතාම අමානුෂික ලෙස පහර දුන් බවයි.

මුදල් සොරගැනීමකට අදාළ පැමිණිල්ලක් මත මෙම තරුණයා අත්අඩංගුවට ගැනීමට පැමිණි අවස්ථාවේ පූගොඩ පොලිසීයේ ස්ථානාධිපතිවරයා ගයාන්ගේ උදරයට පා පහරවල් තුනක් ගැසු බවත් එහිදී ගයාන් සිව්වරක් වමනය දැමු බවත් ගයාන්ගේ බිරිඳ හා අම්මා පවසයි.

පසුව 11 දා ඔහුව පොලිස් අත්අඩංගුවට ගත් බවත් පොලිසියට ගිය ඥාතීන්ට පොලිස් සිර මැදිරිය තුල සිටි තරුණයාව බැලීමට ඉඩනොදුන් බවත් ඔවුන් කියා සිටියි. මේ අතර ඔහුව අසනීප වීම නිසා රාගම රෝහලට ගෙන ගොස් තිබු අතර මුදල් නැති වු නිවසේ මුදල් හමු වී තිබේ.

මේ නිසා පොලීසියේ පහර දීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මියගිය තරුණයාගේ බිරිඳ පුගොඩ පොලිසියට (12) ගොස් ඇතත් එහිදී පැමිණිල්ල භාර ගෙන නැත. පොලිස් ස්ථානාධිපතිවරයා කියා ඇත්තේ මෙය ගොඩින් බේරා ගමු යනුවෙන් බවත් ඒ නිසා මේ සම්බන්ධව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත පැමිණිලි කිරීමටත් මියගිය තරුණයාගේ ඥාතීන් පියවර ගෙන ඇත.

මේ සම්බන්ධව වහාම විමර්ශනයක් කිරීමට පොලිස් අශ්වාරෝහක කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පත් කිරිමට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් පියවරගෙන තිබුණි.